මෙහි එන ඡායාරූපයෙහි පළවෙන්නේ අප්‍රෙල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් දින පහකට පසුව අප්‍රෙල් 26 වැනිදා, මව්බිම පුවත් පතේ ප්‍රධාන පුවතයි. බලංගොඩ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් ලද තොරතුරු මත චාමර අමරසූරිය නම් මව්බිම කර්තෘ මණ්ඩල මාධ්‍යවේදියා මේ පුවත පළකර තිබුණි.
ලොකු අතුරින් එහි තිබුණේ පාර්ලිමේන්තුවට පහරදෙන්න සැලසුමක් කියාය. උපසිරස්තල කිහිපයක බලංගොඩින් හමුවූ ලොරියේ, මැතිසබයට ඇතුළුවීමේ අවසරපත් 6ක්, පිවිසුම් මාර්ගයේ සැලසුමක්, රහසිගත තට්ටුවක්, සැකකරු වැඩ කරලා තියෙන්නේ කොල්ලුපිටියේ, ජංගම දුරකතන තුනක්, සිම්කාඩ් 13 ක්, බැංකු කාඩ් තොගයකුත් තිබිලා යැයි සඳහන් වී තිබුණි.
හිරු, අද දෙරණ, දිවයින ඇතුළු අනෙක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන සියල්ලම මේ පුවත මෙලෙසම වාර්තා කර තිබුණු අතර, පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි බව රෝහිත අබේගුණවර්ධන ඇතුළු දේශපාලනඥයන් කිහිපදෙනෙකුම ප්‍රකාශ සිදු කළේ ඒ ප්‍රවෘත්තිය අනුවය.
බලංගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන මාර්ගයේ දළ සැලැස්මක්, පාර්ලිමේන්තු අවසර පත්‍ර 06 ක්, ටී 56 උණ්ඩ දෙකක්, සිම්කාඩ් 13ක්, ජංගම දුරකතන 03ක්, ටැබ් පරිඝණකයක්, ක්‍රෙඩිට් කාඩ් කිහිපයක් හා කැබ් රථයක් සමග 27 හැවිරිදි මුස්ලිම් තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය සියල්ලම පාහේ පොදුවේ වාර්තා කර තිබුණු පුවතයි.
පාර්ලිමේන්තුවට ඇතුළුවෙන අවසර පත් හයක් හා පාර්ලිමේන්තුවේ සිතියමක් අත්අඩංගුවට ගත් තරුණයා සතුව තිබී ඇත. එය පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් යැයි සැකකරන්නට එකම හේතුව වී තිබේ. පාර්ලිමේන්තුවේ සිතියමක් යැයි කීවද එහි පාර්ලිමේන්තුවේ සියලු ගොඩනැගිලි ගැන විස්තර තිබී නැත. ඒ සිතියමෙහි තිබුණේ පාර්ලිමේන්තුවේ ඉහළින් නැරඹීමේදී පෙනී යන අන්දමේ දළ සිතියමක් පමණි. ඒ සිතියම ඔහු සතුව තිබුණේද හේතුවක් නැතුව නොවේ. මේ වෙද්දී බී/309/19 නඩු අංකය යටතේ අධිකරණයට ඉදිරිපත් කර ඇත.
ඔහු පාර්ලිමේන්තුවට පිවිසීමේ මාර්ගය පිළිසකර කිරීමේ උපකොන්ත්‍රාත්තුවක් භාරගත් සමාගමක සේවකයෙකි. එම සමාගමේ නම පුබුදු කන්ස්ට්‍රක්ෂන්ස් ය. එහි හිමිකරුගේ නම අලියාර් අලි ඛාන්ය. ඔහු ඉදිරිපත්වී පොලීසියට කටඋත්තරයක් ලබා දෙමින් තහවුරු කර ඇත්තේ අත්අඩංගුවට ගත් තරුණයා තමන්ගේ ආයතනයේ සේවය කර ඇති බවය.
පුබුදු කන්ස්ට්‍රක්ෂන්ස් සමාගමට උපකොන්ත්‍රාත්තුව බාර දී තිබුණේ මග නැගුම රෝඩ් කන්ස්ට්‍රක්ෂන් ඉක්විප්මන්ට් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය විසින්ය. මේ ආයතනය පෞද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කර තිබුණද ආයතනයක් නොවේ. මහාමාර්ග අමාත්‍යාංශටය යටතේ තියෙන රජයේ සමාගමකි. එම සමාගමට භාර වී තිබුණු පාර්ලිමේන්තු පිවිසුම් මගෙහි වළගොඩැලි වසා පිළිසකර කිරීමේ කටයුත්තෙහි උපකෝන්ත්‍රාත්තුවක් පුබුදු කන්ස්ට්‍රක්ෂන් සමාගමට භාර වී තිබේ. අත්අඩංගුවට පත්ව තියෙන්නේ ඒ උපකොන්ත්‍රාත්තුව භාරගත් සමාගමේ සේවකයෙකි.
ඔහු සතුව තිබී අත්අඩංගුවට ගෙන තිබුණු නැගෙනහිර පළාතේ පදිංචි කළ මහේන්ද්‍ර බොලෙරෝ වර්ගයේ ට්‍රක් රියක් ගැන ප්‍රවෘත්තිවල සඳහන් විය. එහි පසුපස අමතර තට්ටුවක් සවිකර ඇති බවත්, ඒ නිසා ට්‍රක් රියෙහි ඔරිජිනල් තට්ටුවත් සවිකළ තට්ටුවත් අතර රහස් කුටියක් ට්‍රක් රියේ පසුපස තිබුණු බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට අදාළ පුවත්වල තිබුණු බිය වඩවන කාරණයකි. මේ රහස් කුටියෙහි බෝම්බ ප්‍රවාහනය කරනු ඇති බවට ඒ කරුණෙන් ඉඟිකර තිබුණි. එහෙත් මෙම අමතර තට්ටුව සවිකර තිබුණේ එම ට්‍රක් රියෙහි තිබුණු තට්ටුව දිරාපත්වීම නිසාය. ඒ අමතර තට්ටුව නිසා රහස් කුටියක් නිර්මාණය වෙන්නේ නැත. තට්ටු දෙක අතර එතරම් පරතරයක් නැත. මෙම ට්‍රක් රිය නැගෙනහිර පළාතේ පදිංචි ආයතනයේ සේවකයෙකුගේ නාමය යටතේ ලියා පදිංචි කළ එකක් බව සැබෑය. එමෙත් එය නීතිවිරෝධීව ළඟ තබාගත් එකක් නොවේ.
ඊට අමතරව ඔහු සතුව තිබී අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර සිම්පත් 13ක්, ජංගම දුරකතන තුනක් ඇත. ඒ සියල්ලම ඔහු ළඟ තිබෙන්නට හේතුවක් ඇත. ඔහු මීට පෙර බලංගොඩ නව බස් නැවතුම්පළේ ඉහළ මහලේ ෆෝන් 4 යූ යන නමින් ජංගම දුරකතන අලෙවිසැලක් පවත්වාගෙන ගොස් ඇත. මේ වෙද්දී ඔහු එම අලෙවිසැල පවත්වාගෙන නොගියද ඔහුගේ නිවසෙහි ඒ වෙළඳසැලෙහි බිල්පොත්ද තිබී ඇත.
මේ තරුණයා සතුව තිබුණු එකම නීතිවිරෝධී භාණ්ඩය වී ඇත්තේ ජීව උණ්ඩ දෙකය. ඔහු බලංගොඩ නවෝදා විද්‍යාලයේ කැඩෙට් කණ්ඩායමෙහි සිටි සාමාජිකයෙකි. 2010-11 පමණ කාලයේදී ඔහු කැඩෙට් කණ්ඩායමෙදී ලද සහතික පත්‍ර පවා ඔහු සතුව තිබී ඇත. ඔහු ප්‍රකාශ කරන අන්දමට ඒ ජීව උණ්ඩ දෙක ඔහු ලබාගෙන ඇත්තේ කැඩෙට් කඳවුරකින්ය. එය ලඟ තබාගැනීම පුපුරන ද්‍රව්‍ය ආඥාපනත යටතේ නීතිවිරෝධී ක්‍රියාවක් බව සැබෑය. පාසැල් යන කාලයේ කැඩෙට් කණ්ඩායම්වල සිටි අය මෙන්ම හමුදා සෙබළුන් කී දෙනෙකුගේ නිවෙස්වල සිහිවටන ලෙස ජීව උණ්ඩ තබාගෙන සිටිදැයි අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ඔහු අත්අඩංගුවේ ඉන්නේ පුපුරන ද්‍රව්‍ය ආඥාපනත කඩ කිරීම මත නොවේ. ත්‍රස්ත ක්‍රියාවකට සැලසුම් කළේ යැයි චෝදනාව මත මහජන ආරක්ෂක පනත යටතේ හා හදිසි නීති තත්වය යටතේය.
මෙම සිදුවීම පිළිබඳව පරීක්ෂණ කරන පොලිස් නිලධාරීන් පවසන අන්දමට මෙය බැලූ බැල්මට පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ලකිරීම ගැන සිදුවීමක් නොවේ. මේ තරුණයාගේ නිවස පරීක්ෂා කර ඇත්තේ අත්අඩංගුවට ගත් ත්‍රස්ත කල්ලි සාමාජිකයෙකුගේ කට උත්තරයක් මත නොවේ. අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ තරුණයා ත්‍රස්ත කල්ලි සමග සම්බන්ධතා පැවැත්වූ බව කරුණු හෙළිවීද නැත. ඔහුගේ නිවස පරීක්ෂා කරන්නට හේතුව වී තිබුණේ නැගෙනහිර පළාතේ ලියා පදිංචි කළ ට්‍රක් රථයක් තිබුණු බවට ලැබුණු ඔත්තුවක් පමණි.
ත්‍රස්ත ක්‍රියා ගැන පදනම් සහගත කරුණු නැතත් ඔවුන්ට මෙලෙස ත්‍රස්ත චෝදනා මත ඔහු අත්අඩංගුවේ තබා ගැනීමට සිදුවී තිබෙන බව පොලිස් නිලධාරීහු කියති. ඒ තරුණයා ඇප මත නිදහස් කළොත් ත්‍රස්තවාදී සැකකරුවෙකු අනිසි බලපෑම් මත නිදහස් කළේ යැයි පොලීසියට චෝදනා එල්ලවේයැයි බියෙනි. පොලිස් නිලධාරීන්ගේම භාෂාවෙන් පැවසුවහොත් මීඩියාවලට හා හාමුදුරුවරුන්ට බියෙනි. මේ තරුණයා නිදහස් කළොත් පහුවදාම පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරයේ සැකකරු නිදහස් යන සිරස්තලයෙන් ප්‍රවෘත්ති පළවෙනු ඇති බවත් ප්‍රදේශවාසීන් බලංගොඩ පොලිසිය වටලනු ඇති බවත් ඔවුහු පවසති. එමෙන්ම දැනටමත් මාධ්‍යවලින් මේ තරුණයාගේ නම්ගම් පවා හෙළිකර තියෙන නිසා ඔහු නිදහස් කළොත් තරුණයාගේ ජීවිතයටද හානි වනු ඇතැයි ඒ නිලධාරීහු කියති.
පුංචි කාලයේ දරුවන්ට චිත්‍ර ඇඳීමට ගරුවරු තිත් සහිත චිත්‍ර ලබා දෙති. ඒ තිත් එකිනෙක යාකොට චිත්‍රයක් නිර්මාණය කරගැනීමත්, ඒ චිත්‍රය පාට කර ගැනීමත් දරුවන්ට පැවරෙයි. චිත්‍රයේ ඉන්නේ හාවකු නම් චිත්‍රයට ඉහළින් හාවා යැයි මාතෘකාව සඳහන් කර ඇත. මාතෘකාවේ හාවා යැයි තිබුණද, මුලින් හාවෙක් නැත. ඇත්තේ තිත් පමණි. යා කළ පසු හාවා නිර්මාණය වෙයි. මේ දිනවල මාධ්‍ය කරන්නේ පුරවැසියන්ට යා කොට පාට කර ගැනීම සඳහා තිත්වලින් යුත් චිත්‍ර මැවීමයි. චිත්‍රවලට ඉහළින් නම් සඳහන් කර ඇත. ඒත් ඒ තිත් යාකොට පාට කිරීමේ අභ්‍යාසය පාඨකයන්ට පවරයි. ඉහතින් කී ලොරි රථ, සිම්කාඩ්, අවසරපත්‍ර, උණ්ඩ ආදී තිත් ගොඩක් තැබූ මව්බිමේ චාමර අමරසූරිය පාර්ලිමේන්තුවට පහර දෙන්න සැලසුමක් නම් චිත්‍රය පාට කිරීමේ කටයුත්ත පාඨකයන්ට පවරා තිබුණි.
ඉහත කී සැකකටයුතු දේවල් අතර බැංකු කාඩ්පත්, ටැබ් පරිගණක ආදිය ඔහු සතුව තිබුණේ ඇයි දැයි අමුතුවෙන් පැහැදිළි කළ යුතු යැයි නොසිතමු. කොල්ලුපිටියේ හෝටලයක සේවය කිරීමත් මේ සැකයෙන් පිරි කතාවේ තවත් තිත් කිහිපයක් මිස, ඒවා තනිව ගත්තොත් සැකයක් ඇති නොකරන කාරණාය.
කෙසේ වෙතත් මේ තරුණයා මුස්ලිම් වීම නිසාම මාසයකට වැඩි කාලයක් තිස්සේ ඉන්නේ අත්අඩංගුවේය. ඔහුගේ ජීවිතය මේ සිදුවීමෙන් පසුව සම්පූර්ණයෙන් උඩු යටිකුරු වනු ඇත. ඒ ගැන මාධ්‍ය ආයතනවලට වගකීමක් නැත. ඛේදවාචකය එයයි.
(අනිද්දා)

