රටේ ඉදිරිගමන, නායකත්වය හා ජාතික වැඩපිළිවෙල තීරණය කිරීමට මෙම වසරේදී ජනතාවට අවස්ථාව හිමිවන බවත් රණසිංහ ප්‍රේමදාස නාමයෙන් එම ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට තමන් ඇප කැප වන බවත් නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.
දූෂණයෙන් හා වංචාවෙන් තොර පොඩි මිනිසා රජ කරවන කාර්යශූර, අවංක රාජ්‍ය පාලකයෙකු බිහිකිරීම ජනතාවගේ එකම බලාපොරොත්තුව බවත්, එම ජනතා පැතුම ඉටු කිරීමට රණසිංහ ප්‍රේමදාස නාමයෙන් අප අත්වැල් බැඳගෙන කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන්කර සිටියි.
රාජ්‍ය සම්පත් භාවිතා කළ යුත්තේ පාලකයින්ගේ සුඛවිහරණය උදෙසා නොව රටේ අසරණ පොදු ජනතාවගේ සුඛවිහරණය උදෙසා බැවින් පාලකයින් රටේ සම්පත් අඩුවෙන් භාවිතා කළයුතු බවත්, අමාත්‍යවරයා පවසා තිබේ.
අපේ රට සිංගප්පූරු රට මෙන් දියුණු තත්ත්වයට පත් කිරීම ජනතාවගේ එකම බලාපොරොත්තුව බවත්, 2019 වසර එම ගමනේ හැරවුම් ලක්ෂය බවට පත් කිරීමට ජනතාවට අවස්ථාව හිමිවන බවද අමාත්‍යවරයා පැවසීය.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ඇහැටුවැව, ඇතිනිමලේ ඉදිකළ “ගජමුතුගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිණි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 193 වන ආදර්ශ ගම්මානය මෙය වේ.
“ගජමුතුගම” උදා ගම්මානය නිවාස 28 කින් සමන්විත වන අතර එය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 379 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් මෙය සමන්විත වේ.
උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 28 දෙනාට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය හා රුපියල් ලක්ෂ 224 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 28 ක හිමිකම නොමිලේ ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 325 කට රුපියල් ලක්ෂ 756 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, පවුල් 126 ක් සඳහා රුපියල් ලක්ෂ 630 ක් වටිනා ‘ග්‍රාමශක්ති’ නිවාස අධාර, ප්‍රතිලාභීන් සඳහා රුපියල් ලක්ෂ 38 ක් වටිනා ‘විරුසුමිතුරු’ නිවාස අධාර, වකුගඩු රෝගීන් සඳහා රුපියල් ලක්ෂ 79 ක් වටිනා නිවාස ආධාර, ප්‍රතිලාභීන් සඳහා රුපියල් ලක්ෂ 26 ක් වටිනා ‘සොඳුරුපියස’ නිවාස ණය ප්‍රදානය, පුහුණුලාභීන් 37 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 19 විටිනා “ශිල්ප සවිය” ප්‍රතිලාභ ප්‍රදානය සහ දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 141 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.
{gallery}sajith-2{/gallery}

