Language Switcher

V2025

බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ වගකීම නීතිපති අතේ - නිශාන්ත ශ්‍රී වර්ණසිංහ

මහ බැංකු බැදුම්කර ගනුදෙනුව පිළිබද සොයා බැලීම සදහා පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිසන් සභා වාර්තාව ජනගත කිරීම හරහා ඒ තුළ සොරකමක්, වංචාවක්, සංවිධානාත්මක මුල්‍ය අවභාවිතාවක් සිදුව ඇති බවට ඔප්පුවන බැවින් ඊට අදාළව නෛතික පියවර ගැනීමේ වගකීම දැන් තිබෙනුයේ නීතිපතිවරයාට බව දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පවසයි.

පසුගියදා දූෂණ විරෝධී පෙරමුණ සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මේ අදහස් දැක්වූ අතර එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මහ බැංකු සොරකම වසන් කිරීමට උත්සාහ දරන අය ජනාධිපති කොමිසම දෝෂදර්ශනයට ලක් කරන බවත් ජනාධිපති කොමිසමට පත් කර ඇති විනිසුරන් නුසුදුස්සන් බවට ප්‍ර‍කාශ කොට ජනතාවට වැරදි අදහසක් ලබා දීමේ උත්සාහයක්ද පවතින බවය.

එසේම යහපාලන ආණ්ඩුව තුළ සිදුවු දැවැන්තම මුල්‍ය අපරාධය මහ බැංකු වංචාව බවට කිසිදු සැකයක් නොමැති බවත් එම වාර්තාට අනුව ඉදිරිපත් කොට ඇති නිර්දේශ වර්ගීකරණයට අනුව වැඩිදුර විමර්ශනයක් සිදු කිරීමට, නෛතික ක්‍රියාමාර්ග ගැනීම සහ පවතින නීති සංශෝධය කිරීමට කිරීමට එම කමිටුව නිර්දේශ කොට ඇති බවත් නිශාන්ත වර්ණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.
එම නිර්දේශවලට අනුව මෙවැනි බරපතල මුල්‍ය අපරාධයකට නීතිමය පියවර ගැනීමට පවත්නා නීති ප්‍ර‍මාණවත් නොවන නිසා පවත්නා නීති සංශෝධනයට සහ නව නීති හදුන්වා දීමට පියවර ගත යුතු බව මෙම කොමිසන් වාර්තාවෙන් නිර්දේශ කොට ඇති බව කියමින් ඔහු එහි සාරාංශයක් මාධ්‍යයට ඉදිරිපත් කරන ලදී.

මෙම අපරාධයට වගකිව යුතු අයට අපරාධ නඩු පැවරිය යුතු බවටත්, එමගින් අර්ථසාධක අරමුදලට සිදුවු අලාභය අය කරගැනීමට සිවිල් නඩු පැවරිය යුතු බවටත්, මහ බැංකු වංචාවට හවුල් වු රාජ්‍ය නිලධාරින්ට විනය ක්‍රියාමාර්ග ගත යුතු බවට මෙම කොමිසන් වාර්තාව නිර්දේශ කොට ඇති බවත් නිශාන්ත වර්ණසිංහ මහතා පැවසීය.

එසේම ජනාධිපති කොමිසමේ නිර්දේශ තුළ මහ බැංකු හොරකමට පසුව සිදුවු අතුරු වංචා ගැන නඩු පැවරීමද නීතිපතිවරයා වෙත නිර්දේශ කොට තිබෙන බවත් එමගින් මහ බැංකු සොරුන්ගෙන් මුදල් ලබාගත්, ගෙවල් ලබාගත් හා යානවාහන ලබාගත් අයට ඉදිරියෙදි නඩු පවරනු ඇති බව තමන් විශ්වාස කරන බවද ඔහු සඳහන් කර සිටියි.