අප්‍රේල් 21දින සිදුවූ ඛේදජනක සිද්ධියෙන් පසු ශ්‍රී ලංකාවේ විවිධ සංගීත කණ්ඩායම්වලට සංගීත සංදර්ශන පැවැත්වීමේ දුෂ්කරතාවය ඇතිවූ හෙයින් ඒ සදහා යම් සහනයක් ලබා ගැනීමේ අරමුණින් එම කණ්ඩායම් වල නියෝජිතයින් පිරිසක් ඊයේ (28) මුදල් අමාත්‍ය මංගල සමරවීර හමුවී සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.
නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස සමග දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් 15ක් පමණ නියෝජනය කරමින් එහි සාමාජිකයින් එම සාකච්ඡාවට එක්ව තිබේ.
මෙම වකවානුවේ සංගීත සංදර්ශන පැවැත්වීමට නොහැකි තත්වයක් උදාවී ඇති බැවින් තම සමාජිකයින්ට වෘත්තිය ගෙවීම් කිරීමට පවා නොහැකිවී ඇති බවත් සංගීත උපකරණ වලට අදාළව කල්බදු ගෙවීමට ඇති බවත් ඔවුන් මංගල සමරවීර අමාත්‍යවරයාගේ අවධානයට යොමු කර ඇත. එහිදී ඔවුන් ඉල්ලා ඇත්තේ මේ මතුව ඇති දුෂ්කරතා වෙනුවෙන් යම් සහනයක් ලබාදෙන ලෙසය.
මේ සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් පසු විවිධ ක්ෂේත්‍ර වලට වූ හානි සම්බන්ධයෙන් ලබාදිය හැකි සහනයන් පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බැවින් ඒ සම්බන්ධයෙන් ඉදිරියෙදී මුදල් අමාත්‍යාංශය විසින් තීරණය කිරීමට නියමිත බවය.
මුදල් අමාත්‍යාංයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග ඇතුලු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක්ද මෙම සාකච්ඡා අවස්ථාවට සහභාගීව ඇත.

