Language Switcher

V2025

සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියා මනුෂ්‍යත්වයට නිගාවක් : ජාතික භික්ෂු පෙරමුණෙන් නිවේදනයක් !

වයඹ පළාතේ හා තවත් ස්ථාන කීපයක පසුගිය දින කීපයේ සිදුවූ සිදුවීම් මාළාව මිනිස් කමට නිගාදෙන වියරු මිනිසුන්ගේ කි‍්‍රයා මිස සොඳුරු මිනිසුන්ගේ කි‍්‍රයා නොවන බව ජාතික භික්ෂු පෙරමුණ පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් ජාතික භික්ෂු පෙරමුණ මේ බව සදහන් කරන අතර ඇතිවී තිබෙන එම මනුෂ්‍යත්වයට නිගාදෙන කි‍්‍රයාකාරකම් ඉතා සංවේගයෙන් යුතුව හෙළා දකින අතර නීතිය කි‍්‍රයාවේ යොදවා ඇතිවී තිබෙන එම ප‍්‍රචණ්ඩ තත්වයන් වහා නතර කළයුතු බවත් එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

අදාල නිවේදනයේ තවදුරටත් මෙසේද සදහන් වෙයි.

83 කළු ජූලිය ඇතිකළ නොමිනිසුන් අපගේ රටට තිස් අවුරුදු යුද්ධයක් නිර්මාණය කළාක් මෙන්ම එම යුද්ධය නිමාකොට දස වසරක් ගතවන විට ජාතිවාදී යුද්ධයකට රට ඇද දැමීමේ පාපී වුවමණාවක් නැවත කි‍්‍රයාවට නගමින් සිටියි. මේ පිටුපස ඇත්තේ බල ලෝභී දේශපාලනය බව අප ඉතා හොඳින් වටහාගත යුතුය. 83 කළු ජූලියේ පියවරුන් මිය ගිය ද ඔවුන්ගේ දූ පුතුන් සිටින බවත් අප අමතක කළ යුතු නැත.

මානව පරිණාමයේ එක් ආසන්න අවධියක අප බෞද්ධයින් වී ගතවී ඇත්තේ වසර 2563 කි. අප කි‍්‍රස්තියානි හෝ කතෝලික වී ගතවී ඇත්තේ වසර 2019 කි. අප ඉස්ලාම් වී ගතවී ඇත්තේ වසර 1449 කි. අප හින්දූන් වී ගතවී ඇත්තේ උපරිම වසර 5000 කි. එහෙත් අපි මිනිසුන් වී වසර දස ලක්‍ෂයක් පමණ වෙයි. මේ ලෝකයේ සැම මිනිසෙක්ම ආගමික භක්තිකයෙක් වන්නට පෙර ඔහු මනුස්සයෙක් වූ බව අද බොහෝ දෙනෙක් අමතක කර ඇත. එම නිසා ආගමික අන්තවාද හෝ ජාතිවාද කරපින්නාගෙන මනුෂ්‍යත්වය වනසන මානව සංහාරක වෛරයකින් පෙළෙන තත්වයට පත්ව ඇත. අපි සැබවින්ම වෛරය මැරිය යුතු වන්නෙමු. එහෙත් ඒ සඳහා සෙස්සන්ගේ ජීවිත බිලිනොගත යුත්තෙමු.

ඇවිලෙන්නට හදන ජාතිවාදී හා අන්තවාදී ගැටුම් පිටුපස ඕනෑම ගැටීමක් තම වාසියට හරවාගන්නා ලජ්ජා විරහිත දේශාපලනඥයින් සිටිනවා සේම වෙළඳ අන්තවාදයක්ද කි‍්‍රයාත්මක වෙමින් ඇත. දක්‍ෂයා සමග සටනට වැදී තමනුත් දක්‍ෂයෙක් වනවා වෙනුවට දක්‍ෂයා මරා දමා ඒ තැන ගැනීමට සිතන පිරිසක් මෙම වෙළඳ අන්තවාදය තුළ ජනිතවී ඇත. ඔවුන් සිතන්නේ මුස්ලිම් ව්‍යාපාරිකයා මරා සමූලඝාතනය කළ විට තමන්ගේ ව්‍යාපාරවලින් ලාභ ලැබිය හැකිබවයි. මෙයද සහරාන්ගේ අන්තවාදයට සමාන අන්තවාදයකි.

අද වන විට රටතුළ සෑම කෙනෙක්ම මමයි රජා යන මානසිකත්වයට එළඹීමට පසුබිම සකසා ඇත. එම තත්වය මෙම ගැටුම් වැඞීමට බලපා ඇත.

කෙසේ වෙතත් සියලූ අන්තවාදීන් මුලිනුපුටා දැමීම කළයුතුය. ඒ සඳහා පාට, පක්‍ෂ, ආගම්, ජාති භේද බාධාවක් කරගත යුතු නැත. අන්තවාදීන් සමග අහිංසාවාදී මානව වාදී, සාමකාමී ජනයාට ජීවත්වීමට හැකියාවක් නැත. බිඳවැටී ඇති ජන ජීවිතය වහා යථාවත් කළ යුතුවාක් සේම මහජන ආරක්‍ෂාව තහවුරු කළයුතුය. නීතිය කි‍්‍රයාවට නැගිය යුත්තන් හැර සෙස්සන්ට නීතිය අතට ගැනීමට ඇති සියලූ ඉඩ අහුරා දැමිය යුතුය.

ආගමික නායකයින්, උගතුන්, බුද්ධිමතුන්, මනුෂ්‍යත්වය ඇති මිනිසුන් මෙම අරාජික අවස්ථාවේදී නිසි නායකත්වයෙන් යුතුව සමාජය හැසිරවීමට වගබලාගතයුතු බව මනුෂ්‍යත්වයේ නාමයෙන් අපි අවධාරණ කරන්නෙමු.

පූජ්‍ය වකමුල්ලේ උදිත ස්ථවිර
ලේකම්
ජාතික භික්ෂු ‌පෙරමුණ