Language Switcher

V2025

වටේ යන්න ගිය දයාසිරි : තේරීම් කාරක සභාවෙන් හොඳට අහගනී !

පාස්කු ඉරිදා දිනයේදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව අයි එස් අයි එස් සංවිධානය විසින් සැලසුම් කරන ලද්දක් බවට තමන් තවමත් නොපිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු විශේෂ තේරීම් කමිටුව හමුවේ පැවසීය.

සාක්ෂි සටහන් කර ගැනීම සඳහා ඔහු එම කමිටුව හමුවට බදාදා (ජූලි 10) කැඳවා තිබුණේ, කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි බෝම්බකරු, බෝම්බය පුපුරුවා නොගෙන ආපසු යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු පළ කළ අදහස් පිළිබඳව කරුණු විමසීමටය.

දයාසිරි ජයසේකර මීට පෙර පවසා තිබුණේ, ටාජ් සමුද්‍ර හෝටලයට බෝම්බකරු පැමිණි අවස්ථාවේ එම හෝටලයේ සිටි පුද්ගලයින් කවුරුන් ද යන්න සොයා බැලුවහොත් කරුණු හෙළි වනු ඇති බවය.

එහෙත්, මෙහිදී කළ ප්‍රශ්න කිරීම් හමුවේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරුණු තමන් සතුව නොමැති බවය. එම අවස්ථාවේ එහි සිටි පුද්ගලයින් පිළිබඳව සොයා බලන ලෙස පමණක් තමන් කී බව ඔහු පැවසීය.

"මෙතන ඇවිත් දේශපාලන කතා කරන්න එපා

111මෙහිදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළේ, අයි එස් සංවිධානය මෙම ප්‍රහාර පිටුපස සිටින බව බුද්ධි අංශ පැවසුව ද ඒ බව තවමත් තමන් පිළිනොගන්නා බවය.

මෙම ප්‍රහාර සඳහා විදෙස් බලවේගවල සම්බන්ධයක් ඇතැයි පාර්ලිමේන්තුවේදී දේශපාලනඥයින් අදහස් දක්වන බව ද ඔහු පැවසීය.

එහිදී රවී කරුණානායක අමාත්‍යවරයා පැවසුවේ, "මෙතන ඇවිත් දේශපාලන කතා කරන්න එපා. අනිත් අය කියන දේවල් කියන්නෙ නැතුව කරුණාකරලා හරියට නිශ්චිතව කතා කරන්න," යනුවෙනි.

ඒ සම්බන්ධයෙන් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ප්‍රශ්න කළේ මෙසේය.

"දැන් ඔබ කියන්නේ ටාජ් හෝටලයේ සිද්ධිය ගැන පැහැදිලි කරුණු කියන්න බැහැ, පුළුල් පරීක්ෂණයක් කරන්න කියන එක ද? ඒ ගැන කරුණු සහිතව තහවුරු කරන්නම් කියල කියපු එක ගැන මොකද කියන්නේ? එදා කියලා තියෙනවා කාරණා සහිතව කියන්න පුළුවන් කියලා. ඒත් දැන් කියනවා එහෙම බැහැ කියලා."

ඊට පිළිතුරු දෙමින් ඔහු ප්‍රකාශ කළේ තමන් පළ කළ අදහසක කොටසක් පමණක් ගෙන 'දි අයිලන්ඩ්' පුවත්පතේ පළ කර තිබූ බවය.

ආරක්ෂක මණ්ඩලය
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ විමසා සිටියේ, ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට සහභාගි වන ලෙස ඔහුට ආරාධනා කළේ කවුරුන් ද? යනුවෙනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ට ඒ සඳහා ආරාධනා කළ බවත් රටේ ආරක්ෂාව පිළිබඳව තීන්දු ගන්නා එම රැස්වීමට තම පක්ෂයේ නායකයා වන ජනාධිපතිවරයා තමන්ට විශ්වාසවන්ත පුද්ගලයින් සහභාගි කර ගැනීම වරදක් නොවන බවත්ය.

එහෙත්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසුවේ, "ජනාධිපතිට හිතෙන හිතෙන අය කැඳවන්න බැහැ. ආරක්ෂක කවුන්සිලයේ සාකච්ඡා වෙන්නේ ආරක්ෂාව පිළිබඳ සංවේදී තොරතුරු. රජය පමණක් දැනගත යුතු කරුණු. ඒවා විපක්ෂයට යා යුතු නැහැ," යනුවෙනි.

ඊට පිළිතුරු දෙමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැවසුවේ, ජනාධිපතිවරයා සහ රජය අතර පවත්නා තත්ත්වය සැලකිල්ලට ගත යුතු බවත් විරුද්ධ පක්ෂයේ පුද්ගලයින් ආරක්ෂක කවුන්සිලයට කැඳවීම නොකළ යුතුයැයි කිසිදු තැනක නොමැති බවත්ය.

"එහෙම කතා කරන්න ඕන නම් ජනාධිපතිට වෙන ම රැස්වීමක් තියන්න පුළුවන්. ඒත් ආරක්ෂක කවුන්සිලයේ ඉන්න ඕන රජය පමණක්," බව සරත් ෆොන්සේකා පැවසීය.

(බීබීසී)