ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට වෛද්‍ය පරීක්ෂණ සහ වැඩිදුර ප්‍රතිකාර කටයුතු සඳහා විදේශගත වීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (23) අවසර ලබා දුන්නේය.
විත්තියේ නීතිඥවරු විසින් කළ ඉල්ලීමක් පිළිගත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය දුරකථන හා ෆැක්ස් මාර්ගයෙන් ආගමන හා විගමන පාලකවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙසද නියමකර ඇත.
සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබිණ.
ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි කරුණු දක්වමින් තම සේවාදායකයාට මේ මස 24 වනදා සිට ජුනි මස 02 වනදා දක්වා කාලසීමාව තුළ වෛද්‍ය ප්‍රතිකාර සහ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිංගප්පූරුවේ සංචාරය කිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර ඒ සඳහා දැනට පණවා තිබෙන විදෙස් ගමන් තහනම අදාළ කාල සීමාව සඳහා තාවකාලිකව ලිහිල් කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඊට රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ වසන්ත පෙරේරා මහතා විරෝධය පළ නොකළ අතර ඒ අනුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් අදාළ කාල සීමාව සඳහා විත්තිකාර ගෝඨාභය රාජපක්ෂට විදේශගත වීම සඳහා අවසර ලබා දුන්නේය.
එමෙන්ම නඩු විභාගය ජූනි මස 19 වනදා සිට ආරම්භ කිරීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදින සාක්ෂිකරුවන් 4 දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි ද නිකුත් කළේය.
ඉකුත් රජය සමයේ හම්බන්තොට මැදමුලන ප්‍රදේශයේ ඩී. ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා, එම සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයින් ඇතුළු හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ.

