දේශපාලකයන් බේරා ආරක්ෂක ලේකම් කොටුකිරීම වැරදියි : කුමන්ත්‍රණ අගමැතිගේ ලේකම් !

දේශපාලකයන් බේරා ආරක්ෂක ලේකම් කොටුකිරීම වැරදියි : කුමන්ත්‍රණ අගමැතිගේ ලේකම් !

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු රාජකාරිමය වගකීම් පැහැර හැරීම සම්බන්ධව පොලීසිය ලවා අපරාධ පරීක්ෂණයක් සිදුකොට දේශපාලනඥයන් ශුද්ධවන්තයන් බවට පත්වීමට දරන උත්සාහයට දැඩි ලෙස විරෝධය හා අප්‍රසාදය පළ කරන බව විශ්‍රාමික, රාජ්‍ය සේවා ප්‍රධානීන් විසින් පිහිටුවාගෙන ඇති (යුක්තියට හඬක්) සංවිධානයේ සභාපති හා හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයකු වන එස්. අමරසේකර පවසා ඇත.

මේ බව දේශය පුවත්පත වාර්තා කර තිබේ.

ඊට අනුව යුක්තියට හඬක් සංවිධානය වෙනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කළ හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයා රාජ්‍ය නිලධාරීන්ගේ පරිපාලන ක්‍රියාදාමයන්හිදී සිදුවන වැරදි ගැන ක්‍රියා කළ යුත්තේ ආයතන සංග්‍රහයේ සඳහන් විනය විධි විධානවලට අනුව බව පවසයි. එහෙත් වත්මන් රජය මෙලෙස රාජ්‍ය සේවකයන්ගේ වැරදි සම්බන්ධව අපරාධ නීතිය ක්‍රියාත්මක කරවන්නට යාමෙන් ලක්ෂ ගණනක් වන රාජ්‍ය සේවකයන් මානසික ආර්ථික හා සමාජමය පීඩාවකට ලක් කිරීම බලවත් වරදක් බව සඳහන් කරයි.

ජනාධිපති ලේකම්වරයාගේ සිට කාර්යාල කාර්ය සහායක දක්වා වත්මන් ආණ්ඩුව මෙම පිළිවෙත ක්‍රියාත්මක කරන බව පවසන හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයා හිටපු ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධයෙන් ගත් පියවර අසාධාරණ බවද කියයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අමාත්‍යාංශ ලේකම් ක්‍රියා කළ යුත්තේ විෂය භාර අමාත්‍යවරයාගේ විධානයට හා පරිපාලනයට යටත්වය. එවන් තත්ත්වයක් තිබියදී අමාත්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු නොකර අදාළ නිලධරයා පීඩාවට පත් කිරීම බලවත් අසාධාරණයක් යැයි සඳහන් කර ඇත.

කුමන්ත්‍රණ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ලේකම් !

හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයකු ලෙස එස්. අමරසේකර සිදුකර ඇති මේ ප්‍රකාශය සම්බන්ධව දේශපාලන විචාරකයන්ගේ ද අවධානය මේ වන විට යොමුව තිබේ.

ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ එස්. අමරසේකර යනු ජනාධිපති සිරිසේන සහ මහින්ද රාජපක්ෂ මුල්වී පසුගිය ඔක්තෝබර් 26 දියත්කල ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණයේ අග්‍රාමාත්‍ය ලේකම් බවයි.

ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයක් සිදුවීමෙන් පසුව එහි ප්‍රධාන නිලධාරියකු ලෙස එනම් කුමන්ත්‍රණ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය වූ මහින්ද රාජපක්ෂගේ ලේකම් වූ පුද්ගලයාට අද දේශපාලනඥයන්ගේ ශුද්ධත්වය සම්බන්ධව විවෘතව අදහස් දැක්වීමට හැකිව තිබෙන්නේ ජනාධිපති සිරිසේනගේ අත්තනෝමතික කටයුතු නිසා බවත් යහපාලන අපේක්ෂා දිනෙන් දින බිඳ වැටීමේ වගකීමෙන් ජනාධිපතිට ගැළවිය නොහැකි බවත් විචාරක මතය වී තිබේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න