රනිල් සහ මහින්ද හවුල හදන්නේ මාව අමාරුවේ දාන්න - මෛත්‍රී

රනිල් සහ මහින්ද හවුල හදන්නේ මාව අමාරුවේ දාන්න - මෛත්‍රී

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තමාව 'කොටු කිරීම' සඳහා ඇටවූ දේශපාලන කුමන්ත්‍රණයක් බවට සැක මතුකර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.

පසුගිය ජුනි 03දා ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකදී ද ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් යුතුව කතා කර තිබෙන බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමට ජනාධිපති ලේකම්, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, නිතිපති, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී (CDS), ත්‍රීවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පති, රහස් පොලිසියේ ප්‍රධානින්, පොලිස් විශේෂ කාර්ය බලකා ප්‍රධානියා හා රජයේ බුද්ධි අංශ ප්‍රධානින් ද සහභාගී ඇතැයි පැවසේ.

මෙම රැස්වීම කැඳවා ඇත්තේ, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ දී බුද්ධි අංශ රහස් තොරතුරු පිටස්තර පාර්ශව හමුවේ අනාවරණය වීම සම්බන්ධව සාකච්ජා කිරීම සඳහා ය.

මෙම කමිටුවේ අරමුණ තමන්ට නොතේරෙන බව නීතිපති දප්පුල ලිවේරා එහිදී ප්‍රකාශ කර ඇති බවත් ඒ අවස්ථාවේදී, ''මට නම් ඕක හොඳට තේරෙනවා, අගමැතිතුමා මේ හදන්නේ මාව අමාරුවේ දාන්න'' යයි ජනාධිපති සිරිසේන සඳහන් කර ඇතැයි ද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

එසේම ''ඔය කමිටුවට දාලා ඉන්නේ අගමැතිතුමාට හිතවත්ම අය .. එයාලට ඕන පාස්කු ඉරිදා ප්‍රහාරය මම කලින් දැනගෙන හිටියා කියලා කව්රු ලවා හෝ කියවගෙන දේශපාලන වාසියක් ගන්න. මේකට රාජපක්ෂලත් හවුල්. මම ඒගැන හොඳට දන්නවා. ඔය කුමන්ත්‍රණවලට මම ඉඩතියන්නේ නැහැ .. මම මේගැන කතානයකතුමාට කතා කරනවා '' යයි ද ජනාධිපතිවරයා එහිදී පවසා ඇතැයිද වාර්තා වෙයි.

මෙම කුමන්ත්‍රණය හෙළිදරව් කිරීම සඳහා තමා විසින් විශේෂ ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතයි ප්‍රකාශකර ඇති ජනාධිපතිවරයා, ආරක්ෂක ප්‍රධානීන්ට ඔවුන්ගේ කටයුතු නියමාකාරයෙන් පවත්වා ගෙන යන්නැයි උපදෙස් දුන් බවද වාර්තාවේ.

මෙම පාර්ලිමේන්තු කමිටුව හමුවට ආරක්ෂක අංශ ප්‍රධානියකු හෝ බුද්ධි අංශ නිලධාරියකු කැඳවුව හොත් මාධ්‍ය හා කැමරා ඉවත් කරන ලෙස ඉල්ලා සිටීමට මෙහිදී එකඟත්වයට පැමිණි බවද වැඩිදුරටත් පැවසේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න