රතන හිමි තැඹිලි බොන්න සූදානම් : සිරිසේන තැඹිලි පොවන්න සූදානම් !

රතන හිමි තැඹිලි බොන්න සූදානම් : සිරිසේන තැඹිලි පොවන්න සූදානම් !

අතුරලියේ රතන හිමියන් විසින් දියත් කර ඇති මාරාන්තික උපවාස සංදර්ශනයේ දෙවැනි අංගය දියත් කිරීමට නියමිත බවත් ඒ අනූව ඉදිරියේ ජනාධිපති සිරිසේන අතින් තැඹිලි වතුර වීදුරුවක් පානය කිරීමට නියමිත බව විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

මේ රතන හිමියන්ගේ මාරාන්තික උපවාස රංගනය දියත්කර ඇත්තේද පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනය කිරීම සඳහා පත්කර තිබෙන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු අඩාල කරවීමට වන අතර ඒ එහි සිදුවන සාක්ෂි විමසීම් සහ අනාවරණයන් ඉදිරියේ ජනාධිපති සිරිසේන ජාතික ආරක්ෂාව නොතකා කටයුතු කිරීමේ චෝදනාව එල්ලවීමේ බරපතළ අවධාමනකට මුහුණදී සිටින නිසාය.

ඒ අනුව ජනාධිපති සිරිසේන ඇතුළු ශ්‍රීලනිප පාර්ශවය විසින් ඉදිරි දිනයක දැවැන්ත ප්‍රචාරක ව්‍යාපෘතියක් සමග රතන හිමිගේ මාරාන්තික උපවාස රංගනය අවසන් කරවීමට නියමිත බව වාර්තා වෙයි.

මේ බව රතන හිමිගේ මාරාන්තික උපවාස රංගනයේ පසුබිම අනුව මනාව තහවුරු වන අතර ඒ සැකවින් මෙසේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය පදනම් කරගෙන ඒකාබද්ධ විපක්ෂය ගොඩනැගූ මතයට අනූව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් , නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා වන එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා , බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වන අසාද් සාලි වහාම ඔවුන් දරණ ධූර වලින් ඉවත් කිරීම අවශ්‍යය. ඒ ඔවුන් ඉස්ලාම් අන්තවාදය වර්ධනය කළ බව සහ ත්‍රස්ත කටයුතු සඳහා සහය දුන් බවට සිදුකළ පූර්ව නිගමනයක් අනුවය.

රිෂාඩ්ට ගැහුවට වැදුණේ එස්.බී ට !

එහෙත් ජනාධිපති සිරිසේන ප්‍රමුඛ නිදහස් පක්ෂය පාර්ශවයට අවශ්‍ය වූයේ කෙසේහෝ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත්කරලීමය. ඒ වෙනුවෙන් ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක යොදවා ප්‍රබල උත්සාහයක් දියත්වූ අතර ඊට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහයද ලැබිණ.

ඔවුන් සියළු දෙනා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සමග දැඩි වෛරයෙන් ක්‍රියා කළේ ඔහු පසුගිය වසරේ ඔක්තෝබර් 26 දියත්වූ ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණයට සහය දීම ප්‍රතික්ෂේප කර ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සමග එය පරාජය කිරීමට එක්ව සිටීමය.

රිෂාඩ් සමඟ තිබෙන ශ්‍රීලනිප වෛරය !

කෙසේ වුවත් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ඉලක්ක කරගෙන එල්ලවු ත්‍රස්ත චෝදනා යටගියේ ඔක්තෝබර් කුමන්ත්‍රණය අවස්ථාවේ එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා විසින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට කුමන්ත්‍රණ ආණ්ඩුව සමග එක්වීමට ආරාධනා කරන දුරකථන ඇමතුමක් ප්‍රසිද්ධ කිරීමත් සමගය.

එසේම නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා වන හිස්බුල්ලා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වන අසාද් සාලි සම්බන්ධව ද ඒකාබද්ධ විපක්ෂය චෝදනා ගොනුකළ අතර ඒ අනුව මේ තිදෙනාම තනතුරු වලින් ඉවත්කර යුතු බවට මතයක් සැකසින.

මේ සමග බලවත් දේශපාලන ප්‍රශ්නයක් පැනනැඟුණේ ජනාධිපති සිරිසේනට ය. ඒ විශේෂයෙන් නැගෙනහිර ආණ්ඩුකාරවරයා වූ හිස්බුල්ලා ගේ ක්‍රියාමාර්ග ඉස්ලාම් අන්තවාදය පෝෂණය කර ඇති බවට පැහැදිලි සැකසංකා මතුවීම හමුවේ ය. නැගෙනහිර ඉදිකල පෞද්ගලික විශ්ව විද්‍යාලයේ සිට වෙනම මුස්ලීම් අධ්‍යාපන කළාප බිහිකිරීම දක්වා චෝදනා රැසක් ඒ අතර විය.

විශේෂ තේරීම් කාරක සභාව දැක ජනපති සලිත වෙලා !

එක් පසෙකින් පාස්කු ප්‍රහාරයෙන් ජාතිවාදී ප්‍රවණතාවක් ඔස්සේ දේශපාලන වාසි ලැබීමට පොහොට්ටු පාර්ශවය උත්සාහ කිරීම සහ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට අදාල විශ්වාසභංග යෝජනාව එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව ජයග්‍රහණය කිරීම, අනෙක් පසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව සෙවීමට පත්කල පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ සාක්ෂි ජනතාව වෙත නිරාවරණය වීම හමුවේ ජනාධිපති සිරිසේන ජාතික ආරක්ෂාව සම්බන්ධව වගකීම් පැහැරහැර ඇති බව අනාවරණය වීම තත්ත්වය අතිශය බරපතළ කර දැමිණ.

දැනෙන විදිහට වැඩක් කිරීම !

නමුත් අසාද් සාලි සහ හිස්බුල්ලා ආණ්ඩුකාරවරුන් නිකම්ම ඉවත් කිරීම දකුණේ සිංහල බෞද්ධ ජන්ද පදනමට දැනෙන දෙයක් නොවේය. එසේම ඔවුන් ඉවත් කළත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඉවත් කිරීම පහසු නැත. ඒ එක්සත් ජාතික පෙරමුණ සිය සගයා ආරක්ෂා කරන නිසාය.

සාමාන්‍යයෙන් ඕනෑම අයෙකුට අදාළව ත්‍රස්ත කටයුතු සම්බන්ධව චෝදනා ඇත්නම් සිදුකල යුතුව ඇත්තේ නීති මගින් ක්‍රියාකර අධිකරණයට චෝදනා ගොනුකොට දඬුවම් කිරීමය. කාටත් පොතට හෝ යුක්තිය ඉටුවන්නේ එවිටය. එහෙත් ඒකාබද්ධ විපක්ෂය සෘජුව රිෂාඩ් අමාත්‍යවරයා තෝරාගත්තේ යුක්තිය වෙනුවට දේශපාලන වාසිය සැළකිල්ලට ගෙනය. වරක් ගම්මන්පිළ මන්ත්‍රීවරයා මේ කාරණය තහවුරු කළේ "විශ්වාසභංගය දින්නත් අපි දිනුම්, විශ්වාසභංගය පැරදුණත් අපි දිනුම්" කියමින්ය. එසේම ජනතා විමුක්ති පෙරමුණ විසින් සමස්ථ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ වූයේද ඒ නිසාය.

61681580 868800786817785 6556679065275727872 nරතන හිමියන් වතුර බොමින් මාරාන්තික උපවාසයක් කරන ආකාරය සිරස රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ආකාරය.රතන රංගනය !

මේ හමුවේ සිරිසේන පාර්ශවයට ලැබෙන වාසියක් නැති බව පැහැදිළිය. එහිදී සටනක් නැතිව මේ ජාතිවාදී ප්‍රවණතාව අත්හරින්නට සූදානම් නොවූ එම පාර්ශවය "රතන මාරාන්තික උපවාස රංගනය" කරළියට ගෙනාවේය. මේ සිදුවන්නේ ජනතා අවධානය වෙනතක යොමුකරන ජාතිවාදී ගොහොරුවේ කරවටක් සමාජය ගිල්ලවන අපේක්ෂාවෙන් දියත්වන රංගනයක් බව තේරුම් ගන්න වැඩිපුර සාක්ෂි අවශ්‍ය නැත.

සැබවින්ම එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පැමිණියත් වස විස නැති කෘෂිකර්මය සහ ග්ලයිපොසේට් විරෝධයේ සිට රතන හිමියන් අවසානයේ නැවතුණේ ජනාධිපති සිරිසේන සෙවණේය. අදටත් රතන හිමි ඉන්නේ එතැනය. එනිසා මේ ඉවත්කිරීම් ගැන රතන හිමියන්ට උපවාස කරන්නට දෙයක් නැත. කරන්න ඇත්තේ ජනාධිපති හමුවී මුහුණටම කියන්න තියනදේ පැවසීමය. නැතිනම් ජනාධිපතිට බලපෑම් කරන්න දළදා මාළිගාව ඉදිරියට යන්න දෙයක් නැත. ඒ වෙනුවට හොඳට බලපෑම් කරන්න තිබුණේ ජනාධිපති නිල නිවස අසළ පැජට් පාරේ හෝ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටය. නැතිනම් තැඹිලි වතුර පොවන්න එන්න ටිකකට කළියෙන් වෙනතුරු ජනාධිපති මේ ගැන නොදැන සිටියා කියා කීමට පවා ඉඩ ඇත. මේවා රට ජාතිය ආගම වෙනුවෙන් කරන සැබෑ කැපකිරීම් නොව ජනතාව අන්දන දේශපාලන ගේම් වන්නේ ඒ නිසාය.

ananda sagare
ආදන්ද සාගර කොළඹ වැඩේ අතට අරගෙන !

කෙසේ හෝ රතන හිමියන් මාරාන්තික උපවාසය කරන අතර ඊයේ (01) තවත් දෙයක් සිදුවිය. ඒ නුවර උපවාසයේ උණුසුම කොළඹ ගෙන ඒමය. ඒ රංගනයට පණ පොවන්නේ ද ජනාධිපති සිරිසේනටම හිතවත් පාහියන්ගල ආනන්ද සාගර හිමිය.

බොරුවට ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට ගොස් දඟලන්න දෙයක් උන්වහන්සේටත් නැත. ඒ අවශ්‍ය ඕන වෙලාවක ජනාධිපති හමුවී මේ ගැන කියන්න අවස්ථාව ආනන්ද සාගර හිමිටත් ඇති නිසාය. එපමණක් නොව ජනාධිපති කාර්යාලයෙන් උන්වහන්සේ දීමනාවක් ලබන බවත් මෝටර් රථයක් පවා ආනන්ද සාගර හිමිට නිකුත්කර ඇති බවත් උන්වහන්සේට චෝදනා පවතී. අප ඒ දේවල් චෝදනා ලෙස නොදැක්කත් දේශපාලන හිතවත්කම් , පාක්ෂිකත්වය මත ගහන දේශපාලන ගේම් ගැන කියන්න පසුබට වන්නේ නැත.

image aa7b8d595b
කුමන්ත්‍රණයට සහයදුන් වියාලේන්ද්‍රන් මඩකළපුවේ !

එසේම මේ අතර අතුරලියේ රතන හිමියන් විසින් ආරම්භ කළ උපවාසයට සහය පලකරමින් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් ඇතුළු පිරිසක් මඩකලපුවේ ඊයේ (01) සංඛේත උපවාසයක් අරඹනු ලැබිණ.

මේ මන්ත්‍රී වියාලේන්ද්‍රන් කියන්නේද කුමන්ත්‍රණ ආණ්ඩු සමයේ ඊට සහය දෙමින් ජනාධිපති සිරිසේනට එක්වූ ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කළ එකම මන්ත්‍රී ය.

සාලි නොකවුට් : ජනාධිපතිට හිතවත් වෙබ් කියයි !

මේ දේශපාලන ගේමේ ඊළඟ රංගනය කරළියට ඒමත් ඊයේ දිනයේම සිදුවිය. ඒ ජනාධිපති සිරිසේනට සමීප සමාජ වෙබ් අඩවි කිහිපයක් හෙළිකළ පුවතක්ය.

IMG 20190601 213930ඒ පුවත මෙසේය.

"රටේ ආන්දෝලනයට ලක්ව සිටින ආණ්ඩුකාරවරයකු වහාම එම ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සූදානමින් සිටින බව ආණ්ඩුවේ දේශපාලන ආරංචි මාර්ග පැවැසීය.

බොහෝ දුරට එම පුද්ගලයා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලිය විය හැකි බවද එම ආරංචි මාර්ග පැවැසීය.

මේ අතර නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා එම ධුරයෙන් ඉවත් කරන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබේ.

ඉස්ලාම් අන්තවාදී කටයුතුවලට ඉහත ආණ්ඩුකාරවරු සම්බන්ධ බවට එල්ලවන චෝදනා සේම මෙම ආණ්ඩුරවරුන්ගේ ඇතැම් හැසිරීම් රට, ජනතාව දැඩිව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ජනාධිපතිවරයාට මෙම තීරණය ගැනීමට සිදුව ඇති බව වාර්තාවේ."

ඒ අනුව මේ සූදානම් වන්නේ අසාද් සාලි බස්නාහිර ආණ්ඩුකාර ධූරයෙන් ඉවත්කර ලකුණු දාගැනීමට බව අමුතුවෙන් කිවයුතු නොවේ. එසේම මේ පුවතට සමගාමීව තවත් පුවතක් එම වෙබ් අඩවි විසින් නිර්මාණය කර තිබිණ. ඒ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර රිෂාඩ් අමාත්‍යවරයා ඉල්ලා අස්වීමට සූදානමක් ඇති බව සඳහන් කරමින්ය.

මේ සම්බන්ධව අප වෙත ලැබී ඇති ආරංචිමාර්ග අනුව නම් හිස්බුල්ලා නැගෙනහිර ආණ්ඩුකාර ධූරයෙන් ඉවත් කිරීම ප්‍රමාද කිරීමට නියමිතව ඇති අතර රතන හිමියන් තැඹිලි බී මාරාන්තික උපවාසය අවසන් කරන්න සිටින්නේ අසාද් සාලි ආණ්ඩුකාර ධූරයෙන් ඉවත් කිරීමට සීමා වෙමින්ය. හිස්බුල්ලා නැගෙනහිර ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කිරීම ප්‍රමාද වෙමින් තිබෙන්නේ එය ශ්‍රීලනිප මුස්ලීම් ජන්ද පදනමට අවාසියක් බවට ගණන් තබමින්ය.

හිස්බුල්ලාට තව අලුත් තනතුරක් !

එහෙත් මේ වන විට ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා ට ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සම්බධීකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස ජනාධිපති සිරිසේන විසින් නව තනතුරක් ලබාදී ඇත. ඒ ඔහුව යම් ආකාරයට ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කරත් දිගටම දේශපාලනයේ තබා ගැනීමටය. නැගෙනහිර පළාතේ සිදුකරෙන සංවර්ධනය කියමින් ආණ්ඩුකාර ධුරයටත් වඩා වැඩිපුර දේශපාලන කටයුතු වල නිරතවීමට ඒ හරහා ඔහුට අවස්ථාව හිමිවේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සම්බන්ධිකරණ කමිටුවේ නව රැස්විම ලබන ජුනි 10 දා ත්‍රිකුණාමල දිසාපති කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට නියමිත අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිවරුන් ලෙස වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය ඇමැති එම්.ඒ.එම්.මහරුප් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් දැනට කටයුතු කරයි.

මහා මාධ්‍ය මෙහෙයුමක් සූදානම් !

එනිසා හිස්බුල්ලා ප්‍රශ්නය මෙහිදී යටයනු ඇති බවත් ඒ වෙනුවට රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ඉවත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ගිණුමට බැර කරමින් ජනාධිපති නුවර ගොස් ජාතිය ඇමතීමේ සූදානමක් ගැනත් තොරතුරු වාර්තා වෙයි. එසේම තවත් ආරංචි මාර්ගයක් සඳහන් කරන්නේ රතන හිමියන් ජනාධිපති කාර්යාලයට කැඳවා අදාළ තනතුරු ඉවත් කිරීම සජීවී ලෙස ප්‍රචාරය කිරීමේද යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවය. එසේම රතන හිමියන් කැඳවාගෙන ඒම සඳහා ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම නුවර යාමට නියමිත බවත් දැනගන්නට ඇත.

එහෙත් දැනට තහවුරු වූ කරුණ වන්නේ ජනාධිපති සිරිසේන නුවර ගොස් රතන හිමිට තැඹිලි පොවා, දළදා මාළිගය ඉදිරිපිට සිට ජාතිය අමතා මල්වතු සහ අස්ගිරි විහාර වෙතත් ගොස් ඉදිරි ක්‍රියාමාර්ග ගැන දැනුවත් කිරීමය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න