පසුගියා දා ත්‍රෛනිකායක මහා සංඝරත්නය නිකුත් කළ නිවේදනය තමන් සම්පූර්ණයෙන්ම පිළිගන්නා බව සඳහන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඒ අනුව විවිධ ආගමිකයින් අතර පැණනැගී ඇති සැක සංකා දුරැලීම හා ආගමික සමගිය වෙනුවෙන් ජාතික ආගමික සංහිදියා මණ්ඩලයක් පිහිටුවීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.
පසුගියදා බද්දේගම, කුම්මේ මහජන ක්‍රීඩාංගනයේදී පැවැති සමෘද්ධි සහනාධාර බෙදාදීමේ උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා තවදුරටත් පැවසූයේ මුස්ලිම් හා දෙමළ ජනතාව ප්‍රධාන ප්‍රවාහයෙන් ඈත් කිරීමෙන් කිසිඳු විසඳුමක් නොලැබෙන බව ත්‍රෛනිකායක මහා සංඝරත්නය පෙන්වා දී ඇති බවයි.
කුමන ආගමික මතයක් දැරුවත් ඒ සියලූ දෙනාට තම තමන්ගේ ආගම නිදහසේ ඇදහීමට හැකි පරිසරයක් නිර්මාණය කළ යුතු බවද අගමැතිවරයා පෙන්වාදුන්නේය.
ශ්‍රී ලංකාව තුළ බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබාදිය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති අතර, අනෙක් සියලූ ආගම් ද එය පිළිගෙන ඇති බව වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පැවසීය.
මෙහිදී පවුල් 4500 ක් සඳහා සමෘද්ධි සහනාධාරය ලබාදීම සිදු කෙරුණු අතර, එය සංකේතවත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් සමෘද්ධිලාභීන් කිහිපදෙනෙකුට සමෘද්ධි සහනාධාරය ප්‍රධානය කිරීමද සිදුවිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද කීය.
"අවුරුදු 21 කට පසුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සමෘද්ධි වැඩසටහනට නව සාමාජිකයන් ඇතුළත් කිරීම අපේ රජය යටතේ සිදු කරනවා. සමෘද්ධිය ලැබීමට සුදුසකම් ඇති ජනතාවට සමෘද්ධිය ලබාදීමට අපි කටයුතු කරනවා. ඇත්ත වශයෙන්ම ඔබට සමෘද්ධිය ලබාදිය යුතුව තිබුණේ මීට වසර කිහිපයකට පෙරයි. නමුත් එවකට පැවැති රජයන් ඊට අවශ්‍ය කටයුතු ඉටු කළේ නැහැ. යහපාලනය යටතේ ඇති කර ගත් එක්සත් ජාතික පක්‍ෂ රජය හරහා අපි සමෘද්ධිය ලබාදීමේ වැඩසටහන ආරම්භ කළා.
නව සාමාජිකයන් එක්කර ගැනීම අරඹා අවසන් !
එක්සත් ජාතික පක්‍ෂයට සමෘද්ධි අමාත්‍යංශය පළමු වතාවට ලැබුණේ 2018 වසරේ පී. හැරිසන් අමාත්‍යතුමා වෙතටයි. සමෘද්ධි වැඩසටහනට නව සාමාජිකයන් ඇතුළත් කර ගැනීමේ පළමු පියවර එතුමා විසින් ගනු ලැබුවා. ඉන්පසුව එම අමාත්‍යංශය දයා ගමගේ ඇමැතිතුමා විසින් භාර ගත්තා. සමෘද්ධිය ලැබිය යුතු සියලුම දෙනා සමෘද්ධි වැඩසටහනට ඇතුළත් කිරීමට දයා ගමගේ ඇමැතිතුමා තීරණය කළා. හැරිසන් අමාත්‍යතුමා ලබාදුන් වාර්තාව සහ දයා ගමගේ ඇමැතිතුමාගේ තීරණය අනුව සමෘද්ධි සහනාධාරය වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් කිරීමට අපි තීරණය කර සිටියා.
නමුත් අවාසනාවකට ඔක්තෝම්බර් 26 දේශපාලන කුමන්ත්‍රණයක් මගින් ආණ්ඩු බලය අපෙන් ලබාගත් නිසා අය-වැය ඉදිරිපත් කිරීමට නොහැකි වුණා. රටේ සාමාන්‍ය සිරිත පරිදි දෙසැම්බර් මාසය වනවිට අය-වැය සම්මත කර ගැනීමට හැකි වුණා නම් පෙබරවාරි, මාර්තු වන විට මේ සමෘද්ධි සහනාධාරය ඔබ සියලූ දෙනාටම ලබාදීමට හැකියාව තිබුණා.
සිංහල අලූත් අවුරුද්දට පෙර දයා ගමගේ අමාත්‍යතුමා අමාත්‍යංශයේ ඉතිරි මුදල්වලින් රුපියල් 15,000 බැගින් සමෘද්ධි ලාභීන්ට ලබාදීමට කටයුතු කළා. ඒ වගේම අය-වැයෙන් සමෘද්ධිය රුපියල් 3000 දක්වා වැඩි කිරීමටත් අපි කටයුතු කළා. මෙහි තුන්වන පියවර ලෙස සමෘද්ධි ලාභීන් ලක්‍ෂ 6 ක් සමෘද්ධි සහනාධාර ලබාදීමේ වැඩසටහනට අපි ඇතුළත් කළා.
ආණ්ඩු බලය ලබාගෙන වසර 4 ක් ගතවීමට පෙර සමෘද්ධි දීමනාව වැඩි කරමින්, සමෘද්ධි ලාභීන්ට රුපියල් 15,000 ක මුදලක් ලබාදෙමින් ඒ වගේම සමෘද්ධි ලාභීන් ලක්‍ෂ 6ක් ඇති කිරීමට අපට හැකි වී තිබෙනවා. පෙර පැවැති ආණ්ඩුවලට ජනතාව වෙනුවෙන් මෙය ඉටු කිරීමට නොහැකි වුණේ ඇයි දැයි මා විමසනවා.
ප්‍රේමදාස ජනාධිපතිතුමා සමෘද්ධිය ආරම්භ කළ ආකාරයටම වැඩකටයුතු කළා නම් සමෘද්ධිය ලබාදීමේ වැඩපිළිවෙළ මීට වඩා හොඳ තත්ත්වයක තිබෙනවා. එම නිසා සමෘද්ධි ව්‍යාපාරය නිසි ලෙස ජනතාවට ලබාදීමට අපි තීරණය කළා. ඒ සඳහා නව සමෘද්ධි ලාභීන් බදවාගැනීමටත් කටයුතු කළා. මාස දෙකක් ඇතුළත මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳව දයා ගමගේ ඇමතිතුමාට ස්තඣතිවන්ත වනවා.
ඇත්ත වශයෙන්ම මැයි මාසයේදී දයා ගමගේ ඇමැතිතුමා සිටියේ අසනීප තත්වයෙන්. එම නිසා මෙම සමෘද්ධි සහනාධාර ලබාදීමේ පළමු වැඩසටහන ලෙස සූදානම් කර තිබූ අම්පාර වැඩසටහන දින කිහිපයක් කල්දමමු යැයි මම යෝජනා කළා. නමුත් ලෙඩ ඇදෙන් නැගිට හෝ තමා අම්පාර පළමු වැඩසටහනට සහභාගී වන බව එතුමා එදා මට පැවසුවා. ඉන්පසුව යාපනය, කිලිනොච්චිය, පොළොන්නරුව, නුවර ආදී ප්‍රදේශවල මේ වැඩසටහන ක්‍රියාත්මක කළා. දයා ගමගේ ඇමැතිතුමා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කරනවිට රටේ කුරුඳු කර්මාන්තය නඟා සිටුවීමට විශාල සේවයක් කළා. එතුමාගේ සේවාව නිසා අද ඔබ සියලූදෙනාටම සමෘද්ධිය හිමිව තිබෙන බව මම පැවසිය යුතුයි.
මේ වැඩකටයුතු වෙනුවෙන් එතුමාට සහයෝගය දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, අමාත්‍යංශ ලේකම්තුමා, සමෘද්ධි නිලධාරීන්, දිසා ලේකම්තුමන්ලා ඇතුළු සියලූ දෙනාටමත් මම ස්තූතිවන්ත වෙනවා.
බන්දුලාල් කාර්ය ශූරයි !
බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මන්ත්‍රීතුමා සමෘද්ධි අමාත්‍යංශයේ අධීක්‍ෂණ මන්ත්‍රීතුමායි. එතුමා ගාලූ දිස්ත්‍රික්කයේ වැඩකටයුතු ඉතා හොදින් සිදුකරමින් සිටිනවා. අද මෙම සමෘද්ධිය බෙදාදීමේ වැඩසටහනත් මෙහිදී පැවැත්වීමට එතුමාට හැකි වුණා. එතුමා මාස කිහිපයකට සැරයක් සෑමවිටම බද්දේගමට කුමන් හෝ දෙයක් අවශ්‍ය යැයි පවසමින් මට කරදර කරනවා. එතුමා එතරම් කාර්ය්‍යශූර මන්ත්‍රීවරයෙක්.
බද්දේගම නාගොඩ මාර්ගය ඉදිකිරීම, ගිංගඟ ආසන්නයේ මාර්ගයේ පැතිබැම්ම ඉදිකිරීම ආදී සංවර්ධන කටයුතු අද අපි විවෘත කළා. මේ අනුව බද්දේගමට විශාල දියුණුවක් ගෙන ඒමට එතුමා කටයුතු කර තිබෙනවා. අපිට හැකි සෑම ආකාරයකටම බද්දේගම නගරය දියුණු කිරීමට ආධාර උපකාර ලබාදී තිබෙනවා.
මේ ප්‍රදේශය නියෝජනය කරන්නේ බිම් මට්ටමේ සංවර්ධන වැඩකටයුතු ඉටුකරන මැති ඇමැතිතුමාන්ලායි. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා බිම් මට්ටමේ පරිපාලනය සංවර්ධනය කිරීම සඳහා දිවයිනේ සියලූම ප්‍රදේශවලට ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිසා ලේකම් කාර්යාල ඉදිකර දී තිබෙනවා. ග්‍රාම නිලධාරීන් මෙහෙයවීම, ජංගම සේවා පැවැත්වීම ආදිය හරහා රටේ ප්‍රාදේශීය පරිපාලනයේ කළමනාකාරීත්වය දියුණු කර තිබෙනවා. ඒ වගේම එතුමාගේ ප්‍රධානත්වයෙන් සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම පොසොන් උත්සවය වෙනුවෙන් පුණ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා.
මෙවැනිම විශාල සේවයක් ගයන්ත කරුණාතිලක ඇමැතිතුමා ද බිම් මට්ටමේ ජනතාවට සලසමින් සිටිනවා. එතුමා රටේ සියලූ දෙනාට ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. එහි දෙවැනි පියවර වන්නේ එම ලබාදෙන ඔප්පු සින්නක්කර ඔප්පු බවට පත් කිරීමයි. වසර 30 – 40 කින් මේ රටේ ඉටු නොවුණු සේවයක් එතුමා සිදු කරමින් සිටිනවා. මෙම වැඩකටයුතු කරන අතරම, පාර්ලිමේන්තුවේ වැඩකටයුතුත් එතුමා සාර්ථකව සිදු කරනවා.
විජේපාල මන්ත්‍රී විශේෂයි !
මේ ස්ථානයේ නොසිටියත් විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමා අක්මීමන ජනතාව වෙනුවෙන් සිදු කරන සේවය මම විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඒ ප්‍රදේශයේ දියුණු කිරීමට එතුමා කටයුතු කරනවා. ඒ වගේම පියසේන ගමගේ මන්ත්‍රීතුමාත්, මනූෂ නානායක්කාර මන්ත්‍රීතුමාත් මේ වැඩකටයුතු වෙනුවෙන් විශාල කැපවීමක් කරනවා. ඒ සියලූ දෙනාට ස්තඣතිවන්ත විය යුතුයි.
ගාලූ දිස්ත්‍රික්කය අපේ රටේ සංචාරක කර්මාන්තයේ ප්‍රධාන කොටසක් ලෙස හැ¼දින්විය හැකියි. පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වූ දිනයේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අඩපණ වුණා. බොහෝදෙනා පැවසූවේ තවත් වසරක්වත් ගත වනතුරු සංචාරකයන් නැවත මෙරටට නොපැමිණෙන බවයි.
නමුත් ප්‍රහාරය එල්ල වූ දිනයේ සිට අප ගත් ක්‍රියාමාර්ග නිසා මාසයක් ගතවීමටත් පෙර සහරාන්ගේ ත්‍රස්තවාදී කණ්ඩායමේ සියලූදෙනා අත්අඩංගුවට ගැනීමට අපේ ආරක්‍ෂ අංශවලට හැකි වුණා. එම ත්‍රස්තවාදී කණ්ඩායමේ ඇතැම් අය ජීවිතක්‍ෂයට පත් වුණා. සහරාන්ගේ ත්‍රස්තවාදී විෂබීජය දැන් අපි රටෙන් තුරන්කර තිබෙනවා. රටේ නිසි පාලනයක් ඇති කර තිබෙනවා. ඒ වගේම රටේ ආර්ථිකය නැවත ගොඩනැගීමටත් අපි කටයුතු කරනවා. ගම්පෙරළිය වැනි සංවර්ධන වැඩකටයුතු නැවත ක්‍රියාත්මක කරමින් සිටිනවා.
සංචාරකයින් පෙර පරිදි නැවත පැමිණීමට අවුරුද්දක්වත් ගත වෙනවා, ලංකාවට එරෙහිව පනවා තිබෙන ගමන් තහනම් ඉවත් කරන්නේ නෑ යැයි පැවසූ අයට අද සිදුවී තිබෙන්නේ කුමක්ද? චීනය, ඉන්දියාව, ජර්මනිය, ස්විස්ටර්ලන්තය, ප්‍රංශය, එක්සත් රාජධානිය වැනි රටවල් සංචාරක තහනම ඉවත් කර තිබෙනවා. එය ඉවත් කිරීමට ඉතිරිව තිබෙන්නේ තවත් රටවල් කිහිපයක් පමණයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සංචාරක කර්මාන්තයේ නියුතු අයට සහන ණය ක්‍රම හඳුන්වාදී තිබෙනවා. ඒ සංචාරක කර්මාන්තය නැවත නඟාසිටුවීමටයි.
පාස්කු ප්‍රශ්නය ඉවර නෑ !
මේ ආකාරයට අපි ඉදිරියට පැමිණියත් බෝම්බ ප්‍රහාරයෙන් පසුව රටේ ඇතිවූ සියලූ ප්‍රශ්න විසඳී නැහැ. එම ප්‍රශ්න තවමත් අළුයට ගිනි මෙන් තිබෙනවා. ඇතැම් අය ඒවා ප්‍රයෝජනයට ගනිමින් රට ගිනිතැබීමට කටයුතු කරනවා. පිරිසක් පසුගිය සතියේ කුලියාපිටියේදී සිදු කරන්නට උත්සහා කළේ එයයි. තැනින් තැන ඉතිරිවී තිබෙන මෙම ගැටළු රටේ දේශපාලන ක්‍රමයේ හදවතටම බලපෑම් කළ හැකි ආකාරයේ ගැටළු බව අප තේරුම් ගත යුතුයි.
එම ගැටළුවලින් අපට මිදිය නොහැකියි. ඒවා වෙනුවෙන් විසඳුම් සෙවීමට අපට සිදු වෙනවා. ඒ වෙනුවෙන් නැවත අළුතෙන් සිතිය යුතුයි. පළමුවෙන්ම අප කල්පනා කළ යුත්තේ අපේ ආරක්‍ෂාව පිළිබඳවයි. නැවතත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙයිද යන්න පිළිබඳව අපි කල්පනාවෙන් සිටිය යුතුයි. නැවත අයි.එස්.අයි.එස්. සංවිධානයට මෙරට තුළ හිස එසවීමට නොහැකි වන ආකාරයට ප්‍රතිත්‍රස්ත වැඩසටහනක් ඇති කිරීම පිළිබඳව අප සාකච්ඡා කරමින් සිටිනවා. ඒ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මණ්ඩලයටත් මම දැනුම් දුන්නා. ජනාධිපතිතුමා සහ අමාත්‍යතුමන්ලා සමග සාකච්ඡා කොට එය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව මම ඔබට ප්‍රකාශ කරනවා.
ජනතාව කළකිරීමෙන් !
ඊටත් වඩා ගැඹුරු ප්‍රශ්නයකට මුහුණදීමට දැන් සිදුව තිබෙනවා. අද රටේ ජනතාව තුළ කළකිරීමක් ඇතිව තිබෙනවා. දේශපාලනඥයන් පිළිබඳව ජනතාව තිබූ විශ්වාසය නැතිවී ගොස් තිබෙනවා. දැන් ජනතාවට දේශපාලනඥයන් පිළිබඳව තිබෙන්නේ කළකිරීමක් පමණයි. ආණ්ඩුව පමණක් නොව විපක්‍ෂය පිළිබඳවත් තත්වය එසේමයි. ඇතැම් අය පවසන්නේ පාර්ලිමේන්තුවේ 225 ම ඉවත් කළ යුතුයි යනුවෙනුයි. එවැනි ප්‍රශ්නයක්, එවැනි මතයක් රටේ ඇතිව තිබෙන බව අපි පිළිගත යුතුයි.
පැරණි ක්‍රමයටම දේශපාලනය කිරීමෙන් අපිට මෙම තත්ත්වයට විසඳුම් සෙවිය නොහැකියි. ආණ්ඩුවක් ලෙස මා ඇතුළු අමාත්‍ය මණ්ඩලයටත්, ජනාධිපතිතුමාටත් මේ පිළිබඳව අලූතින් සිතා විසඳුමක් සොයාගැනීමට යුතුකමක් තිබෙනවා. මේ රටේ අද තිබෙන ආගම් පිළිබඳව ඇතිව තිබෙන භේදයට අපි විසඳුම් සොයා දිය යුතුයි.
අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් මෙම ප්‍රහාරය එල්ල කළ නිසා සියලුම මුස්ලිම් වැසියන් සැක කළ යුතු යැයි ඇතැමුන් සිතනවා. එය විශාල ප්‍රශ්නයක්. සිංහල ජනතාවට තිබෙන එකම රට ශ්‍රී ලංකාව පමණක් බැවින් අපේ රටට, ජාතියට සිදුවන්නේ කුමක්දැයි සිංහල ජනතාව බියෙන් පසු වනවා. එවැනි විවිධ සිතුවිලි අපට ඇති වෙනවා.
මා දන්නා එක් මුස්ලිම් නිලධාරියෙක් මට පැවසුවේ තමන් සිය නිවස යාබඳ සිංහල අසල්වැසියා සමග කතා කළේ මෙම ප්‍රහාරයෙන් සති තුනකින් පමණ පසුව බවයි. මේ බිය හා සැකය සිංහල පුද්ගලයා තුළත් තිබෙනවා. මෙවැනි විශාල භේදයක් රටේ ඇතිව තිබෙනවා. අපි දැන් සිටින්නේ එකිනෙකා අවිශ්වාස කර ගන්නා මට්ටමකයි.
මුස්ලීම් සමාජයට වෙන්වෙන්න දෙන්න එපා !
බෝම්බ ප්‍රහාරයෙන් පසුව සිංහල ජනතාව එකට එක් වුණා. ඔවුන්ට දෙමළ ජනතාවත් එක් වුණා. මුස්ලිම් ජනතාවත් එම ප්‍රහාරයේදී සිංහල, දෙමළ ජනතාව සමඟ එකට එකතු වුණා. සියළු ශ්‍රී ලාංකික ජනතාව ඒ ආකාරයට එකමුතුවෙන් මෙම ප්‍රහාරයට මුහුණ දෙමින් සිටියත් පසුගිය සතියේ ඇතිවූ ගැටළු නිසා නැවත මුස්ලිම් සමාජය අපෙන් වෙන්වී ගියා. එය රටට හොඳ ප්‍රවණතාවයක් නොවෙයි. මම ඉවත්ව ගිය සියලූ මැති ඇමැතිවරුන් සමග සාකච්ඡා කළේ රට නැවත සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමටයි.
සිංහල, දෙමළ ජනතාව සමඟ මුස්ලිම් ජනතාවත් එකට සිට ගත යුතුයි. අපේ රටේ ප්‍රශ්නයක් තිබෙන බව පිළිගනිමින් අප ඒවාට විසඳුම් සෙවිය යුතුයි. අපේ රටේ ජනතාව කුමන ආගමකට හෝ ජාතියකට අයත් වුණත් ඔවුන් සියලූ දෙනාට සාමකාමීව ජීවත්වීමේ අයිතිය තිබිය යුතුයි. රටේ විවිධ ප්‍රදේශවලදී විවිධ ජන කොට්ඨාශවලට ගැටළු ඇති වෙනවාට අපි කැමැති නැහැ. එම නිසා මේ අවස්ථාවේදී මෙම ගැටළුව අපි විසදාගත යුතුයි.
අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය අපි අවසන් කළේ රටේ සියලුම දෙනාගේ එකමුතුවෙන්. සහරාන්ගේ කණ්ඩායමට කිසිම ආගමක් අනුකම්පාව දැක්වූයේ නැහැ. එවැනි කණ්ඩායමකට අනුකම්පාවක් දැක්වීමට අවශ්‍යත් නැහැ. නමුත් අපි ආගම්, ජාතීන් ලෙස බෙදී සිටිනවා නම් රටට හොඳ අනාගතයක් ගැන සිතීමට නොහැකියි.
රටේ එක් ජන කොටසක් කොන්කරනවා නම් ඔවුන් අන්තවාදයට යෑම වැළැක්විය නොහැකියි. 1983 ජූලි කලබලවලදී සිදුවුණේත් එයයි. එම නිසා මෙම තත්ත්වය විසදා ගත යුතුයි. අද බොහෝ දෙනෙකුට දේශපාලනය පිළිබඳව විශ්වාසයක් නැහැ. බොහෝ දෙනා තම තමන්ගේ පන්සලට, දේවස්ථානයට, පල්ලියට, කෝවිලට ගොස් අවවාද සහ ආශීර්වාද ලබාගැනීමට පෙළඹි තිබෙනවා. ඔවුන් අද විශ්වාස කරන්නේ තම තමන්ගේ ආගම් බව රටේ පෙනෙන්නට තිබෙනවා.
එම නිසා අද මම මහනුවරට ගොස් ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ප්‍රකාශනය පිළිබඳව සාකච්ඡා කළා. මහා නායක ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් කළ ත්‍රෛනිකායක ප්‍රකාශය ඉතා වැදගත්. එහි සඳහන් ආකාරයට මුස්ලිම් හෝ දෙමළ ජනතාවට සිංහල ජනතාවගෙන් ඈත්වීමට ඉඩ දිය නොහැකියි. ලෝකයේම සිංහල බෞද්ධයන් සිටින්නේ මිලියන 14 ක් පමණයි. අපට වෙන රටක් නැහැ. එම නිසා අපේ පැවැත්ම තිබෙන්නේ සියලුම ජාතීන් එකට එක්ව මේ රටේ ඉදිරියට යෑම මතයි. ත්‍රෛනිකායක නායක ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කරන්නේත් එයයි.
ආගම් ප්‍රශ්නය විසඳා ගමු !
අප එම උපදෙස පිළිගනිමින් ඒ අනුව ක්‍රියා කළ යුතුයි. රටේ ඇතිව තිබෙන ආගම් භේදය මූලික ප්‍රශ්නය ලෙස සලකා ඊට විසඳුම් සොයාගැනීමට අපට හැකියි. එම විසඳුම සොයාගැනීමට ප්‍රධාන කාරණා දෙකක් තිබෙනවා. ඉන් පළමු වැන්න නම් මේ රටේ ප්‍රධාන ආගම වන බෞද්ධාගමට මුල්තැන දී කටයුතු කිරීමයි. එය අපේ ව්‍යවස්ථාවේ 09 වැනි වගන්තියේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ඒ වගේම අනෙක් සෑම ආගමක්ම ඇඳහීමට අපේ රටේ නිදහස තිබිය යුතුයි. අපේ රටේ සෑම ආගමක්ම බුද්ධාගමේ ප්‍රමුඛත්වය පිළිගෙන තිබෙනවා.
එංගලන්තය වැනි රටක ප්‍රමුඛස්ථානය ලබාදෙන්නේ එංගලන්ත සභාවටයි. නමුත් එංගලන්තය තුළ මුස්ලිම්, හින්දු මෙන්ම බෞද්ධාගමේ ථෙරවාද, මහායාන, ටිබෙට්, ජපාන ආදී බෞද්ධ මධ්‍යස්ථානද පිහිටා තිබෙනවා. ඒ වගේම සීක් වැනි ආගම් ද තිබෙනවා. එංගලන්තය තුළ මේ ආකාරයට ආගම් විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක වුණත් ඒ සියලුම දෙනාට අවශ්‍ය නිදහස ලබාදී තිබෙනවා. අපත් ඒ අනුව ක්‍රියා කළ යුතුයි.
එවැනි වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ ඇති කිරීම සඳහා වන මගේ යෝජනාව පිළිබඳව මම මහා සංඝරත්නය සමග සාකච්ඡා කළා. මගේ යෝජනාව ශ්‍රී ලංකාවේ ආගමික සංහිදියා මණ්ඩලයක් ඇති කිරීමයි. එය රටේ ජනාධිපති හෝ අගමැති විසින් පත් කරන මණ්ඩලයක් නොවෙයි. ඒ ඒ ආගමික පාර්ශවයන් විසින් ඊට සුදුසු ජ්‍යෙෂ්ඨ පුද්ගලයන් නම් කරනවා. ආගම් අතර ඇති ගැටළු විසඳීමට සහ සාකච්ඡා කිරීමට ඔවුන්ට භාර දෙනවා. ඒවාට විසඳුම් ලබාදීමට ඔවුන් කටයුතු කළ යුතුයි.
මේ වනවිට එම වගකීම සියලූම ආගම්වල ජ්‍යෙෂ්ඨ නායකයින් විසින් සිදු කරමින් සිටිනවා. අපි ඔවුන් පිළිබඳව බලාපොරොත්තු තබාගත යුතුයි. මෙම මණ්ඩලය ඇති කරමින් ඊට අවශ්‍ය නීති ඉදිරිපත් කළ යුතුයි. මේ සම්බන්ධයෙන් මම සංඝයා වහන්සේලා සහ අනෙක් ආගමික නායකයින් සමග සාකච්ඡා කරමින් සිටිනවා.
මේ සියලූදෙනා සමග සාකච්ඡා කර රටේ දැනට තිබෙන ප්‍රධානම ගැටළුවට අපි විසඳුම් ලබාදිය යුතුයි. මීට අමතරව තවත් ගැටළු රටේ තිබෙනවා. දේශපාලනය, මාධ්‍ය භාවිතය ආදී විවිධ දේ පිළිබඳව අද රටේ ගැටළු ඇතිවී තිබෙනවා. නමුත් මේ සියල්ල විසඳීමට පෙර ප්‍රධාන ගැටළුව වන ආගම්වාදී බෙදීමට අපි විසඳුම් ලබාදිය යුතුයි.
ඊට විසඳුමක් ලබානොදී රටක් ලෙස ඉදිරියට යා නොහැකියි. එම ගැටළු සඟවා ගෙන තබා ගැනීමටත් නොහැකියි. අප විසින්ම නව ක්‍රමයක් හරහා මීට විසඳුම් සොයා ගත යුතුයි. ඊට අවශ්‍ය ශක්තිය අපට තිබෙනවා. මේ රටේ ආගමික සංහිදියාව ඇති කිරීම ආගමික නායකයින්ට භාර කරමින් බුද්ධාගම පදනම් කර ගත් අනෙක් ආගම් සමග එකතු වෙමින් මෙම වැඩකටයුත්ත ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
රටේ අනෙක් ගැටළු පිළිබදව විද්වතුන් සමග සාකච්ඡා කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. නමුත් පළමුවෙන් ප්‍රධාන ගැටළුවට විසඳුම් සොයා ගැනීමට මම බලාපොරොත්තු වෙන බව අවසාන වශයෙන් ඔබට ප්‍රකාශ කරනවා."
මෙම අවස්ථාවට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමෘද්ධි අමාත්‍යංශයේ අධීක්‍ෂණ මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු සමෘද්ධි ලාභීන් විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

