Language Switcher

V2025

ජුලම්පිටියේ අමරේට එරෙහි නඩුවේ සාක්ෂි විමසීම අවසන් !

කටුවන හැඩිවත්ත ප්‍රදේශයේදී 2012 වසරේ ජුනි 15වනදා පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්සගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබූ ප්‍රාදේශීය ජනහමුවකට වෙඩි තබා ජනහමුවට සහභාගී වී සිටි දෙදෙනෙකු ඝාතනය කර එක් අයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළ නඩුව ඊයේ (17) තංගල්ල මහාධිකරණයේ විනිසුරු ආර්.එස්.එස් සපුවිද ඉදිරියේ විභාගයට ගැණුනු අතර එහිදී ඊට අදාළ සාක්ෂි විමසීම අවසන් කර තිබේ.

ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේට නැමත්තා, එදින පැවති ජවිපෙ රැළියට වෙඩි තබා එදිරිමාන්න පතිරනගේ මාලනී (50) ජයසේකර පතිරනගේ හේෂාන් (18) යන දෙදෙනා ඝාතනය කර නෙත්තසිංහ ලියනගේ සුජිත් නිමේෂ යන අයට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබූ අතර ඔහුට විරුද්ධව වු චෝදනා සම්බන්ධයෙන් වූ නඩු විභාගය 2016 පෙබරවාරි මස 29 දින සිට විභාගයට ගෙන තිබිණි.

තංගල්ල මහාධිකරණයේ විනිසුරු ආර්.එස්.එස් සපුවිද ඊයේ මෙම නඩුව විභාගයට ගෙන ඇති අතර එහිදී ඝාතනයේ සැකකරු වූ ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ සාක්ෂි ලබා දී ඇත.

ඉන් අනතුරුව මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද ලබන මස 04 වැනි දින දක්වා නඩුව කල්තබා ඇති අතර එදිනට සාක්ෂි සටහන් පිළිබඳව විමර්ශනයක් කිරීමට නියමිතය.

ජූලම්පිටිය අමරේ මනුෂ්‍ය ඝාතන කිහිපයකට හා තංගල්ල බන්ධනාගාර කැරැල්ලටද චෝදනා ලැබ සිටි අයෙකු වන අතර ඔහු රාජපක්ෂවරුන්ගේ ආරක්ෂකයෙකු ලෙසද කටයුතු කර ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම ප්‍රශ්න කරමින් චූදිතයන්ට රැකවරණය දෙන පුද්ගලයන් සහ චූදිතයන් අත්අඩංගුවට නොගැනීම ගැන රට හමුවේ කරුණු අනාවරණය කරන්නට විය.

ඉන් පසුව ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර වූ අතර අදාළ ඝාතනය සම්බන්ධයෙන් 2012 වසරේ ජුනි මස 22 දින වලස්මුල්ල අධිකරණයේදී හදුනාගැනීමේ පෙරෙට්ටුවක් පැවතිනි. එහිදී සාක්ෂිකරුවෝ තිදෙනෙකු විසින් ජූලම්පිටය අමරේ හදුනා ගැනීමට සමත් වූහ. පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් කටුවන ද්විත්ව ඝාතනයේ සැකකරුවෙකු ලෙසට ජූලම්පිටියෙ අමරේ නම් කරන ලෙසට ඉල්ලීමක් සිදු කර තිබිණි.

ඒ අනුව ඔහු මෙම දිත්ව ඝාතනයේ සැකකරු ලෙස නම් කළ අතර නඩුව පවත්වාගෙන යන ලදී.

මෙම වෙඩි තැබීම ජවිපෙ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව හුවාදැක්වීම සඳහා එවකට ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මාධ්‍ය නිවේදනයක්ද නිකුත්කළ අතර එසේ වුවත් මෙම වෙඩිතැබීම මෙහෙයවා ඇත්තේ එවක පැවති රාජපක්ෂ ආණ්ඩුවේ බලවතුන් (රාජපක්ෂවරුන්) මෙහෙයවන ජූලම්පිටියේ අමරෙ නැමති පාතාල නායකයා බව පසුව හෙළි විය.

ජූලම්පිටියේ අමරේ නැමත්තා කලක් නාමල් රාජපක්ෂගේ ශරීර ආරක්ෂකයා ලෙස කටයුතු කර ඇති බව සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වූ ඡායාරූපවලින් තහවුරු විය.

(ලංකා ටෘෘත් )