වෛද්‍ය සාෆිට එරෙහි රැඳවුම් නියෝග අවලංගුයි : සාක්ෂි ප්‍රමාණවත් නෑ !

වෛද්‍ය සාෆිට එරෙහි රැඳවුම් නියෝග අවලංගුයි : සාක්ෂි ප්‍රමාණවත් නෑ !

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි අද(11) දින කැඳවූ අතර රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ෂාෆි වෛද්‍යවරයා ද අධිකරණය වෙත රැගෙන එනු ලැබීය.

එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කියා සිටියේ ත්‍රස්තවාදී සංවිධානයකින් මුදල් ලබාගෙන එම ත්‍රස්ත කටයුතු ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළේ යැයි ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව ඇති චෝදනාව සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම නිසා ඒ පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයට වාර්තා කිරීමෙන් පසු ඊයේ(10) ඔහුට එරෙහිව මාස තුනකට ලබාදී තිබූ රැඳවුම් නියෝගය අවලංගු කළ බවයි.

ඔහුට එරෙහිව ඉදිරිපත් වී තිබූ අයථා වත්කම් චෝදනාව පිළිබඳව තවදුරටත් විමර්ශනය කරන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.

එමෙන්ම අයථා ලෙස මුදල් උපයාගෙන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වන වැරදි සිදුකළ බවට සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ හැකි කරුණු මේ දක්වා ඔහුට එරෙහිව ඉදිරිපත් වී නැති නමුත් තවදුරටත් විමර්ශන කරන බව ද ඔහු දැනුම් දුන්නේය.

ෂාෆි වෛද්‍යවරයා විසින් කුරුණෑගල රෝහලේදී සැක සහිත සිසේරියන් සැත්කම් සිදුකළ බවට මව්වරුන් 850 කට අධික පිරිසකගෙන් පැමිණිලි ලැබී ඇති අතර එම මව්වරුන්ගෙන් වෙන් වෙන්ව ප්‍රකාශ සටහන් කර, රෝහලේ ඇති ඇද ඉහපත් ලබාගෙන සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකළ යුතුව ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා සඳහන් කළා.

පසුගිය වසර කිහිපයේ එම රෝහලෙන් වෙනත් වෛද්‍යවරුන් වෙන් වෙන්ව සිදුකළ සිසේරියන් සැත්කම් පිළිබඳ වාර්තාගෙන ඒ වෛද්‍යවරුන් කරනු ලැබූ සැත්කම් ගැන සහ එහිදී ඇති වී ඇතැයි කියන සංකූලතා පිළිබඳ වාර්තාවක් සකස් කළ යුතු බවත්, ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම ෂාෆි වෛද්‍යවරයාගෙන් සැත්කම් කර ගැනීමෙන් පසු වසර දෙකක් ඉක්මයනතුරුත්, දරුවන් නොමැති බවට පැමිණිලි කළ මව්වරුන් 147 දෙනා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ලබා දුන් උපදෙස් පරිදි SHG පරීක්ෂාවක් අනිවාර්යයෙන් සිදු කිරීම සඳහා නියෝගයක් කරන ලෙසත්, ඔහු ඉල්ලා සිටියේය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ වෛද්‍ය ෂාෆිට එරෙහිව කුරුණෑගල රෝහලට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති පැමිණිලි කිසිවෙකු විසින් ඉල්ලා අස්කර ගෙන ඇත්නම් එය ඉදිරි විමර්ශන කටයුතුවලට බාධාවක් බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයා සඳහන් කළේ කිසිවෙකු මෙතෙක් එවැනි ඉල්ලා අස්කර ගැනීමක් සිදුකර නොමැති බවයි.‍

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න