Language Switcher

V2025

වත්මන් අර්බුදය මඩින්න : අලුත් පියාපත් යෝජනා මෙන්න !

රටේ පවතින වත්මන් අර්බුදකාරී වාතාවරණය මැඩලීම වෙනුවෙන් වන යෝජනා මාලාවක් අලුත් පියාපත් සංවිධානය විසින් ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදී ජනගත කරනු ලැබිණ.

ප්‍රවීණ මාධ්‍යවේදී නාරද බක්මීවැව, කථිකාචාර්ය වරදාස් ත්‍යාගරාජා, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර යන අය මෙහිදී අදහස් දැක්විය.

ඒ අනුව,

01. පාර්ලිමේන්තුව, එය සතු තුනෙන් දෙකේ බලය උපයෝගී කර ගනිමින් වහා විසුරුවා හරිනු!
02. මහමැතිවරණයක් කැඳවා ජනතාවට තම කැමැත්ත පරිදි නව ව්‍යවස්ථාදායකයක් පත්කර ගැනීමට අවස්ථාව ලබා දෙනු!
03. ජනතාවනි,ඒකාධිපති, ජාතිවාදී හා ආගම්වාදී හෝ වංචා දූෂනයට සම්බන්ධ පිරිසක් නැවත පත්කර නොගනු! යන කරුණු තුන ප්‍රධාන වශයෙන් ආණ්ඩුවට සහ ජනතාවට යෝජනා කර ඇත.

එම අවස්ථාවට නිර්මාණ වීරසිංහ, නීතිඥ කෞෂල්‍යා අරියරත්න හා නීතිඥ ශානිකා ද සිල්වා යන අය සහභාගි වූහ.

යෝජනා මාලාව

පාර්ලිමේන්තුව වහාම විසුරුවා හරිනු! මහ මැතිවරණයක් හරහා නව ව්‍යවස්ථාදායකයක් පත්කර ගැනීමට ජනතාවට අවස්ථාව ලබා දෙනු!

පසුගිය ඔක්තෝබර් 26 වන දින සිදු වූ කුමන්ත්‍රණයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය අගයන විවිධ කණ්ඩායම් සහ පුද්ගලයින් ක්‍රියාත්මක වන්නට විය. එවන් පසුබිමක් යටතේ තැන තැන විසිර තිබූ හුදෙකලා කණ්ඩායම් එක් කොට ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙනී සිටින එක් පෙරමුණක් ලෙස අපි අලූත් පියාපත් ගොඩනැගුවෙමු. එහිදී රට අරාජිකත්වයට පත් කරන බලපොරය අවසන් කර, රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරමින් හා පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරමින් වහාම මාස තුනක් ඇතුළත පවත්වනු ලබන නීත්‍යානුකූල මහ මැතිවරණයක් හරහා ජනතාවගේ පරමාධිපත්‍යය බලය සුරක්ෂිත කරන මෙන් ද අලූත් පියාපත් ලෙස අපි බලපෑම් කරනු ලැබුවෙමු.

 එහෙත් බලයටම පමණක් කෑදර ආණ්ඩුවත්, විපක්ෂයේ සමහර දේශපාලන කණ්ඩායමුත් විසින් එකී ප්‍රජාතන්ත්‍රවාදී ධූරාවලිය වෙනුවට නැවත නැවතත් තෝරා ගනු ලැබූයේ කෙසේ හෝ බලය රැක ගැනීමේ තම සුපුරුදු "ගේම් සහ ඩීල්" ප්‍රතිපත්තියමය. ජනාධිපතිවරයා සහ වත්මන් විපක්ෂ නායකවරයා ඇතුළු කණ්ඩායම විසින් ක්‍රියාත්මක කරන ලද ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයෙන් පසුව ද ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පැවති බලපොරයේ හා දේශපාලන කුමන්ත්‍රණවල ප්‍රථීඵලයක් ලෙස රටේ ආරක්ෂාව බරපතල ලෙස ප්‍රමාණාත්මකවත් ගුණාත්මකවත් බිඳවැටෙමින්, රටේ ආරක්ෂක අංශ අඩපණ වෙමින් පැවති අතර අවසන තුන් සියයකට ආසන්න අහිංසක මිනිස් ජීවිත ප්‍රමාණයක් ත්‍රස්තයන්ගේ ගොදුරු බවට පත්කොට ගත් අඳුරු අත්දැකීමක් මේ පොළව මත ඉතිරි කරමින් එකී බලලෝභී දේශපාලනය ක්‍රියාත්මක වන්නට විය.

 එහෙත් එකී අත්දැකීමෙන් පවා පාඩම් ඉගෙන නොගැනීමේ ප්‍රථීඵලයක් ලෙස, අප්‍රේල් 21 ප්‍රහාරයට මෛත්‍රී-රනිල් ආණ්ඩුවම වගකිව යුතුව තිබියදීත් ඉන් දින විසි එකකට පසුව නැවතත් ජාතිවාදී හා ආගම්වාදී මැරයින් විසින් මුස්ලිම් ජනයා මත සිය ප්‍රචණ්ඩත්වය මුදා හැරීමට කටයුතු කළ අතර වත්මන් පාලකයෝ ඊට ඉඩ ලබාදෙමින් අවශ්‍ය ධෛර්යය සැපයූහ. එබැවින් මේ සියලූ ප්‍රහාරයන්ගේ මූලයන් සොයා ඒවා පරාජය කරමින් විනාශ කර දමනවා වෙනුවට පාලකයන් විසින් සැමවිටම කරනු ලැබූයේ සහ තවදුරටත් කරමින් සිටින්නේ ජන ජීවිත උකසට තබමින් තම දේශපාලන අසංස්කෘතික බවම ප්‍රදර්ශනය කිරීම නොවේද?

වෙනෙකක් තබා පාර්ලිමේන්තුවේ සියලූ දේශපාලන පක්ෂ විසින්ම අත්සන් කොට ඉල්ලා සිටින ලද අප්‍රේල් 21 සිදුවීම සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවද අද ආණ්ඩුවට මෙන්ම විපක්ෂයේ සමහර කණ්ඩායම්වලට ද පාරා වළල්ලක් වී ඇත. ඒ අනුව ආණ්ඩුවේ මැතිවරණ සිහිනය පමණක් නොව විපක්ෂයේ සමහර ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ සිහින ද බොඳ කරමින් දිග හැරෙන මේ තේරීම් කාරක සභාව අහෝසි කිරීමට ජනපති, අගමැති පමණක් නොව විපක්ෂ නායකයා ඇතුළු සමහර දේශපාලන කල්ලි සහ කණ්ඩායම් ද පෙරමුණ ගෙන කටයුතු කරන බවක් පෙනේ. එය අහෝසි කිරීමට නොහැකි නම් තමන් සතු සියලූ ආකාරයේ මාධ්‍ය බලයන් උපයෝගී කර ගනිමින් එකී කාරක සභාව අකර්මණ්‍ය කිරීමට හෝ මේ කණ්ඩායම් විසින් අද උත්සාහ දරයි.

ඉඳින් මෙලෙස දිගින් දිගටම ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ අසංස්කෘතික දේශපාලන භාවිතාවක් පෙන්වනු ලබන ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් සහ විපක්ෂ නායකවරයෙක්ගෙන් දිනා ගත හැකි සංස්කෘතික දේශපාලනයක් හෝ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් ඇතැයි අපි තවදුරටත් විශ්වාස නොකරමු.

එහෙත් දැන් සමාජයක් ලෙස අප අපගේ අරගලය අත්හළ යුතුද? නොඑසේ නම් තවදුරටත් ඔවුන් ප්‍රමුඛ රැවටිලිකාරී, මහජන විරෝධී දේශපාලන බලවේගයන්ගෙන් සාධනීය වෙනසක් ඉල්ලා සිටීම අතහැර වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයකට ප්‍රවිෂ්ඨ විය යුතුද?

ඒ අනුව පසුගිය ඔක්තෝබර් 26 සිදුවීමත් සම`ග අප විසින් ගෙන ආ යෝජනාව වන "තරුණ නියෝගය" තවදුරටත් වලංගු තත්වයක් තුළ, 

01. පාර්ලිමේන්තුව, එය සතු තුනෙන් දෙකේ බලය උපයෝගී කර ගනිමින් වහා විසුරුවා හරිනු!
02. මහමැතිවරණයක් කැඳවා ජනතාවට තම කැමැත්ත පරිදි නව ව්‍යවස්ථාදායකයක් පත්කර ගැනීමට අවස්ථාව ලබා දෙනු!
03. ජනතාවනි,
ඒකාධිපති, ජාතිවාදී හා ආගම්වාදී හෝ වංචා දූෂනයට සම්බන්ධ පිරිසක් නැවත පත්කර නොගනු!

එබැවින් මේ සඳහා අත්වැල් බැඳගන්නා ලෙස මෙරට සියලූම බුද්ධිමතුන්, කලාකරුවන්, වෘත්තිකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු මුළුමහත් පුරවැසියන්ගෙන් ඉතා දැඩිව ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.

අපි....
අලූත් පියාපත්