Language Switcher

V2025

ඌව ප්‍රධාන ඇමතිට වැඩ වරදී ? ශ්‍රීලනිපයෙන් පරීක්ෂණයක්- වහා අත්අඩංගුවට ගනු- ගුරු සංගම්

බදුල්ල දමිල කාන්තා විදුහලේ විදුහල්පතිවරිය වූ ආර්. භවානි මහත්මිය දනගස්සවා තර්ජනය කළ බවට චෝදනා ලබා සිටින ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් සම්බන්ධව පක්ෂය මට්ටමින් පරීක්ෂණයක් පවත්වන බව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා සඳහන් කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ දේශපාලනඥයන් කළයුතු වැඩ සහ නොකළ යුතු වැඩ ඇති බවත් ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා මේ සිදුකර ඇත්තේ නොකළ යුතු වැඩක් බවය.

එසේම මෙවැනි ක්‍රියා සම්බන්ධව මීට පෙර නිසි කටයුතු නොකිරීම නරක පුර්වාදර්ශයක් ඇති බවත් ඒ හේතුවෙන් මෙවැනි ක්‍රියා සිදුවන බව තමන් විශ්වාස කරන බවද අමාත්‍යවරයා පැවසීය.

අත්අඩංගුවට ගත්තේ නැත්නම් දීප ව්‍යාප්ත වර්ජනයක්

එසේම මේ පිළිබඳ අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් සඳහන් කර සිටියේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් විදුහල්පතිනියක් දනගස්සවා ගුරු සේවයට, රාජ්‍ය සේවයට සහ සමස්ථ ශිෂ්ට සමාජයටම බරපතල හානියක් සිදුකර ඇති බවය.

එසේම පළාත් අධ්‍යාපන ලේකම්වරියද තම රාජකාරිය නිසිලෙස ඉටු කිරීම පසෙකලා දේශපාලනඥයන් වෙනුවෙන් කටයුතු කර ඇති බවත් ඒ ක්‍රියාව තමන් පිළිකුලෙන් යුතුව හෙළාදකින බවද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කර සිටියි.

මෙම සිදුවීම මේ වන විට විකෘතිකර වසං කිරීමේ උත්සාහයක් පවතින බවත් සිදුවීමට චෝදනා ලබාසිටින ප්‍රධාන අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගතහොත් දීපව්‍යාප්ත ගුරුවරුන්ගේ වැඩ වර්ජනයක් දියත් කරන බවද ඔහු සඳහන් කර සිටියේය.

එසේම අදාළ සිදුවීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමටද තම සංගමය කටයුතු කරන බවත් මෙතරම් අශීලාචාර කටයුත්තක් සිදුකළ ප්‍රධාන අමාත්‍යවරයා සම්බන්ධව ආණ්ඩුව ගන්නා පියවර සම්බන්ධවද ලංකා ගුරු සංගමය බලාසිටින බවද ඔහු පැවසීය.

වැරැද්ද වහන්න නින්දිත උත්සාහයක් ගනිමින් සිටිනවා - මහින්ද ජයසිංග

මේ අතර ලංකා ගුරු සේවා සංගමයේ මහින්ද ජයසිංහ මහතාද සඳහන් කර සිටියේ අදාළ සිදුවීම සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග ගැනීමට වගකිව යුත්තන් ක්‍රියා නොකළහොත් මැතිවරණ සමයක් බව නොසළකා දීප ව්‍යාප්ත ගුරු වර්ජනයක් කැඳවන බවය.

එසේම විදුහල්පතියක් සිය නිල නිවසට කැඳවා බලහත්කාරයෙන් වන්දවා ගත් ප්‍රධාන අමාත්‍යවරයා දැන් එම සිදුවීම යට ගැසීම සඳහා නින්දිත උත්සාහයක නිරතව සිටින බවත් එය පරාජය කිරීමට තම සංගමය උපරිම දායකත්වයක් සපයන බවද ඔහු පැවසීය.

ජනාධිපතිගේ කඩුවෙන් වැඩක් පෙන්වන්න - සමන්ත විද්‍යාරත්න

මේ සම්බන්ධව අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සඳහන් කර සිටියේ කඩුව ගන්නවා කී ජනාධ්පතිවරයාට දැන් කපන්න නියම අවස්ථාවක් ලැබී ඇති බවත් තම පක්ෂයේම අයෙකු සිදුකළ මේ නොහොඹිනා කටයුත්ත සම්බන්ධව ජනාධිපතිවරයා ක්‍රියා කරන ආකාරය ගැන ජනතාව අවධානයෙන් සිටිය යුතු බවය.

එසේම අදාළ විදුහල්පතිනියට සාධාරණයක් ඉටු නොකළ හොත් ඌව පළාත් සභාව වටලා ඊට එරෙහිව ක්‍රියාකරන බවද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.

දෙපැත්ත කැපෙන කඩුව ඔප්පු කරන්න - කාවින්ද ජයවර්ධන

මේ පිළිබඳ අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සඳහන් කර සිටියේ ජනාධිපතිගේ දෙපැත්තම කැපෙන කඩුව වචන වලට සීමා නොකර ක්‍රියාවෙන් ඔප්පු කරන්නට අවස්ථාවක් ඇති බවය. එසේම ඌව ප්‍රධාන ඇමතිවරයා සිදුකළ ක්‍රියාවට ජනාධිපතිවරයා ගනුලබන ක්‍රියාමාර්ගය හමුවේ ඒ බව ඔප්පුවනු ඇති බවද ඔහු සඳහන් කළේය.

මං වරදක් කළේ නෑ - ඌව ප්‍රධාන අමාත්‍ය

කෙසේ නමුත් මෙම සිදුවීම සම්බන්ධව ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කරන්නේ තමන් කිසිඳු වරදක් නොකළ බවත් සිය දේශපාලන විරුද්ධවාදීන් තමන්ගෙන් පළිගැනීම සඳහා කුඩා සිදුවීමක් විකෘති කරමින් කටයුතු කරන බවය.

තමන් මේ වන විට ඒ පිළිබඳ පොලිසියේ පැමිණිල්ලක් සිදුකර ඇති බවත් එහි ඉදිරි විමර්ශන වලදී මෙහි සත්‍ය අසත්‍යතාව හෙළිවනු ඇති බවට තමන් විශ්වාස කරන බවද ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කර ඇත.

මේ අතර අදාළ සිදුවීම හෙළිකිරීම සම්බන්ධව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මාධ්‍ය වෙත හෙළිකිරීම ගැනද ප්‍රධාන අමාත්‍යවරයා මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකර ඇති අතර එහි සඳහන් වන්නේ කැෆේ සංවිධානයේ ලොක්කා කීර්ති තෙන්නකෝන් බොරු කියන බිස්නස් කාරයෙක් බවත් ඔහු උමා ඔය විකුණන එක්කෙනෙක් බවත්ය.

විදුහල්පතිනියට දිගටම තර්ජන

කෙසේ වුවත් පසුගිය දිනක බදුල්ල දෙමළ විද්‍යාලයේ විදුහල්පතිනිය මාධ්‍ය වෙත ප්‍රකාශකර තිබුණේ ප්‍රධාන අමාත්‍යවරයා තමන්ව දන නොගැස්සවූ බවය. එහෙත් පසුගිය 19 වනදා මාධ්‍ය හමුවේ යළිත් පෙනීසිටි ඇය සඳහන් කර සිටියේ එම ප්‍රකාශය තමන් හරහා සිදුකර ගත්තේ බලහත්කාරයෙන් බවය.

එසේම ඌව පළාත් මහා ඇමති චාමර සම්පත් දසනායක මහතාගේ ලිපියක් රැගෙන පැමිණි සිසුවියක් බඳවා ගැනීමට නොහැකි බව සිසුවියගේ දෙමාපියනට පැවසීම හේතුවෙන් කෝපයට පත් මහා ඇමතිවරයා නිල නිවසට ගෙන්වා තමන්ව දුෂ්කර ප්‍රදේශයකට ස්ථානමාරු කර යවන බවට පරුෂ වචනයෙන් බැණ තර්ජනය කර බියවැද්දීම නිසා අසරණ වූ අවස්ථාවේ දන ගසා වැඳවැටුණු බව එහිදී ඇය සඳහන් කර සිටියාය.