83 ජූලි වරද යළිත් එපා - අගමැති

83 ජූලි වරද යළිත් එපා - අගමැති

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සතියකට පසු රටේ තැන තැන සංවිධානාත්මකව ජාතිවාදී ගැටුම් ඇති කිරීමට එක්තරා කණ්ඩායමක් උත්සාහ කළ බවත් එවැනි ගැටුම්වලින් ජය ලබන්නේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් මිස අන්කවරෙක්වත් නොවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

යාපනය නගර සභා ක්‍රීඩා පිටියේ දී පසුගියදා පැවැති සමෘද්ධි සහනාධාර බෙදාදීමේ උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් දැක්වීය.

ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා වෙහෙසෙන ආරක්‍ෂක අංශවල අවධානය වෙනතකට යොමු කිරීම මේ කණ්ඩායම්වල අරමුණ බවත් ඒ නිසා එවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවල නියැලෙන්නන්ට, ත්‍රස්තවාදී ක්‍රියාවල නියැලෙන්නන්ට සමානව නීතිය ක්‍රියාත්මක කරන බවත්, දඬුවම් ලබාදෙන බවත් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

මධ්‍යස්ථ දෙමළ ජනතාව ඈත්වීමට 1983 ජූලි කලබල හේතුවුණු බව පෙන්වාදුන් අගමැතිවරයා මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් ද ඒ වරද නැවත සිදු නොවීමට වගබලා ගැනීම සියලූ දෙනාගේම වගකීමක් බව ද පැවසීය.

යාපනය දිස්ත්‍රික්කයේ මෙවර සමෘද්ධි හිමිකම් ලැබූ සංඛ්‍යාව 23,011 වන අතර, ඉන් 5000 කට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයේ දී සංකේතාත්මකව සමෘද්ධි හිමිකම් පත් පිරිනැමිණි. මේ අනුව යාපනය දිස්ත්‍රික්කයේ සමස්ත සමෘද්ධි හිමිකම් ලාභීන්ගේ සංඛ්‍යාව 76,289 ක් වේ.

එම උත්සවය අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

“යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 23,011 කට අලූතින් සමෘද්ධි හිමිකම ලබාදෙනවා. ඒ අනුව යාපනයේ පවුල් 76,289 ක් අපි සමෘද්ධි ලබාදීමේ වැඩසටහනට ඇතුළත් කර තිබෙනවා. මේ රටේ අවුරුදු 20 ක් සමෘද්ධිය නොලැබුණු සහ යුද්ධ කාලයෙන් පසුවත් සමෘද්ධිය නොලැබුණු පුද්ගලයින් රාශියක් සිටිනවා. සමහරු සුදුසුකම් නොමැතිවත් සමෘද්ධිය ලබා ගන්නවා. ඇතැම් අය මියගිය පසුත් සමෘද්ධිය ලබා ගන්නවා. නමුත් ඇත්ත වශයෙන්ම හිමිවිය යුතු අයට සමෘද්ධිය ලැබුණේ නැහැ. එම වරද නිවැරදි කිරීමට අප කල්පනා කළා.

එක්සත් ජාතික පක්‍ෂයට සමෘද්ධි අමාත්‍යාංශය ලබා ගැනීමට හැකි වුණේ 2018 මාර්තු මාසයේ දීයි. නමුත් ඔක්තෝබර් මාසයේ සිට අපි දින 52 ක් බලය නොමැතිව සිටියා. ඒ දිනවල අප බලයේ සිටියා නම් 2019 මාර්තු වන විට මේ සමෘද්ධි සහනාධාරය ඔබට ලබා දෙන්නට හැකියාව තිබුණා. දේශපාලන කුමන්ත්‍රණය නිසා එය ඉටු කිරීමට නොහැකි වුණා.

නැවතත් අපි බලය ලබා ගැනීමෙන් පසුව මෙම වැඩසටහන ජුනි මාසයේ දී ක්‍රියාවට නංවන බව දයා ගමගේ අමාත්‍යතුමා මා සමග පැවසුවා. නමුත් මා කල්පනා කළේ ජුනි මාසය වන විට එය කිරීමට නොහැකි වනු ඇති බවයි. නමුත් එතුමා එම වගකීම බාර ගෙන මේ වන විට සමෘද්ධි ලබාදීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා.

සමෘද්ධි ලාභීන්ට මෙම සමෘද්ධි සහනාධාරය ලබාදීමට හැකි වුණේ දයා ගමගේ අමාත්‍යතුමා ගත් උනන්දුව නිසයි. එතුමාට ඇමැතිකමක් ලබාදුන් විට කැප වී වැඩ කරනවා. කුඩා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස රටේ කුරුදු වැනි කුඩා කර්මාන්ත දියුණු කිරීමට කටයුතු කළා. ඒ සඳහා ලෝක බැංකු ආධාර ලබා ගත්තා. දැන් අහිංසක ජනතාවට සමෘද්ධිය ලබාදීම හරහා ඊටත් වඩා සේවයක් ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා.

එතුමාගේ සංකල්පයකට අනුව සිංහල - දෙමළ අලූත් අවුරුද්දට පෙර සහන ක්‍රමයක් යටතේ රුපියල් 15,000 ක් ජනතාවට ලබා දුන්නා. නැවතත් එම දීමනාව ජනතාවට ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා. අලූතෙන් සමෘද්ධිය ලැබෙනවා. මේ සියල්ල සිදු කරන්නේ එතුමාගේ දක්‍ෂතාවය නිසයි. ඒ වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා.

ගම්පෙරළියට මේ වසරේ මිලියන 4000ක් !

වර්තමානයේ අපි යාපනයේ විශාල වැඩකොටසක් ආරම්භ කර තිබෙනවා. මේ වසරේ මම උතුරු සංවර්ධන අමාත්‍යාංශය බාර ගත්තා. ඒ හරහා උතුරු පළාතේ යුද්ධයෙන් විනාශ වූ ජනතාවට සහන සැලසීම සඳහා උතුරු පළාත් මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් යාන්ත්‍රණයක් අපි ආරම්භ කර තිබෙනවා. ඔවුන්ගේ අදහස් හා අවශ්‍යතා මත අපි සංවර්ධන වැඩ කටයුතු සිදු කරනවා.

ගම්පෙරලිය වැඩසටහන යටතේ මේ වසරේ දී රුපියල් මිලියන 4000 ක වැඩ කටයුතු සිදු කරනවා. “අයිරෝඩ්” ව්‍යාපාතිය, මයිලඩි ධීවර වරාය හා ගුරු නගර් ධීවර වරාය සංවර්ධනය කිරීම ආදිය අප සිදු කරනවා. පලාලි ගුවන් තොටුපොල සංවර්ධනය සඳහා රුපියල් මිලියන 2500 ක් අවශ්‍යව තිබෙනවා. ඉන්දියානු ආධාර මත කන්කසන්තුරේ වරාය අලූත්වැඩියා කරනවා. යාපනය නගරයේ ජල යෝජනා ක්‍රම ඇති කරනවා. නිවාස ඉදිකර දෙනවා. හොඳම පාසල ළඟම පාසල ව්‍යාපෘතිය යටතේ පාසල් ගොඩනැගිලි ලබාදීම ආදී සියලූ අංශ සඳහා අපි විශාල වැඩ කොටසක් කරමින් පවතිනවා. මෙම වැඩසටහන් අපි තවත් දියුණු කළ යුතුයි.

මේ අවස්ථාවේ ර්‍ණතල් සංවර්ධන අරමුදල” ආරම්භ කිරීමට මුදල් ලබාදීම සම්බන්ධයෙන් මම මුදල් අමාත්‍යතුමාට ස්තුතිය පුද කර සිටිනවා. එම අරමුදලේ රුපියල් මිලියන 2500 ක් තිබෙනවා. තවදුරටත් පෞද්ගලික අංශයත් සම්බන්ධ කර ගනිමින් එම අරමුදලට මුදල් ලබාදීමටත් අපි කටයුතු කරනවා.

“එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” වැඩසටහනටත් අපි ආධාර උපකාර ලබා දෙනවා. සෞඛ්‍ය අමාත්‍යතුමා විසින් උතුරු ප්‍රදේශයේ රෝහල් ගණනාවක් ප්‍රතිසංස්කරණය කර දී තිබෙනවා. කොළඹ හා සමාන නව හදිසි අනතුරු සේවාවක් උතුරටත් ලබා දී තිබෙන අතර හෘද සැත්කම් අංශයක් ද ලබා දී තිබෙනවා. මේ සියල්ල හරහා උතුරු පළාත සංවර්ධනය වනවා.

නිවාස 10000 න් 4750ක වැඩ ආරම්භ කරලා !

නිවාස 10,000 ක් ඉදිකිරීමේ කටයුතු අපි උතුරු පළාතේ අද ආරම්භ කරනවා. දැනටමත් නිවාස 4750 ක වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. තවත් නිවාස 5220 ක වැඩ කටයුතු අපි ආරම්භ කළා. වසර අවසන් වන විට ඒවාත් ඉදිකර අවසන් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. මීට අමතරව නැගෙනහිර පළාතේත් නිවාස ඉදිකිරීමට කටයුතු කරනවා. යුද්ධයෙන් ඔබට අහිමි වූ නිවාස අපි නැවත ලබා දෙනවා.

ජූලි කලබලය රටේ ඇති නොවුණා නම් අපේ රටේ යුද්ධයක් ඇති වන්නේ නැහැ. ජූලි කලබල නිසා අපට ආදරය කළ ද්‍රවිඩ ජනතාව අපෙන් ඈත් වුණා. යුද්ධය අවසන් වීමට වසර 30 ක් ගත වුණා. නැවත යුද්ධයක් ඇති නොවීමට අප වගබලා ගත යුතුයි.

අද අපේ රටේ සංහිදියාව වර්ධනය වෙමින් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් දේශපාලන විසඳුමකට එලැඹිමේ අපේ ස්ථාවරයෙන් අපි ඉවත් වී නොමැති බවත් පැවසිය යුතුයි.

පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී ක්‍රියාවක් බව රටට හෙළි වුණා. නමුත් එදා ජාතිවාදය ඇවිස්සීමක් සිදු වූයේ නැහැ. කාදිනල් තුමා ඇතුළු ක්‍රිස්තියානි පූජක පක්ෂය, බෞද්ධ සංඝරත්නය, ඉස්ලාම් සියලූ පූජක පක්ෂ සියලූ දෙනා එකට එකතු වුණා. එය ජාතිවාදය නොව ත්‍රස්තවාදී ක්‍රියාවක් බව එදින රාත්‍රිය වන විට ඔවුන් පැවසුවා. ජාතිවාදී කෝලාහල මේ රටේ ඇතිකරන්න එපා යැයි පූජක පක්ෂය ජනතාවට පැවසුවා.

ත්‍රස්ත මර්දනයට ඔත්තු දුන්නේ මුස්ලීම් ප්‍රජාවයි !

එදින රාත්‍රිය වන විට අපිට ත්‍රස්තවාදයට සම්බන්ධව සෝදිසි මෙහෙයුම් ආරම්භ කිරීමට හැකි වුණා. මුස්ලිම් ජනතාව විසින්ම කාන්තන්කුඩි සහ සයින්දමරුදු ප්‍රදේශවල සැඟවී සිටි ත්‍රස්තවාදීන් පිළිබඳව තොරතුරු ලබා දුන්නා. ඔවුන් අප අත්අඩංගුවට නොගත්තා නම් තව තවත් බෝම්බ ලංකාව වටේ පුපුරා යනවා. අද අපිට එවැනි තොරතුරු ගණනාවක් ලැබෙනවා. සිංහල, දෙමළ ජනතාවගෙන් ත්‍රස්තවාදය පිළිබඳව ඔත්තු ලැබුනත් වැඩි වශයෙන්ම ඔත්තු ලැබෙන්නේ මුස්ලිම් ජනතාවගෙන් බව පැවසිය යුතුයි.

අයි එස් අයි එස් ත්‍රස්තවාදයට අපි කිසිම අනුකම්පාවක් පෙන්වන්නේ නැහැ. සහරාන්ගේ ජාතික තවුහිද් ජමාත් සංවිධානයත් අපි තහනම් කළා. නමුත් එම සංවිධානවල නැවතත් හිස ඔසවන්නට ඉඩ දිය නොහැකියි. අයි එස් ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු රටේ සෝදිසි මෙහෙයුම් සිදු කර අවශ්‍ය ත්‍රස්තවාදින් අත්අඩංගුවට ගෙන රට සාමාන්‍ය තත්වයට පත්වුණා.

නමුත් ඉන් පසුව අප පාසල් විවෘත කිරීමට තීරණය කළ දිනයේ කුලියාපිටිය, වාරියපොල, බිංගිරිය ප්‍රදේශවල ජාතිවාදී කෝලාහල ඇතිවුණා. මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට, නිවාසවලට පහර දුන්නා. මිනුවන්ගොඩදීත් ප්‍රහාරයක් එල්ල කළා. මිනුවන්ගොඩ මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට පමණක් නොව, තමන්ට විරුද්ධ සිංහල ව්‍යාපාරික ස්ථානවලටත් පහර දුන්නා. එය යම් සංවිධානයක් සිදු කළ ජාතිවාදී පහරදීමක්... එය සිදු වූ අවස්ථාවේ මමත්, අපේ අමාත්‍ය මණ්ඩලයත් සඳුදා සහ අඟහරුවාදා දිනවල ගත් පියවර නිසා එය පාලනය කිරීමට අපට හැකි වුණා.

රට අවුල් කරන කතාවලට අහුවෙන්න එපා !

හලාවතත් එවැනි සිද්ධියක් ඇති වුණා. තවත් තැන් කිහිපයක් මෙවැනි ජාතිවාදී ගැටුම් සංවිධානය කර තිබුණා. මීගමුව ප්‍රදේශයේ තවමත් විවිධ මට්ටමේ දූෂමාන ආරංචි පැතිර යනවා. ජාතික තවුහිද් ජමාත් සංවිධානය පැමිණ පහර දෙන්නට සැලසුම් කරනවා යැයි ආරංචි පැතිරෙනවා. ජාතික තවුහිද් ජමාත් සංවිධානයට පහර දීමට ශක්තියක් නැති බව පැවසිය යුතුයි. පාසල්වල බෝම්බ තිබෙන බවටත්, අයි.එස්. ත්‍රස්තවාදීන් සිටින බවටත් ආරංචි පතුරුවනවා. එවිට ජනතාව කෝපයට පත්වී ප්‍රහාර එල්ල කිරීමට සැරසෙනවා. මෙම තත්ත්වයන් ඇති කරන කණ්ඩායම්වල අවශ්‍යතාවය ජාතිවාදය ඇති කිරීමයි. ඒ හරහා රට අවුල් කිරීමයි.

නමුත් එවැනි ගැටලූවක් රට තුළ ඇති වුවහොත් එහි ජයග්‍රහණය හිමි වන්නේ අයි.එස්. ත්‍රස්තවාදීන්ට පමණයි. ජූලි කලබලයේ දී ද්‍රවිඩ ජනතාව විරසක කර ගත්තා වගේ අයි.එස්. ත්‍රස්තවාදය නිසා ඊට විරුද්ධ මුස්ලිම් ජනතාවත් අපි විරසක කර ගන්නවා නම් අපි මේ සටන ඉදිරියට ගෙන යන්නේ කෙසේද?

ජාතීන් අතර එවැනි තත්ත්වයක් ඇති වුවහොත් බුද්ධි අංශවලට තොරතුරු ලබා ගැනීමට පවා නොහැකි වන බව ඔවුන් පවසනවා. ජාතිවාදී කෝලාහල, ප්‍රචණ්ඩත්වය පතුරන අයට අවශ්‍ය වන්නේ අයි.එස්. ත්‍රස්තවාදයට රුකුල් දීමටයි.

අපි අයි.එස්. ත්‍රස්තවාදයට කිසිම සමාවක් නොදී ක්‍රියා කරනවා නම් අයි.එස්. ත්‍රස්තවාදයට උදව් උපකාර කරන අයටත් කිසිම සමාවක් නොදී දඬුවම් කළ යුතුයි.

04

මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් කිසිඳු ජාතියක් මෙම ත්‍රස්තවාදයට කැමැති නැහැ. ආරක්‍ෂක අංශ, පොලිසිය, බුද්ධි අංශවලට ත්‍රස්ත මර්ධන පරික්‍ෂණ කටයුතු කිරීමට ඉඩ සලසා දිය යුතුයි. විවිධ ක්‍රියා හරහා එම සෝදිසි මෙහෙයුම් කඩාකප්පල් කරන්නේ මේ රටේ ජාතිවාදී පිරිස් බව පැවසිය යුතුයි. එවැනි විශාල ජාතිවාදී කෝලාහලයක් ඇති වුණොත්, සියලූම දෙනා එය පාලනය කිරීමට පැමිණියොත් සැබෑ ත්‍රස්තවාදීන් පිළිබඳව පරික්‍ෂා කිරීමට සහ විභාග කිරීමට හැකියාවක් නැහැ.

එම නිසා ජාතිවාදී ප්‍රචණ්ඩත්වය ඇති කිරීම අප නතර කළ යුතුයි. ඊට යාපනය හොඳ උදාහරණයක්. එදා ඇති වූ ජාතිවාදී කෝලාහල නිසා යාපනයත්, රටත් විනාශ වුණා. දැන් අපි නැත ගොඩනැගෙමින් සිටිනවා.

අයි.එස්. ත්‍රස්තවාදය ඇති වුණත් අපි එය හොදින් මැඩපවත්වා තිබෙනවා. ඉන්දියාව, චීනය, ජර්මනිය, ස්විට්සර්ලන්තය ආදී රටවල් සංචාරක තහනම ඉවත් කර තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍යතුමා ඉදිරියේ දී ශ්‍රී ලංකාවට පැමිණෙනවා. මේ ආකාරයට අපි නැවතත් නැගී සිටිය යුතුයි. සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතුයි. අනෙක් අංශවලටත් අපි ආධාර, උපකාර කළ යුතුයි. ඒ ආකාරයට අපි කටයුතු කරනවා නම් තවත් වසරක් ගතවීමට පෙර රට සාමාන්‍ය තත්ත්වයට පත් වන බව මම අවසාන වශයෙන් කියන්න කැමතියි.”

මෙම අවස්ථාවට මුදල් අමාත්‍ය මංගල සමරවීර, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, යාපනය මහනගර සභාවේ නාගරාධිපති එමානුවේල් ආනෝල්ඩ්, හිටපු උතුරු පළාත් සභා සභාපති සී.වී.කේ. සිව ඥානම්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෙඣීවන කටයුතු අමාත්‍යංශ ලේකම් වී. සිව ඥානසෝති, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සමන් බණ්ඩාරනායක ඇතුළු දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු සමෘද්ධිලාභීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න