පාස්කු ප්‍රහාරය : දයාසිරිගේ ඉන්දීය විරෝධී ප්‍රකාශයට සාක්ෂි නෑ !

පාස්කු ප්‍රහාරය : දයාසිරිගේ ඉන්දීය විරෝධී ප්‍රකාශයට සාක්ෂි නෑ !

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයට ගිය මරාගෙන මැරෙන බෝම්බකරු සිය බෝම්බය පුපුරවා නොගත්තේ එම හෝටලයේ යම් කණ්ඩායමක් සිටි නිසා බවත්, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වි‌දෙස් රාජ්‍යක් සම්බන්ධ බවත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා දෙරණ 360 රූපවාහිනී වැඩසටහනේදී කළ ප්‍රකාශය ප්‍රමාණවත් තොරතුරු නැතිව සිදුකළ ප්‍රකාශයක් බව වාර්තා වෙයි.

මේ චෝදනාව පිළිබඳව තොරතුරු තිබේදැයි අප කළ විමසීමකදී අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ තමන් ඒ ප්‍රකාශය කළේ ඒ බව සොයා බැලිය යුතු නිසා බවයි. ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකොට තොරතුරු හෙළි කරගත යුතු බවත් ඔහු කීය.

'ටාජ් සමුද්‍රා හෝටලයේ කට්ටියක් හිටියා, අපි දන්නවා ඒ කවුද කියලා' යැයි ජූනි 18 වැනිදා පැවති දෙරණ 360 වැඩසටහනේදී ඔහු ප්‍රකාශ කර තිබුණි. ඒ කවුදැයි ඉදිරියේදී පවසන බවත්, මේ ප්‍රහාරය අයිඑස් සංවිධානයේ ප්‍රහාරයක් බව තමන් විශ්වාස නොකරන බවත්, එය විදෙස් රාජ්‍යයකින් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක් ඇති කිරීම පිණිස මෙහෙයවූ එකක් බවත් ඔහු එහිදී කියා තිබුණි.

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කැළඹීමක් ඇති කිරීමේ ඉඩක් ඇති බරපතළ ප්‍රකාශයක් වන එම ප්‍රකාශය සම්බන්ධයෙන් එහිදී හෝ ඉන් පසුව වැඩිදුර කරුණු දක්වා තිබුණේ නැත.

කෙසේ වෙතත් ටාජ් සමුද්‍රා හෝටලය ඉන්දියාවට සම්බන්ධ එකක් වන නිසාත්, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එදින ටාජ් සමුද්‍රා හෝටලයේ නැවතී සිට ඇති නිසාත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ඉන්දියාවට අදාළව කර ඇති එකක් බවද ඇතැම් සමාජ මාධ්‍ය හා වෙඩ් අඩවි වාර්තා කර තිබුණි.

කෙසේ වෙතත් මෙම බෝම්බ ප්‍රහාරයට අදාළ පරීක්ෂණවලදී දැනට හෙළිවී ඇත්තේ පාස්කු ඉරිදා ටාජ් සමුද්‍රා හෝටලයට ගිය බෝම්බකරුට එය පුපුරවාගත නොහැකි වී ඇත්තේ හෝටලයේදී සිය ඩෙටනේටරය ක්‍රියාත්මක කරන්නට උත්සාහ ගනිද්දී බෝම්බය පුපුරා නොගිය නිසා බවය. පසුව එම බෝම්බය දෙහිවල නවාතැන්පොළකදී පුපුරා ගොස් තිබිණි.

(අනිද්දා)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න