Language Switcher

V2025

කතරගම ආරක්ෂාවට STF එයි

කතරගම ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් නිරත කරනු ලැබ ඇත.

පොලිසියට ගල් මුල් ආදියෙන් පහර දුන් බව කියන සැකකරුවන් විශාල පිරිසක් මේවනවිට අත්අඩංගුවට ගෙන ඇති බව කතරගම පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගනු ලැබ සිටින පිරිස අතර පුරුෂයන්ට අමතරව කාන්තාවන්ද සැලකිය යුතු සංඛ්‍යාවක් වෙති.

පොලිස් ආරංචි මාර්ග අනුව ලද එක් වාර්තාවකට අනුව, පිරිමින් 44 දෙනකු සහ කාන්තාවන් 13 දෙනකු පොලිස් අත්අඩංගුවේ පසු වෙන අතර ඔවුන් මහේස්ත්‍රාත් හමුවට පැමිණවීමට නියමිතව තිබුණි.

 99685530 kataharagama1

කාන්තාවෝ විරෝධතා ව්‍යාපාරයේ

 එවැනි ගැටුම්කාරී තත්වයක් උද්ගත වුණේ පොලිසිය විසින් කරන ලද වෙඩි තැබීමකින් අනතුරුව ප්‍රදේශවාසීන්ගේ විරෝධය හමුවේ ඇතැම් පුද්ගලයන් විසින් කතරගම පොලිසියට පහර දෙනු ලැබීම හේතුවෙනි.

කලහකාරී පිරිස් එල්ල කළ ගල් මුල් ප්‍රහාරවලින් පොලිසියේ විසි දෙනකුට පමණ සුළු තුවාල සිදු වූ බවත්, දේපොළ රැසකට හානි සිදු වූ බවත් කතරගම පොලිසිය පවසයි.

ගැටුම ආරම්භ වී ඇත්තේ පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට රාත්‍රී මුර සංචාරයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු විසින් වෙඩි තබනු ලැබීමෙන් එම යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ බවත් වාර්තා වෙයි.

 එම පොලිස් වෙඩි තැබීමට එරෙහිව තිස්ස - කතරගම මාර්ගය අවහිර කළ විරෝධතා වාදීන් ටයර් පුළුස්සමින් උද්ඝෝෂණය කරමින් සිටි අතර ප්‍රදේශයේ කළු කොඩි ඔසවා තිබුණි.

 99685532 sannaddha

විරෝධතාකරුවන්ට මුහුණ දුන් පොලිසිය

 පොලිසියට ගල්මුල් ප්‍රහාරයක් එල්ල වෙමින් පවතිද්දී එය මැඩපැවැත්වීමට පොලිසිය විසින් කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබ ඇත.

පොලිස් වෙඩි පහරින් මියගොස් ඇත්තේ කතරගම නාගහ වීදියේ පදිංචි අවුරුදු විසි පහක් (25) පමණ වයසැති පතිරණගේ නිරෝෂන් නමැති විවාහකයෙකි.

ඔහු කතරගම ප්‍රාදේශීය සභාවේ ටැක්ටර් රථ රියදුරෙකි.

 වෙඩි තැබීම සිදු කරන ලදැයි කියන පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 30 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ ඇත.

තමන් රාජකාරියේ නියැලී සිටිය දී සිය අණ නොතකා ධාවනය කළ යතුරුපැදිකරුට නියෝග කොට නතර කරනු ලැබීමෙන් අනතුරුව ඔහු පොලිස් ගිනි අවිය උදුරා ගැනීමට තැත්කළ බවත්, පසුව පළායමින් සිටියදී වෙඩි තැබූ බවත් වෙඩි තැබීම සිදුකළ පොලිස් කොස්තාපල්වරයා පවසා ඇත.

 99685534 yathurupadiya

පොලිස් වෙඩි පහරට ගොදුරු වූ යතුරුපැදිය

 කතරගම පොලිසියේ සහ ප්‍රදේශයේ ආරක්ෂාව පිණිස පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් හා කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් යොදවා තිබෙන බවත්, මේ සිද්ධියේ දී පොලිසියට ප්‍රහාර එල්ල කළ හිටපු ප්‍රාදේශීය දේශපාලනඥයකු සහ තවත් කීප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් බීබීසිය කළ විමසීමකදී සඳහන් කළේය.

 99685537 polisalabha

අලාභ හානි සිදු වූ පොලිස් රථයක්

අදාළ පරීක්ෂණ සඳහා කොළඹින් විශේෂ පොලිස් කණ්ඩායමක් කතරගමට යවා ඇති බව අලුත්ම වාර්තා මගින් පැවසෙයි.

 (බීබීසී සිංහල සේවය)