එකිනෙකා චෝදනා කරගෙන රටක් හදන්න බෑ - අගමැති රනිල්

එකිනෙකා චෝදනා කරගෙන රටක් හදන්න බෑ - අගමැති රනිල්

එකිනෙකාට චෝදනා කර ගනිමින් සිට රටක් ගොඩගත නොහැකි බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අද කළ යුත්තේ සියලූ දෙනා එක්ව අලූතින් සිතා රට ගොඩනැගීමට ක්‍රියා කිරීම බව පැවසීය.

කොරියාව, ජපානය, චීනය වැනි රටවල් දියුණු වූයේ ඒ රටවල් විසින්ම ගත් උත්සාහයන් නිසා බවත්, ඒ අනුව අලූතින් සිතා වැඩ කරනවා නම් වසර 5 ක් තුළ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගර කලාපයේ දියුණුම රට බවට පත් කර ගත හැකි බවත් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ රුවන්වැල්ල මැතිවරණ කොට්ඨාශයේ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් විවෘත කිරීමෙන් අනතුරුව රුවන්වැල්ල, රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ පැවැති උත්සවයේදීය.

සංවර්ධන යෝජනා රැසක් ජනතා අයිතියට !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රුවන්වැල්ල “විසල් පානීය ජල යෝජනා ක්‍රමයේ” වැඩ ආරම්භ කිරීම, රුවන්වැල්ල බස් නැවතුම්පොළ හා ක්‍රීඩාංගන වටරවුම් පාර කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ ආරම්භ කිරීම, රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම ඇතුලූ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීමත්, තවත් ව්‍යාපෘති රැසක වැඩ ආරම්භ කිරීමත් සිදු වූ අතර සුලෙයිමානියා මහා විද්‍යාලයේ ඉදිකර තිබෙන නව ගොඩනැගිලි සහ අලූතෙන් එම පාසලට ලබාදිය යුතු පහසුකම් පිළිබඳව සොයා බලමින් එහි නිරීක්‍ෂණ චාරිකාවකට ද එක් විය. අනතුරුව රුවන්වැල්ල මැතිවරණ කොට්ඨාශයේ යොවුන් පෙරමුණු සාමාජික සාමාජිකාවන් සමග පැවැති හමුවකට ද එක් වූ වික්‍රමසිංහ මහතා දැරණියගල සිරි සමන් මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම, දැරණියගල බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම, කොස්ගස් කන්ද මහා විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම එහිදී සිදුවිය.

රුවන්වැල්ල, රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ පැවැති උත්සවය අමතා තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

සූදානමෙන් ඉදිරියට යමු !

“21 වැනි ශත වර්ෂයට අවශ්‍ය ආර්ථික දියුණුව ඇති කිරීම අපේ අරමුණ වී තිබෙනවා. 2050 වන විට තාක්‍ෂණයේ කොපමණ දියුණුවක් ඇතිවේ දැයි කියා අප කිව නොහැකියි. නමුත් අද සිටම එයට අප සූදානම්ව ඉදිරියට යා යුතුයි.

අද මේ රට මුහුණපා සිටින ණය බරින් මිදීමට නම් අපේ අපනයන දියුණු කළ යුතුයි. ජපානය, චීනය, කොරියාව වැනි රටවල් අපනයන තුළින් දියුණුවට පත් වුණා. එපමණක් නොව, ථෙරවාදී බෞද්ධ රටක් වන තායිලන්තය ද ආයෝජන ලබා ගෙන දියුණු වුණා. බෞද්ධ රටක් ලෙස අප ද ඒ දියුණුව අත්පත් කර ගත යුතුයි.

අපේ ප්‍රශ්නවලින් අපම ගොඩ ආ යුතුයි. වෙනත් රටවල් අප ගොඩගන්නේ නැහැ. අනාගතය දෙස බලා එකට එකතු වී ඉදිරියට යාමට අපට ශක්තියක් තිබිය යුතුයි. අප හැමදාම එක තැන ඉන්නවා නම්, අප හැමදාම අතීතය ගැන පමණක් කතා කරනවා නම්, ජාතිකත්වයෙන් ක්‍රියා නොකර ආගම් බේද, ජාති බේද ඇති කරනවා නම් එයින් අවාසියක් සිදු වන්නේ ශ්‍රී ලංකාවටයි.

දැන් අප කළ යුත්තේ සියලූ පාර්ශ්ව එකතු වී අලූතින් සිතා ඉදිරියට යාමයි. ඒ ගමනේ දී රටත් අලූතින් සිතිය යුතුයි. අපි වැනි දේශපාලනඥයොත් අලූතින් සිතිය යුතුයි. එකිනෙකාට බැණ බැණ සිටීමෙන් ඵලක් වන්නේ නැහැ.

රටේ ශිෂ්‍ය පරපුරට හොඳ අනාගතයක් ලබා දීම සඳහා අපේ යුතුකම වන්නේ සියලූ දෙනා එකට එකතු වී අපිම අපේ රට ගොඩනැගීමයි. ලොව වෙනත් රටවල් ඒ රටවල උත්සාහයෙන් ගොඩනැගී තිබෙනවා. ඒ අනුව අපි සියලූ දෙනා එකට එක්ව අලූතින් සිතා වැඩ කරනවා නම් වසර 5 ක් යන විට ශ්‍රී ලංකාව ඉන්දීය සාගර කලාපයේ පොහොසත්ම රට බවට පත් කර ගත හැකියි.

අගමැතිගේ වැඩ තුසිතා කියයි !

මෙහිදී අදහස් දැක්වූ රුවන්වැල්ල එක්සත් ජාතික පක්‍ෂ ප්‍රධාන සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී වෛද්‍ය තුසිතා විජේමාන්න කියා සිටියේ ඉතිහාසයේ කිසිඳු ආණ්ඩුවක් සිදු නොකළ සංවර්ධනයක්, ගත වූ වසර කිහිපය තුළ වත්මන් ආණ්ඩුව විසින් සිදු කර තිබෙන බවය.

වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එදා අධ්‍යාපන ඇමැතිවරයා ලෙස ගත් පියවර නිසා මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ පිම්මක් පැනීමට හැකි වූ බවත්, අද එතුමා උත්සාහ කරන්නේ නව තාක්‍ෂණ දැනුමෙන් මේ දරු පරපුර සන්නද්ධ කර 21 වන සියවසට යොමු කරවීම බවත් තුසිතා විජේමාන්න පෙන්වා දුන්නාය.

මෙම අවස්ථාවන්ට එක්සත් ජාතික පක්‍ෂ සභාපති සහ මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම්, නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන, ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති හියොන් ලී, දැරණියගල එක්සත් ජාතික පක්‍ෂ සංවිධායක හා පළාත් සභා මන්ත්‍රී රංජිත් පොල්ගම්පොළ ඇතුලූ ප්‍රදේශයේ දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න