රනිල්ට එරෙහි ගෝනවලගේ පෙත්සම විසිවෙයි !

රනිල්ට එරෙහි ගෝනවලගේ පෙත්සම විසිවෙයි !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (21) තීන්දු කළේය.

ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබිණ.

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ කොළඹ නාගරික මන්ත්‍රීනී ශර්මිලා ගෝනවල විසිනි.

මෙම පෙත්සම ඉකුත් දා විභාගයට ගත් අවස්ථාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනග ඊස්වරන් මූලික විරෝධතාවක් මතුකරමින් මෙම නඩුවේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන ලේඛනවල මුල් පිටපත් ඉදිරිපත් කර නොමැති බැවින් එය විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවට මූලික විරෝධතාවක් මතු කර තිබුණි.

එබැවින් අදාළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා එම මූලික විරෝධතාව තුළින් ඉල්ලා තිබුණි.

මෙම මූලික විරෝධතාව පිළිගන්නා බව සඳහන් කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඒ අනුව පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළේය.

පෙත්සම්කාරිය කියා සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්රීවරයකු කොටස් හිමිකාරිත්වය දරන සමාගමක් රජයේ ආයතන සමඟ ගිවිසුම්ගතව ව්‍යාපාරවල නිරත  වන අවස්ථාවක එම මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට තිබෙන සුදුසුකම අහිමි වන බවය.

ඒ බව සඳහන් නඩු තීන්දු කීපයක්ම පසුගිය කාලයේ ප්‍රකාශයට පත්වී ඇති බව පෙත්සම්කාරිය පෙන්වා දුන්නාය.

ඒ බව එම සමාගම විසින් 2014 වසරේ සිට 2018 දක්වා කාල සීමාව සඳහා නිකුත් කළ වාර්ෂික වාර්තාව මගින් තහවුරු කර ඇති බවද ඇය පෙන්වා දුන්නාය.

එබැවින් රනිල් වික්‍රමසිංහ ට  පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් දැරීමට තිබෙන සුදුසුකම අහිමිවී ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කාරිය ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වරදක් සිදුකර ඇති බව කියා සිටියාය.

එම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසු කමක් නොමැති බවට තීන්දු කර ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ  කෝවොරන්ටෝ රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ද නාගරික මන්ත්‍රීනි ශර්මිලා ගෝනවල අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ විකුම් ආබෲ, පෙත්සම්කාරිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ උදිත ඉගළහේවා, වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඊ.කනග ඊෂ්වරන්, නීතීඥ සුරේන් ප‍්‍රනාන්දු , නීතීඥ රසික දිසානායක මේ නඩුව වෙනුවෙන් පෙනී සිට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න