රටම සංවර්ධන වැඩබිමක් කරමින් කළු ජූලිය සුදු කළා - මංගල  

රටම සංවර්ධන වැඩබිමක් කරමින් කළු ජූලිය සුදු කළා - මංගල   

වසර හතළිහකට ආසන්න කාලයක් ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස සැමරූ කළු ජූලිය “සුදු ජූලිය” බවට පත් කිරීමට ආණ්ඩුවට හැකි වූ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ, සංවර්ධන ව්‍යාපෘති 86,000ක් අද රටපුරා ක්‍රියාත්මක බවත්, ඒ නිසාම අද රටම සංවර්ධන කලාපයක් සහ වැඩ බිමක් බවට පත්ව ඇති බවයි.

මංගල සමරවීර අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාතර පල්ලිමුල්ල ප්‍රදේශයේ ඉදි කළ සතොස මෙගා සුපිරි වෙළෙඳසල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (06) එක්වෙමිනි.

විෂය භාර අමාත්‍ය බුද්ධික පතිරණගේ ද සහභාගීත්වයෙන් විවෘත කෙරුණු මෙය ලංකා සතොස වෙළෙඳසල් ජාලයේ 422 වැන්න ලෙස විවෘත කෙරුණු මෙම මෙගා ශාඛාව මෙරට තුන් වැනි සතොස මෙගා ශාඛාව සේ ම දකුණු පළාතේ පළමු වැනි මෙගා ශාඛාව වෙයි.

එහිදී උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

“ඉතිහාසයේ වසර 36ක් 37ක් අපි ජූලි මාසය හැඳින්වුවේ කළු ජූලිය ලෙස. නමුත් අපේ රජය තීරණය කළා ඒක සුදු ජූලිය විදියට වෙනස් කරන්න. ඒ අනුව මේ ජූලි මාසෙ මුල ඉඳල අපි රාජ්‍ය සේවයකයන්ගේ වැටුපට තවත් රුපියල් 2,500ක දීමනාවක් ලබා දෙනවා. අපි බලයට ආපු දවසේ පටන් දෙගුණයකින් විතර වැටුප් ඉහළ ගොස් තියෙන රාජ්‍ය සේවයකන්ට මෙය තවත් සහනයක්. ඒ වගේ ම ජනාධිපති වැටුප් කොමිසමේ නිර්දේශ මත රාජ්‍ය සේවක වැටුප ඉදිරියේ දී තවත් වැඩිවේවි.

ඒ වගේ ම වසර 10ක් 15ක් තිස්සේ මැතිවරණ පොරොන්දු දීල නොමග යැවුණ විශ්‍රාමික ජනතාවගේ වැටුප් විශමතා අපි මේ ජුලි මාසෙ ඉඳල ඉවත් කරල තියෙනවා. ඒ වගේ ම ත්‍රිවිධ හමුදාව විකුණගෙන කාල ජීවත් වුණ පාලනයක් ඉවර වුණත් වසර 20කින් ඔවුන්ගේ දීමනා වැඩි කරල තිබුණෙ නෑ. ගෙවල් කුලී දීමනාව, නිල ඇඳුම් දීමනාව 100% සිට 500% දක්වා මේ ජූලි මාසෙ ඉඳල වැඩි කරල තියෙනවා.

රටේ එක පැත්තකින් යෝධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගය හැදෙනවා, කොළඹ සැහැල්ලු දුම්රිය පද්ධතියට මුදල් වෙන් කරල තියෙනවා. කතරගම දක්වා අධිවේගී මාර්ගය හැදෙනවා. නොවැම්බර් මාසය වෙද්දි අපට හැකි වෙයි කතරගම දක්වා අධිවේගී මාර්ගය විවෘත කරන්න. මහා සංවර්ධන ව්‍යාපෘති ඒ විදියට ඉදිරියට යද්දි ගම්පෙරළිය හරහා ගම සංවර්ධනය වෙනවා.

අද මේ මුළු රටම වැඩ බිමක් බවට පත් වෙලා තියෙනවා. රටම සංවර්ධන කලාපයක් බවට පත් වෙලා තියෙනවා. ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ රටේ මැතිවරණ කොට්ඨාස 160ට ම එක කොට්ඨාසයකට ම රුපියල් කෝටි 30 ගානෙ සංවර්ධනය වෙනුවෙන් ලබා දීල තියෙනවා. ඒ අනුව රට පුරාම විවිධ සංවර්ධන ව්‍යාපෘති 86,000ක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා.

මේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා කිසිදු පක්ෂ පාට බේදයක් අපි සලකන්නෙ නෑ. ඒ මොකද සංවර්ධනයට පක්ෂ පාට බේදයක් නෑ.”

ජල අභිමානී මාතර දිස්ත්‍රික් වැඩසටහන ආරම්භ කෙරේ !

Kotapola 1මේ අතර ජල අභිමානි ජාතික ප්‍රජා ජල ව්‍යාපෘතියේ මාතර දිස්ත්‍රික් වැඩසටහන් මාලාව මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

පානීය ජල ගැටලුවට මුහුණ පා ඇති දිවයින පුරා ගම් 1000ක ජනතාවට ජලය ලබා දීම අදාළ ව්‍යාපෘතියේ අරමුණ වන අතර ඒ සඳහා මාතර දිස්ත්‍රික්කයෙන් තෝරාගෙන ගම් සංඛ්‍යාව 21ක්.

ඉන් ගම් හතරක ප්‍රජා ජල ව්‍යාපෘති ආරම්භ කිරීම මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) සිදු කෙරිණි.

රුපියල් මිලියන 15.64ක වියදමෙන් ඉදිකෙරෙන පිටබැද්දර, මහපොතුවිල ප්‍රජා ජල ව්‍යාපෘතිය, රුපියල් මිලියන 8.49ක වියදමෙන් ඉදිකෙරෙන කොටපොල ළිඳගාවහේන ප්‍රජා ජල ව්‍යාපෘතිය, රුපියල් මිලියන 24.41ක වියදමෙන් ඉදිකෙරෙන සීනිපැල්ල බමුණුගම ප්‍රජා ජල ව්‍යාපෘතිය සහ රුපියල් මිලියන 14.55ක වියදමෙන් ඉදිකෙරෙන මුලටියන බටදොළ ප්‍රජා ජල ව්‍යාපෘතිය ආරම්භ කිරීම අද සිදු විය.

මෙම ව්‍යාපෘති ආරම්ක කිරීම සඳහා වන චෙක්පත් ප්‍රදානය කිරීමට මුදල් අමාත්‍යවරයා අතින් සිදු කෙරිණි. මෙම ව්‍යාපෘති සියල්ල මෙම වසරේ දෙසැම්බර් මස 31 වැනි දාට පෙර ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න