සමෘද්ධිය දුප්පත්කම වවාගෙන කන දේශපාලන ව්‍යාපාරයක් විය යුතු නෑ. - මංගල කියයි

සමෘද්ධිය දුප්පත්කම වවාගෙන කන දේශපාලන ව්‍යාපාරයක් විය යුතු නෑ. - මංගල කියයි

ඇත්තටම සමෘද්ධිය පසුගිය කාලේ දුප්පත්කම වවාගෙන කන දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වුණා. එසේ විය යුතු නෑ. දුප්පත්කමට, බඩගින්නට ජාතියක්, ආගමක්, දේශපාලනයක් නැති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කර සිටියේය.

එසේම තමාට විහාරස්ථානවලට ඇතුළු වීමට අවසර නොමැති බව කියන ගම්පහ පමණක් විහාරස්ථාන 378ක් රුපියල් මිලියන 208 වියදමෙන් මේ වන විටත් සංවර්ධනය වෙමින් පවතින බව ද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

මංගල සමරවීර අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අලුතින් පවුල් ලක්ෂ හයකට සමෘද්ධි සහනාධාරය ලබා දීම සඳහා වන ජාතික උත්සවයේ මාතර දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමිනි.

උත්සවය පසුගිය 08 වනදා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

මාතර දිස්ත්‍රිකයේ අලුතෙන් සමෘද්ධි සහනාධාරය ලබා ගැනීම සඳහා අභියාචනා 17,226ක් ලැබී ඇති අතර ඉන් 11,529 දෙනකු සමෘද්ධි සහනාධාරය ලබා ගැනීම සඳහා තේරී පත්ව ඇත. ඉන් 5000කට සමෘද්ධි සහනාධාර හිමිකම්පත් ලබා දීම අද සිදු කෙරිණි.

උත්සව සභාව අමතමින් වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

"මට මතකයි 1993 දි පොදු ජන එක්සත් පෙරමුණේ මැතිවරණ ප්‍රකාශය නිර්මාණය කරන්නට එවකට බස්නාහිර පළාත් හිටපු මහ ඇමැතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියයි, රත්නසිරි වික්‍රමනායක මැතුතිමයි එක්ක රොස්මිඩ්වලදි පවත්වපු දීර්ඝ සාකච්ඡාව. අපට අවශ්‍ය වුණේ එවකට ක්‍රියාත්මක වෙමින් තිබුණ ජනසවිය වැඩසටහන තවත් ශක්තිමත්ව ඉදිරියට අරගෙන යන්න පුළුවන් වැඩසටහනක්. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඝාතනයත් එක්ක ජනසවිය ව්‍යාපාරයට අවශ්‍ය ඉලක්ක කරා යන්න බැරි වෙලා තිබුණ. 1993/94 වෙද්දි ඇතැම් ප්‍රදේශවල ජනසවිය සහතිකයකට පමණක් සීමා වෙලා තිබුණ. ඒ ඉලක්කය කරා යන්න තමයි අපි 1994 අගෝස්තු මාසෙ 16 වෙනිද මැතිවරණ ජයග්‍රහණයත් එක්ක පාර්ලිමේන්තුවට අපි මුලින් ම ඉදිරිපත් කළේ මේ සමෘද්ධි ව්‍යාපාරය ගොඩනැගීම සඳහා වූ පනතයි. දැන් සමෘද්ධියට අවුරුදු විසි පහයි. නමුත් අපට එහි අරමුණු කරා ළගා වන්න බැරි වෙලා තියෙනවා.

ඇත්තට ම අපි ඔබට සමෘද්ධිය ලබා දෙන්නෙ පිං පඩියක් හැටියට නෙවෙයි. ඒ වගේම සමෘද්ධිය කියන්නෙ ඔබව දුප්පත්කමේ තියාගෙන ඉන්න දෙන දේකුත් නෙවෙයි. සමෘද්ධිය කියන්නෙ ඔබට නැගිටින්න ලබා දෙන අතහිතක්. ඇත්තට ම සමෘද්ධිය පසුගිය කාලෙ දුප්පත්කම වවාගෙන කන දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වුණා. එසේ විය යුතු නෑ. දුප්පත්කමට, බඩගින්නට ජාතියක්, ආගමක්, දේශපාලනයක් නෑ. ශ්‍රීලනිප, එජාප, ජවිපෙ කාටත් බඩගින්න හැදෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝටම ඒක දැනෙනවා.

සමෘද්ධිය දේශපාලන ව්‍යාපාරයක් වුණා. අද අපේ රජය තිබුණත් සමෘද්ධියට සම්බන්ධ ගම් මට්ටමේ ඉන්න බොහෝ දෙනා එක්තරා පක්ෂයක පූර්ණ කාලීන ක්‍රියාකාරීන්. ඔවුන් තමයි අදාළ පක්ෂයට සෙනග සපයන්නෙ. රැස්වීම්වලට සෙනග අරගෙන යන්නෙ මේ අය. දිළිඳු බව නිසා, සමෘද්ධිය නැති වෙයි කියල මිනිස්සු බස්වල නැගල ඒ පක්ෂයේ රැස්වීම්වල යනවා. ඔවුන්ට දේශපාලන අතකොලු බවට පත් වෙන්න සිදු වුණා. ඒ වගේම තමයි ඒ කාලේ එක්සත් ජාතික පාක්ෂිකයකුට කිසිම චාන්ස් එකක් දුන්නෙ නෑ. පක්ෂයට සම්බන්ධ වීම සමෘද්ධිය නොලබන්න සුදුසුකමක් වුණා. අද තවත් පවුල් ලක්ෂ හයකට සමෘද්ධිය වෙනුවෙන් මුදල් වෙන් කරන්න එයත් හේතුවක් බවට පත් වුණා.

2015 දී අපි භාර ගත්තේ මහා ණය කන්දක්. ඒත් අපි ආර්ථිකය ශක්තිමත් කළා. එහෙම මහා ස්වභාවික විපත් දෙකකට සහ දේශපාලන පෙරළි දෙකකට මුහුණ දෙමින්. මහා ගංවතුරක් ඇති වුණා. ඒ වගේ ම නියගයක් ආව. මේ නිසා ජනතාවට සහනාධාර දෙන්න වුණා. ඒ අතර තමයි ඔක්තෝබර් 26 දේශපාලන කුමන්ත්‍රණය වුණේ. දවස් 51ක් ඇතුළෙ අපට අහිමි වුණ විදේශ විනිමය ප්‍රමාණය විතරක් ඇ.ඩො. බිලියන එකක් විතර වෙනවා. ඊට අමතරව අපිව ආයෙත් ලෝකයෙන් වෙන් වෙන්න පටන් ගත්තා. ණය දෙන එක අඩු වෙන්න පටන් ගත්තා. මේ දේවල් යළිත් සකස් වෙමින් තියෙද්දි තමයි අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය එල්ල වුණේ.

සංචාරක ව්‍යාපාරය කඩා වැටුණ. මහා පරිමාණ හෝටල් විතරක් නෙවෙයි සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ පොඩි ව්‍යාපාර කඩා වැටුණා. ඒක යළි ගොඩනගන්න අපි සංචාරක පොඩ්ඩෝ නවතම පොලී රහිත ණය යෝජනා ක්‍රමය මේ මාසෙ 15 ඉඳල ක්‍රියාත්මක කරනවා. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යටතේ අවුරුද්දක සහන කාලයක් සමග වසර දෙකකින් ගෙවන්න පොලී රහිතව අපි මේ ණය මුදල ලබා දෙන්නෙ. මේ අතරෙ බස් සංගම්වලට, තොරණවලට, සංගීත කණ්ඩායම්වල ශිල්පීන්ට විතරක් නෙවෙයි අපි තොරණ ළග විරිදු කියපු ශිල්පියාව පවා අමතක නොකර සහන දෙන්න කටයුතු කළා. ඒ හැම දෙයක් ම කරන්න හැකි වුණේ අපි ආර්ථිකය ගොඩනගල තිබුණ නිසයි.

රජයේ සංවේදීතාව යළිත් තහවුරු කරමින් අපි දැන් තවත් පවුල් ලක්ෂ හයකට අපි සමෘද්ධිය දෙනවා. මම අපේ විෂය භාර අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා අලුතෙන් සමෘද්ධිය දෙන්න පිරිස එකතු කර ගන්නව වගේ ම දැනට ඉන්න අයත් ඊට සුදුස්සන්ද කියල හොයල බලන්න කියල.

ගම්පෙරළිය යටතේ ඉතිහාසයේ ප්‍රථම වතාවට දෙවුන්දර තුඩුවේ ඉඳල පේදුරුතුඩුවට එනකං සියලුම මැතිවරණ කොට්ඨාසවලට අපි රුපියල් මිලියන 300 ගානේ ලබා දුන්නා ඒ ප්‍රදේශ සංවර්ධනය කරන්න.

මේ අවුරුද්දෙ මුල් මාස පහට විතරක් අපි ගම්පෙරළිය යටතේ අපි පන්සල් 4124ක් හදන්න හදන්න රුපියල් මිලියන 2090ක්, කතෝලික පල්ලි 768ක් හදන්න රුපියල් මිලියන 390ක්, හින්දු කෝවිල් 2095ක් හදන්න රුපියල් මිලියන 1071.5ක් වගේ ම මුස්ලිම් පල්ලි 1041ක් හදන්න රුපියල් මිලියන 679ක් දීල තියෙනවා.

මං කරපු මොන වරදකට ද මන්ද මට ගම්පහ පන්සල්වලට යන එකත් තහනම් කරල තියෙනවා. නමුත් මම ගම්පහ දිස්ත්‍රික්කයේ පන්සල් 378ක් හදන්න රුපියල් මිලියන 208ක් වෙන් කරල ඉවරයි. කතෝලික පල්ලි 117ක්, කෝවිල් 14ක් වගේම මුස්ලිම් පල්ලි 49ක් වෙනුවෙන් මුදල් වැය කළා."

mngla matara 1000px

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න