අනිකාගේ සාක්ෂිය බැඳුම්කර වාර්තාවෙන් වාෂ්ප වෙලා - ලිස්සලද ? උස්සලද ? රවී අහයි

අනිකාගේ සාක්ෂිය බැඳුම්කර වාර්තාවෙන් වාෂ්ප වෙලා - ලිස්සලද ? උස්සලද ? රවී අහයි

ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ රවී කරුණානායකට එරෙහිව සාක්ෂි ලබාදීම සඳහා කැඳවා සාක්ෂි ලබාගත් අනිකා විජේසුරියගේ සාක්ෂි කිසිවක් අදාළ වාර්තාවේ සඳහන් නොවන බව වාර්තා වෙයි.

අදාළ සාක්ෂිය සඳහා ඇය කැඳවනු ලැබුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව චෝදනා එල්ලවූ පාර්ශවයක් වන පර්පෙචුවල් ට්රේෂරිස් සමාගම පාලනය කරන පුද්ගලයින්ටම අයත් අනුබද්ධිත සමාගමක් වන වෝල්ට් සහ රෝ ඇසෝෂියේට්ස් (පෞද්ගලික) සමාගම විසින් කුලිය ගෙවූ කොල්ලුපිටියේ මොනාක්‌ සුපිරි නිවාස සංකීර්ණයේ නිවසක්‌ හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ පවුලේ පාර්ශවයක් විසින් බදු ගැනීම සම්බන්ධව හෙළිකර ගැනීම සඳහාය.

ප්‍රභූ ආරක්ෂාවත් දීලා ගත්ත සාක්ෂියක්

මෙම සිදුවීම ඒ සමයේ මාධ්‍ය හරහාද ඉමහත් ප්‍රසිද්ධියක් ලබාදුන් සිදුවීමක් වූ අතර අදාළ සාක්ෂිකාරිය සහ ඇගේ සොහොයුරාට මරණීය තර්ජන එල්ලවූ බව සඳහන් කරමින් කොමිසමට සම්බන්ධව සිටි නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් සිදුකළ දැනුම්දීමට ඔවුනට ප්‍රභූ ආරක්ෂාව ලබාදීමක්ද සිදුවිය.

සාක්ෂිය නැත්තේ ලිස්සලාද ? උස්සලාද ? -රවී

මේ සම්බන්ධව අප කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සඳහන් කර සිටියේ ආණ්ඩුව පෙරලා දැමීම සඳහා අවශ්‍ය පසුබිම සකසා ගැනීමට තමන්ව අත්අඩංගුවට ගන්නට කියා කුමන්ත්‍රණකාරීන් පුවත් මවන සිදුවීමට අදාළ සාක්ෂිය බැඳුම්කර කොමිසමේ වාර්තාවේ අඩංගු නොවීම බරපතල සැක සංකා මතුකරණ තත්ත්වයක් බවය.

එසේම තමාගේ ප්‍රභූ ආරක්ෂාව ඉවත්කර ඒ වෙනුවට එම සාක්ෂිකාර පාර්ශවයට ප්‍රභූ ආරක්ෂාව දීමට තරම් වැදගත් බව පෙන්වූ සාක්ෂියක් වාර්තාවේ අඩංගු නොවීම සම්බන්ධව තමන් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බවද මන්ත්‍රීවරයා පැවසීය.

එසේම මේ සාක්ෂිය බැඳුම්කර වාර්තාවේ හිල් අතරින් ලිස්සුවාද ඉස්සුවාද යන්න ගැනද සැළකිලිමත් විය යුතු බවත් තමා ඇතුළු පක්ෂයටත්, තම පවුලටත් මඩ ගැසීම හැර එම සාක්ෂියෙන් බැඳුම්කර ගනුදෙනුවට අදාළ විමර්ශනයට ලැබුණු දෙයක් නැති බවද මන්ත්‍රීවරයා පැවසීය. එසේම තම නිර්දෝෂීභාවය බැඳුම්කර වාර්තාවෙන් ඔප්පු වන බවත් ඒ ගැනද අද දිනයේ පාර්ලිමේන්තුවේ දී හෙළිකර සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කෙසේ වුවත් මේ සාක්ෂියට අදාළ සඳහනක් බැඳුම්කර වාර්තාවේ නිර්දේශ වලද සඳහන්ව ඇති අතර එහි සිංහල පරිවර්තනය මෙසේය.

24 වැනි පරිච්ඡේදයේ කළින් ප්‍රකාශ කර ඇති පරිදි, ගරු මන්ත්‍රී රවී කරුණානායක මුදල් ඇමතිවරයාව සිටියදී, ඔහු සහ ඔහුගේ පවුල පදිංචිව සිටි නිවාසය සඳහා බදු මුදල් ගෙවීම පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම හිමි සහ පාලනය කරන පුද්ගලයින්ටම අයත් අනුබද්ධිත සමාගමක් වන වෝල්ට් සහ රෝ ඇසෝෂියේට්ස් (පෞද්ගලික) සමාගම විසින් සිදු කිරීම මගින් ගරු රවී කරුණානායක මන්ත්රීවරයාට සැලකිය යුතු ප්‍රතිලාභයක් අත් වූයේ දැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විභාග කරන කොමිෂන් සභාව සලකා බැලිය යුතු බවට අප නිර්දේශ කර සිටින අතර, ගරු රවී කරුණානායක මන්ත්රීවරයාට එවැනි සැලකිය යුතු ප්‍රතිලාභයක් අත් වූයේ නම්, අල්ලස් පනත යටතේ ඔහුට එරෙහිව සුදුසු පියවර ගත යුතුදැයි තීරණය කරන ලෙසට ද නිර්දේශ කර සිටිමු.

කොමිෂන් වාර්තාවේ විශ්වසනීයත්වයට පලුද්දක්

මේ පිළිබඳ අප කළ විමසීමකට අදහස් දැක්වූ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ද සඳහන් කර සිටියේ අදාළ සාක්ෂිය නොමැති බැවින් විමර්ශන වාර්තාවේ නිර්දේශයද පදනම් විරහිත තැනට වැටෙන බවත් ඒ හරහා බැඳුම්කර වාර්තාවේ විශ්වසනීයත්වයටද හානිවීමේ අවධානමක් ඇති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න