Language Switcher

V2025

උදයාංග වීරතුංගගෙන් ආණ්ඩුවට අභියෝගයක්

මිග් ගනුදෙනුව හරහා අයතා ලෙස දේපළ උපයාගත් බව සඳහන් කරනවා නම් ඊට අදාළ ලිඛිත සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස තමන් ආණ්ඩුවට අභියෝග කරන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග සඳහන් කරයි.

විද්‍යුත් තැපෑල හරහා නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව අවධාරණය කර සිටින අතර එහි වැඩිදුරටත් සඳහන් වන්නේ තමන් සතු සියළු දේපළ වසර 32ක විදෙස්ගතව සිටියදී උපයාගත් ධනය ආයෝජනය කර ලබාගත් දේ වන බවය. වන බවය.

උදයංග වීරතුංගගේ එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

2006 සිට වත්කම් බැරකම් ප්‍රකාශයට පත්කළා
"යහපාලනය වසර තුනකට ආසන්න කාලයක්‌ මගේ සියලු ගිණුම් සක්‍රීය කර ඇති අතර සියලු ගිණුම් පරික්ෂා කරන ලදී. මා විසින් නිත්‍යානුකූලව මිලදී ගෙන ඇති වත්කම් බැරකම් ප්‍රකාශය මගීන් වාර්ෂිකව රජයට ඉදිරිපත් කර ඇති දේපල විකිණීම හෝ පැවරීම අත්හිටු වීම හුදෙක් දේශපාලන පළිගැනීමකි. 2006 වර්ෂයේ සිට වත්කම් බැරකම් ප්‍රකාශය මගීන් රජයට ඉදිරිපත්කර ඇති මෙම දේපල සැගවීමට අවශ්‍ය නැත"

ලංකාවට ආවා කියලා බොරු චෝදනා දාලා

මිග් ගනුදෙනුවට අදාළ ගිවිසුම අත්සන් කල කාලය තුල මා, ශ්‍රී ලංකාවට පැමිණ නැති බව ආගමනය විගමන දත්ත අනුව සරලව ඔප්පුවන නමුත්, මා එම ගිවිසුම ලංකාවට රැගෙනවිත් ගුවන් හමුදාපතිගේ අත්සන් ලබාගෙන නැවත රැගෙන ගිය බවට පොලිසිය සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර අධිකරණය හරහා මා සැකකරුවකු ලෙස නම් කරන ලදී. මෙවරත් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකර මිග් ගනුදෙනුවේ මුදල් මගේ ගිණුම්වලට ලැබී ඇති බවට අසත්‍ය තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර ඇත. එසේ ගිවිසුමට අදාළ මුදල් මගේ ගිණුම්වලට බැරවී ඇති බවට සාක්ෂි ඇත්නම්, ඒවා වහාම අධිකරණයට ඉදිරිපත් කර නිතිය ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවට මා අභියෝග කරමි.

ඒ අතර මිග් ගිවිසුම යුක්රේන්මාෂ් අත්සන් නොකළ බව මුල්‍ය අපරාධ විමර්ශන ආයතනය චෝදනා කරන අතර එම ගිවිසුමට අමතරව වෙනත් ගිවිසුමක් ඇති බව යහපාලන ඇමතිවරුන් චෝදනා කරයි. එසේ නම් ගුවන් හමුදාවේ ඇති මිග් ගුවන්යානා 8 අප රටට ලබා දී ඇත්තේ කුමන ගිවිසුමක් යටතේද යන්න යුක්රේනියානු රජයෙන් දැනගත යුතු අතර දෙවන ගිවිසුමකට ගුවන්හමුදාව විසින් අත්සන් කර ඇතිනම් ඊට වගකිව යුතු සැකකරුවන් වහාම අධිකරණයට ඉදිරිපත් කල යුතුය.

වසර තුනක් ගතවෙලා - සාක්ෂි කෝ ?

ගුවන්යානා තත්ව පරික්ෂාකිරීමෙන් පසු “Factory Acceptance Certificate” සහතික දෙපාර්ශවය විසින් අත්සන් කර ඇත. ගුවන් හමුදාවේ නිර්දේශ මත එම සහතිකය අදාළ විදේශ බැංකුවට ඉදිරිපත්කර විකුණුම් පාර්ශවය විසින් අදාළ මුදල් වසර 3ක් තුල ලබාගෙන ඇත. එම මුදල් මගේ ගිණුම්වලට බැරවී ඇති බව පොලිසිය විසින් ජනවාරි 18 දින උසාවියට දැනුම් දී ඇත. එසේ නම් එම චෝදනා සනාථ කිරීමට සත්‍ය සාක්ෂි අධිකරණයට වහාම ඉදිරිපත්කර දේශපාලන බලපෑමකින් තොරව නිතිය ක්‍රියාත්මක කරන ලෙස යහපාලනය ආණ්ඩුවට මා අභියෝග කරමි. වසර තුනකට ආසන්න කාලයක්‌ ඊට අදාළ කිසිදු සත්‍යය සාක්ෂියක් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ආයතනය අධිකරණයට ඉදිරිපත් කර නැති නමුත්, බැංකු ගිණුම් අක්‍රීය කිරීම මෙන්ම දේපල විකිණීමට තහනම් නියෝගයක් පැනවීමට කටයුතු කිරීම වනාහි පොලිස් රාජ්‍යයේ උපරිම ලක්ෂණ පෙන්නුම් කිරීමකි.

ආණ්ඩුවේ බොරු සියල්ලම අතේ පත්තු වී හමාර නිසා දැන් ජන්ද වාසි ලබා ගැනීමට වෙනත් බොරු ගොතමින් සිටී. ඔවුන් මට විරුද්ධව එල්ල කරන චෝදනා සියල්ල අමූලික බොරු බව ලාංකික ජනතාවට දැනගැනීම පිණිස ඉතා වගකීමෙන් මෙම ප්‍රකාශ කරමි.

උදයාංග වීරතුංග - රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති.