ආණ්ඩුවයි විපක්ෂයයි හැපුනාට : දෙකම වැඩ ඇමරිකාවට සහ චීනයට - නාගමුව

ආණ්ඩුවයි විපක්ෂයයි හැපුනාට : දෙකම වැඩ ඇමරිකාවට සහ චීනයට - නාගමුව

ලංකාවේ ආණ්ඩුවේත් විපක්ෂයේත් දේශපාලන නායකයන් එකිනෙකාට චෝදනා කරමින් ජනතාව වෙනුවෙන් යැයි කියමින් යම් යම් චෝදනා කරගන්නා නමුත් ඔවුන් දෙපාර්ශ්වයම වැඩ කරන්නේ එක්සත් ජනපදය හෝ චීනය වෙනුවෙන් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

පෙ.ස.ප. ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මේ බව සඳහන් කළේ ඊයේ (28) බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී දැක්වූ අදහස් සාරාංශය මෙසේය.

”මේ වනවිට එක්සත් ජනපදය හා චීනය ලංකාවට මැදිහත්වීම සම්බන්ධව මේ වනවිට ඇතිව තිබෙන නව තත්වයන් සම්බන්ධයෙන් අදහස් දක්වන්නට මේ මාධ්‍ය හමුව කැඳවන්නට අපි අදහස් කළා. එක්සත් ජනපදය සමග ආරක්ෂකහමුදා සම්බන්ධ ගිවිසුමක් අත්සන් කිරීමට ආණ්ඩුව සූදානම්වන බවට විපක්ෂයෙන් දේශපාලන විවේචන එල්ල කරමින් සිටින අතර රනිල් වික‍්‍රමසිංහ පාලනය විසින් ප‍්‍රසිද්ධියේම SOFA සහ MCC ගිවිසුම් සඳහා ක‍්‍රියාත්මක වෙමින් සිටී.

මේ සම්බන්ධ කරුණු අනාවරණය වූයේ පසුගිය ජනවාරි මාසයේ 21 සිට 28 වැනිදා දක්වා එක්සත් ජනපද ආරක්ෂක හමුදා විසින් යම් භාණ්ඩ ප‍්‍රමාණයක් කටුනායක ගුවන් තොටුපළ වෙත ඔවුන්ගේ හමුදා ගුවන් යානායකින් ගෙනැවිත් ඒවා ත‍්‍රිකුණාමලය ආශ‍්‍රිතව නවතා තිබුනු ඔවුන්ගේ යුද නැවකට ගෙනයාමේ සිදුවීමත් සමගයි. මෙම භාණ්ඩ මොනවාද කියන කාරණයවත් ඒවා ලංකාවේ රේගුවට පරික්ෂා කරන්නවත් අවස්ථාව නොලැබුණු බවත් සඳහන් කළ යුතුයි. ඒ සම්බන්ධ මාධ්‍ය විසින් අනාවරණය කරමින් විවිධ අංශවලින් ප‍්‍රශ්න කරනවිට එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ඒපිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් කළා. ඔවුන් කීවේ 2018 ඔක්තෝබර් මාසයේ සහ දෙසැම්බර් මාසයේ මෙවැනි මිලිටරිමය භාණ්ඩ ප‍්‍රවාහන මෙහෙයුම් සිදුකළ බව ඔවුන් අනාවරණය කළා. මේ කටයුතු සිදුකරන්නේ ACSA ගිවිසුමට අයත් කොන්දේසි අනුව බවත් මෙහි කිසිදු හානිකර යමක් සිදු නොවන බවත් එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ඇගවීමට උත්සාහ කළා. ඉන්පසුව මාර්තු මාසයේ ඕස්ටේ‍්‍රලියාව සමග ලංකා ඉතිහාසයේ පැවැති විශාලතම යුද අභ්‍යාසය සිදුකළා. ඒ විතරක් නෙවෙයි අන්තවාදී ප‍්‍රහාර සිදුවන්නට පෙර අපේ‍්‍රල් 19 වැනිදා ලංකාවෙ දකුණු මුහුදේ එක්සත් ජනපද යුද අභ්‍යාසයක් සිදුකරන්නට කටයුතු කළා.

ඇමරිකා - චීන වෙළඳ යුද්ධයේ බලපෑම ලංකාවට !

මේ අනුව, එක්සත් ජනපදය හා චීනය අතර පවතින වෙළඳ යුද්ධය සහ වෙනත් ප‍්‍රතිවිරෝධතා අතර ලංකාවේ සිදුවන කටයුතු අතර සම්බන්ධයක් තිබෙනවා. මේ ක‍්‍රියාදාමය වත්මන් ආණ්ඩුවට ගෙන එන විවේචනයක් වුවද මෙහි ආරම්භක අවස්ථාව වන්නේ 2007දී මහින්ද රාජපක්ෂ පාලනය විසින් අත්සන් කළ ACSA ගිවිසුමය. එපමණක් නොව, එක්සත් ජනපද මැදිහත්වීම්වලට පසුබිම් වන්නේ මෙරට ආණ්ඩු විසින් වරින්වර ගෙන ඇති එක්සත් ජනපද හිතවාදී සහ එක්සත් ජනපද විරෝධී දේශපාලන ස්ථාවරයන් බව පැහැදිලිය.

ගෝඨාභයගේ ගිවිසුම් !

මේ දේශපාලන විවාද අතර මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ඔහුගේම සහෝදරයා ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ එක්සත් ජනපද තානාපති රොබට් ඕබ්ලේක් විසින් අත්සන් කළ ACSA ගිවිසුම පිළිබද කාරණය අමතක කළ නොහැකිය. එසේම එම ගිවිසුම කල් ඉකුත් වූ පසුව 2017 මෛත‍්‍රිපාල සිරිසේන - රනිල් වික‍්‍රමසිංහ හවුල් පාලනය විසින් කාලසීමාවක් නැති ගිවිසුමක් ලෙස දීර්ඝ කළ බවද මතකයට ගත යුතුයි. මේ ගැන විමසන අවස්ථාවේ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා කිව්වේ මේ ගිවිසුම නිසා ලංකාවට මුදල් ලැබෙනවා කියලා. මුදල් ලැබෙන අතරේ බෝම්බ පවා ලැබෙන බව අපි මතක් කරන්න ඕනෑ. මේ ගිවිසුම් අත්සන් කරද්දි මේ කාරණා සම්බන්ධයෙන් මේ රටේ සාමාන්‍ය ජනතාව දැන සිටියේ නෑ. 2007 ගෝඨාභය අත්සන් කළ ගිවිසුම ගැන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු හෝ රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරු පවා දැන සිටියේ නෑ.

ලංකාව එක්සත් ජනපදය ගැති රටක් වෙයිද ?

දැන් මේ අතරම නැවතවරක් එක්සත් ජනපදය සමග අත්සන් කරන්න සූදානම්වන SOFA ගිවිසුමක් ගැනත කතාබහක් තිබෙනවා. මේ ගිවිසුම මුලින්ම අත්සන් කර තිබෙන්නේ එක්සත් ජනපදයට පක්ෂපාත යුද සන්ධානයක් වන NATO රටවල් සමගයි. උතුරු අත්ලාන්තික් ගිවිසුම් සන්ධානය ලෙස හඳුන්වන ඒ රටවල අත්සන් කළ ගිවිසුම ඉන්පස්සේ එක්සත් ජනපදයෙ හමුදා කඳවුරු පිහිටුවන රාජ්‍යයන් සමග අත්සන් කෙරුණා. විශේෂයෙන් ජපානය, දකුණු කොරියාව, පිලිපීනය වගේ එක්සත් ජනපදයට ගැති රාජ්‍යයන් සමග මේ ගිවිසුම අත්සන් කළා. ඒ නිසා දැන් පැහැදිලි වෙමින් තිබෙනවා ලංකාව එවැනි එක්සත් ජනපද ගැතිතත්වයකට ඇදදමමින් පවතින බව. මේ ගිවිසුම අත්සන් කළ ජපානයේදි දකුන් කොරියාවෙදි හමුදා කඳවුරු පිහිටුවමින් සිදුකළ ක‍්‍රියාදාමය නිසා ඒ රටවල ජනතාව විශාල පීඩාවන්ට ගොදුරු වුණා. මේ පීඩාවන් වසන් කරලා බාහිරට අනාවරණය කරන්න නොදෙන තත්වයක් ඒ රටවල සිදුවනවා. අනාවරණය වන තොරතුරු අනුව, විශේෂයෙන් එක්සත් ජපද සොල්දාදුවන් විසින් සිදුකළ අපචාර හා අපරාද ගණනාවක් තිබෙනවා. ජපානයෙ ඔකිනාවා දූපතේ පිහිටුවා තිබෙන හමුදා කඳවුර නිසා එහි කාන්තාවන්ට, පාසල් දැරියන්ට පවා ලිංගික අපරාධ සිදුව තිබෙනවා. මාධ්‍ය මගින් මේවා හෙළිදරව් කරන්නෙ සීමිත වශයෙන්, ජනතාව විරෝධය පළ කරන විටත් ඒවා මැඩ පවත්වා SOFA ගිවිසුමේ එකගතා අනුව කටයුතු කරන්න සිදුව තිබෙනවා. මේ තත්වයන් වසන් කරමින් යුද කඳවුර පවත්වාගෙන යනවා. දකුණු කොරියාවෙදිත් යුද කඳවුරුවල එක්සත් ජනපද සොල්දාදුවන් සම්බන්ධයෙන් මෙවැනි ලිංගික අපචාර චෝදනා නැගුණා. නමුත් ප‍්‍රධාන කාරණය මේ කිසිම අවස්ථාවක ඒ වැරදි, අපරාධ සම්බන්ධයෙන් ඒ රටවල නිති අනුව සොල්දාදුවන්ට විරුද්ධව කටයුතු කරන්න හැකියාවක් නෑ. ලංකාවෙදි අත්සන් කරන්නට සූදානම්වන SOFA ගිවිසුම සම්බන්ධයෙනුත් කියැවෙන්නෙ එක්සත් ජනපද සොල්දාදුවන් යම් වරදක් සිදුකළත් රටේ නීතිය වලංගු නොවන බවයි.

ලංකාවේ බිම් තීරණයක් ඇමරිකාවට !

ඒ නිසා මේ සිදුවෙමින් තිබෙන්නේ මේ රටේ එක්සත් ජනපද අරමුණු අනුව ක‍්‍රියාත්මක කෙරෙන ක‍්‍රියාවලියක්. මේ අතර තවදුරටත් මේ එක්සත් ජනපද ගැති ආණ්ඩුව මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) නමින් තවත් ව්‍යාපෘති ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු කරනවා. ඒ ගිවිසුම අත්සන් කළාම කොළඹ සහ ත‍්‍රිකුණාමලය අතර බිම් තීරයක් එක්සත් ජනපදයට අවශ්‍ය ආකාරයට වෙන්කරන්න කටයුතු සූදානම් කෙරෙනවා. සංවර්ධන ව්‍යාපෘති නමින් අක්කර මිලියන 1.2ක් වෙන්කරමින් මේ ප‍්‍රදේශයේ වෙනම දුම්රිය මාර්ගයක් ඉදිකරන්නත් සැලසුම් තිබෙනවා. ඒ බිම් කලාපයට ලංකාවේ නීතිය අදාළ නොවන බවත් කියැවෙනවා. මේ අනුව ලංකාව එක්සත් ජනපද කොලණියක් බවට පත් කිරීමේ සැලසුමක් ආණ්ඩුව විසින් ක‍්‍රියාත්මක කරමින් පවතින බව පැහැදිලියි. එක් පත්තකින් කොළඹ ප‍්‍රදේහයේ මුහුදු ගොඩකරමින් විශාල කලාපයක් ලංකාවෙ නීතියටයටත් නැති නගරයක් කරන්නත් එහි බලය චීනයට පවරන්නත් මහින්ද රාජපක්ෂ පාලනය කාලයේ සිට ක‍්‍රියාත්මක වෙන පෝට් සිටි ව්‍යෘපෘතිය සහ මේ නව සැලසුම අනුව ලංකාවෙ ජනතාවට රටේ අයිතිය අහිමි ෙමින් තිබෙනවා. මේ මිලේනියම් චැලෙන්ජ් ව්‍යාපෘතිය අනුව ඒ භූමි කලාපය වසර දෙසීයක් එක්සත් ජනපදයට පවරනු ලබනවා.

රනිලුත් වැඩ කරන්නේ ඇමරිකාවට !

මේ විධියට රටේ බරපතළ තීන්දු ගනු ලබන අතරෙ අපේ රටේ හැමදෙනාම තවමත් සහරාන්ගෙ වලිගෙ එල්ලිලා සිදුවීම් සම්බන්ධව කල්පනා කරන්නෙ. මේ සිදුවන දේවල් සහ අන්තවාදී ප‍්‍රහාර අතර සම්බන්ධය ගැන කල්පනා කරනවා වෙනුවට වෙනත් අන්තවාදී ප‍්‍රවේශයකින් කටයුතු කරමින් තම තමන්ගේ දේශපාලන බල ව්‍යෘපෘති ඉදිරියට ගෙන යන්න අපේ රටේ දේශපාලන කණ්ඩායම් පිල් බෙදී කටයුතු කරමින් ඉන්නවා. මේ අය එක්සත් ජනපදයෙ හෝ චීනයේ හෝ අරමුණු අනව එකිනෙකාට අවලාද නගමින් අධිරාජ්‍යවාදය අධිරාජ්‍යවාදය කියමින්ම එක් හෝ අනෙක් අධිරාජ්‍යවාදී කඳවුරට අවශ්‍ය දේශපාලනය කරමින් ඉන්නවා. රනිල් වික‍්‍රමසිංහ දැන් විවෘතව ඔහු කරමින් ඉන්න දේ ගැන කියනවා. එක්සත් ජනපදයෙ අරමුණු අනුව අගමැතිවරයා කටයුතු කරන බව රහසක් නෙවෙයි. එක්සත් ජනපදයෙ අනුග‍්‍රහය ඔහුට හිමිවන නිසා බයක් සැකක් නැතිව ඔහු ඒ පක්ෂපාතිත්වය අනාවරණය කරමින් එක්සත් ජනපද අවශ්‍යතා ඉටුකරමින් ඉන්නවා. නමුත් චීනය වෙනුවෙන් පෙනි හිටින පාර්ශ්ව රනිල් වික‍්‍රමසිංහ අමෙරිකන් ගැත්තකු බවත් අධිරාජ්‍යවාදයේ ඉත්තකු බවත් කියමින් චීන අධිරාජ්‍යවාදයට සේවය කරමින් ඉන්නවා.

චීනයත් මැදිහත්වන ක්‍රමයක් තියනවා !

ධනවාදී චීනය ගැන කතාකරන්න සමහර දේශපාලන බලවේග කැමති නෑ. නමුත් අපි ඇත්ත තත්වය වටහා ගන්න ඕන. මේවනවිට ලෝකයේ රටවල් ගණනාවක චීන ව්‍යාපාති ක‍්‍රියාත්මක වෙන්නෙ පෙනුමෙන් සංවර්ධන ආධාර හෝ වාණිජ ව්‍යාපෘති ලෙසින්. මිලිටරිමය මැදිහත්වීම් වෙනුවට ඒ ස්වරූපයෙන් චීනයේ ධනවාදය සිය අඩුපඩු දිගුකරමින් ඉන්නවා. ජිබුටි රාජයයේ හැර චීන ව්‍යාපෘති ක‍්‍රියාත්මකවන කිසිම රටක චීන හමුදාව මැදිහත් වෙලා නෑ. ඒක විශේෂ තත්වයක් තමයි. නමුත් මේ වනවිට චීනය විසින් ක‍්‍රියාත්මක කරන 'තීරයක් හා මාවතක් මෙහෙයුම' (Belt & Road Initiative) අනුව එක් පැත්තකින් මධ්‍යම ආසියාවෙ රාජයයන් හරහා වෙළඳ ව්‍යාපෘති ආශ‍්‍රිතව රටවල් සමග සබඳතා ඇතිකර ගෙන යනව. පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයතව තිබුනු රාජ්‍යයන් සමග නව සේද මාවතක් සදහා චීනය කටයුතු කරමින් සිටිනවා. ඒ අතර ඉන්දියන් සාගරයේ මුතුපොට ලෙස වරාය හා වාණිජ මධ්‍යස්ථාන ගණනාවක් සදහා චීන ව්‍යාපෘති ක‍්‍රියාත්මක වෙනවා. ලංකාවෙ හම්බන්තොට වරාය සහ දකුණු කොළඹ වරාය මේ සඳහා චීන මුතුපොටට සම්බන්ධ කරගත් ව්‍යාපෘති දෙකක්. විශේෂයෙන්ම චීන අරමුණු අනුව මේ රටේ දේශපාලන ක‍්‍රියාකාරිත්වයක පවතින දේශපාලන බලවේග එක්සත් ජනපද වයාපෘති පමණක් අධිරාජ්‍යවාදය ලෙස හදුන්වමින් චීනයට අවශ්‍ය දේශපාලන ඉත්තන් ලෙස කටයුතු කරනවා. අපි කියනවා හම්බන්තොට වරාය සහ දකුණු කොළඹ වරාය නගරය කියන්නේ චීනය විසින් ලංකාවෙ අටවපු කාල බෝම්බ දෙකක්. ඒවා පුපරා යන්නෙ චීනය හා එක්සත් ජනපදය අතර භූ-දේශපාලන ගැටුම් උත්සන්න වන අවස්ථාවකදි. ඒ නිසා මේ කරුණු සම්බන්ධයෙන් අපි ජනතාව හමුවේ කරුනු අනාවරණය කරන්නෙ මේ ආණ්ඩුවත් ආණ්ඩුවට විරුද්ධයි කියන ව්‍යාජ දේශපේ‍්‍රමින් විසින් ගෙන යන මේ දේශපාලන සූදුව නිසා රටක් වශයෙන් ජනතාව සමස්තයක් ලෙස විශාල අනතුරකට ඇද වැටෙමින් තිබෙනවා.

ලංකාව ඇමරිකාවේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් !

මේ වනවිට එක්සත් ජපදයට අවශ්‍ය වෙලා තියෙන්නෙ ඉන්දියන් සාගර කලාපයේ යුද මෙහෙයුම් මධ්‍යස්ථානයක් සඳහා කටයුතු සූදානම් කරන්නයි. පසුගිය දීර්ඝ ඉතිහාසයක ඔවුන් ඉන්දියන් යුද මධ්‍යස්ථානය ලෙස මැදපෙරදිග යුද්ධ ගණනාවකදිත් මෑතක සිරියානු යුද්ධයෙදිත් භාවිතා කළ සුප‍්‍රකට දියාගෝ ගාර්ෂියා කඳවුර දැන් ඉවත් කරගන්න සිදුවෙලා. එක්සත් ජනපදය විසින් දියාගෝ ගාර්ෂියවෙ පවත්වාගෙන යන යුද කඳවුර ඉවත් කළ යුතු බවට මැයි 22 වැනිදා එක්සත් ජාතින්ගේ මහා මන්ඩලයෙ යෝජනාවක් සම්මත වුණා. ඒ අනුව, දැන් ඉන්දියානු සාගරයෙ එක්සත් ජනපද මිලිටරි බලය අහිමි වෙමින් තිබෙන නිසා එක්සත් ජනපදය ලංකාවට සංවර්ධන ආධාර වැඩි කරන බවක් පෙන්වමින් මැදිහත් වෙන්නෙ ඇයි කියලා සාමාන්‍ය දේශපාලන අවබෝධයක් ඇති කෙනෙකුට පවා තේරුම් ගන්න පුලූවන්. මෙවැනි පසුබිමක චීන-අමෙරිකන් ගැටුමක් සඳහා ලංකාව මැදි කරන්න පාලකයන් කටයුතු කරන්නෙ ඔවුන් එක් හෝ වෙනත් බලවත් රාජ්‍යයක ඉත්තන් ලෙස කටයුතු කරන නිසා.
මේ බිහිසුණු ඉරණමෙන් ගැලවෙන්න අපි ජනතාව ලෙස රටක් ලෙස ඉක්මනින් මැදිහත්වී ක්‍රියාත්මක විය යුතුයි. මේ රටේ ජනතාව වෙනත් බලවත් රටවල ආර්ථික හෝ මිලිටරිමය අරමුණු වෙනුවෙන් බිලි දෙන පාලකයන්ගෙ පිළිවෙත්වලට එරෙහිව ජනතාව සංවිධානය කරන්න, එවැනි දීන අධිරාජය ගැති පාලකයන් පරාජය කරන්නත් එක් අධිරාජ්‍ය ගැති පිළිවෙතක් වෙනුවට වෙනත් අධිරාජ්‍ය ගැති බලවේග පැමිණිම වළක්වා ජනතාවගේ අරමුණු වෙනුවෙන් වමේ බලයක් ගොඩනගන්නත් පෙරටුගාමි සමාජවාදී පක්ෂය කැපවී කටයුතු කරන බව මේ අවස්ථාවේ සදහන් කරනවා.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න