ජනාධිපති : බලය අහිමිවීමේ අවධානමෙන් උමතුවෙලා - පුබුදු

ජනාධිපති : බලය අහිමිවීමේ අවධානමෙන් උමතුවෙලා - පුබුදු

 

දේශපාලන වශයෙන් අවලංගු වෙමින් සිටින සිරිසේන ජනාධිපතිවරයා මරණ දඩුවම වැනි නීති ගෙන එන්නේ බලය අහිමිවීම පිළිබද අවදානමෙන් උමතුවීම නිසා විය හැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බත්තරමුල්ල කාර්යාලයේ ඊයේ (2) පැවති මාධය හමුවක් අමතමින් පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බව ප‍්‍රකාශ කළේය.

” මරණ දඬුවම කියන්නේ අශිෂ්ඨ රටවල ක‍්‍රියාත්මකවන නීතියක්. මෛත‍්‍රීපාල සිරිසේන දැන් මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන්න ඕන කිව්වට මීට අවුරුද්දකට කලින් 2018 වසරේදී මරණ දඬුවමට විරුද්ධව ඡුන්දය පාවිච්චි කළා. එහෙම කළ මෛත‍්‍රී දැන් මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන්න උත්සාහ කිරීමට හේතුවක් තියෙනවා. මෛත‍්‍රිපාල සිරිසේන දැන් දේශපාලන වශයෙන් අවලංගු වෙමින් තියෙන්නෙ. ඔහුට දේශපාලන වශයෙන් ඉදිරි ගමනක් නැති බව පැහැදිලියි. ඒ නිසා එවැනි තත්වයකට පත්වන පුද්ගලයෙක් උමතුවෙන් කටයුතු කරන එක අමුතු දෙයක් නෙවෙයි. අන්තිම මාස ටිකේ පිස්සු නටනවා.

මරණ දඬුවම ලංකාවට ගෙනාවෙ 1812 ෆෙඞ්රික් නෝත් ආණ්ඩුකාරවරයා. නමුත් 1928 මරණ දඬුවමට විරුද්ධව ඩි. එස්. සේනානායක පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවා. ඒ යෝජනාව වැඩි ඡුන්දයෙන් සම්මත වුවත් ඒ වනවිටත් ලංකාව, බි‍්‍රතාන්‍ය යටත් විජිතයක් වූ නිසා යටත් විජිත පාලනය විසින් තවදුරටත් ක‍්‍රියාත්මක කළා. ඉන්පසු 1977 ජේ.ආර්.ගෙ ආණ්ඩුව මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම නවතා දැමුවා. දැන් මෛත‍්‍රිපාල ජනාධිපතිවරයා කියනවා යුරෝපා රටවල් ලංකාවෙ මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට විරුද්ධ වෙනවා කියලා. ඇත්තටම මරණ දඬුවම ක‍්‍රියාත්මක කළ දා ඉඳලා අපේ රටේ මිනිස්සු තමයි මරණ දඬුවමට විරුද්ධ වුනේ.

ආණ්ඩුව ජනතාවගෙන්, පුද්ගලයෙකුගෙන් යමක් ගත්තොත් නැවත දෙන්න පුළුවන්. නමුත් පුද්ගලයෙක් වැරැුද්දක් කළා කියන පදනමෙන් ජිවිතයක් උදුරා ගත්තොත් පස්සේ ඒ මනුස්සයා නිවැරදියි කියලා ඔප්පු වුණාම ඒ ජීවිතය නැවත දෙන්න පාලකයන්ට බැහැ. එක නිසා තමයි අපි මරණ දඬුවමට විරුද්ධ විය යුත්තේ කියලා මරණ දඬුවමට විරුද්ධව අදහස් දක්වපු වාමාංශික නායකයෙක් වූ කොල්වින් ආර් ද සිල්වා කියලා තියෙනවා.

ලංකාවෙ අධිකරණ ක‍්‍රියාවලිය තුළ ප‍්‍රායෝගිකව පෙනෙන කාරණයක් තියෙනවා. යුක්තිය ඉටුකරගැනීම සදහා යන මාවත මුදල් මත රඳා පවතින දෙයක්. සල්ලි තියෙන අය අධිකරණ ක‍්‍රියාවලිය තුළ බේරිලා යනවා. බන්ධනාගාර වාර්තාවකට අනුව සිරගතව සිටින පිරිසෙන 60‍% තමන්ගේ දඩ මුදල ගෙවාගත නොහැකිව බන්ධනාගාර ගත වූවන්. ඒ වගේම මරණ දඬුවමට නියමවූවන්ගෙන් 90%ක් පළමු වරද නිසා මරණ දඬුවම නියම වූවන්. ඒවගේම කුඩු ගේන්න, එතනෝල් ගෙන්න සම්බන්ධ වුනු දේශපාලකයන් යහතින් ඉන්නවා.

කුඩු පැකට් එකක් දාලා උඹව ඇතුලට දානවා කියලා පොලිසිය තර්ජනය කරන බව අපි කවුරුත් දන්න දෙයක්. මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ සමහර අය මේ විදිහට පොලීසියේ පළිගැනීම්වලට ලක්වූ අය වෙන්නත් පුළුවන්. මරණ දඬුවම දුන්නම අපරාධ අඩුවෙනවා කියලත් මතයක් තියෙනවා. ලෝකෙ අපරාධ අඩු රටවල මරණ දඬුවම නැහැ. අයිස්ලත්නය, නවසීලන්තය, පින්ලන්තය, වගේ රටවල් තමයි අපරාධ අඩු රටවල්. ඒ රටවල දීර්ඝ කාලයක සිට මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන්නෙ නැහැ. අනෙක් අතට ලෝකයේ මරණ දඬුවම ක‍්‍රියාත්මක රටවල්වන චීනය, රුසියාව, නයිජීරියාව, කොරියානු රටවල් සහ අරාබි රටවල අපරාධවල අඩුවීමක් වෙලා නැහැ.

මෛත‍්‍රීපාල ජනාධිපතිවරයා පිලිපීනයට ගිහින් ඇවිත් තමයි එහෙ තියෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දරුණු දඩුවම් දෙන ක‍්‍රමය මෙහෙ ක‍්‍රියාත්මක කරන්න ඕනා කිව්වේ. පිලිපීන ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය නිවාරණය කියලා මරා දමලා තියෙන්නේ ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන්. ඒ ම්ලේච්ඡුත්වයද ලංකාවට ගේන්න යන්නේ කියලා අපි අහනවා.

ජනාධිපතිවරයා ඊයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකදි කතාවක් පවත්වමින් ඇහුවෙ මරණ දඬුවමට විරුද්ධ අය මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් මොනවද කළේ කියලා. අපි තරුණයෝ දේශපාලනය කරමින් ඔවුන්ව කලාවට, ක‍්‍රීඩාවට සහ විවිධ විනෝදාස්වාද කටයුතු සඳහා යොමුකරමින් අපි තරුණයන්ව මත්ද්‍රව්‍යවලින් මුදා ගන්නවා. මෛත‍්‍රීලා වගේ දේශපාලනඥයෝ තමයි ඔවුන් ඉල්ලීම් ඉල්ලූවම කඳුළු ගෑස් ගහලා ඔවුන්ව මත්ද්‍රව්‍ය සඳහා යොමු කරන්න.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න