Language Switcher

V2025

බැසිල් ඇතුළු පිරිසකට ළඟදීම නඩු පිට නඩු !

බරපතළ වංචා දූෂණ සහ රාජ්‍ය සම්පත් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව අධ්‍යයනයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙයි.

නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතාගේ උපදෙස් මත මෙම අධ්‍යයනය සිදුකරගෙන යනු ලැබේ.

මේ පිළිබඳව 'දිනමිණ' පුවත්පටහ කළ විමසීමකදී නීතිපතිවරයා පවසා ඇත්තේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ජනාධිපති පරීක්ෂණ කොමිසම භාරදී තිබෙන කොමිසමේ නිර්දේශ ඇතුළත් වාර්තා අටක් ඉදිරි නීතිමය පියවර ගැනීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා නීතිපතිවරයා වෙත භාරදී තිබෙන බවයි.

එම පරීක්ෂණ වාර්තා අට තුලදේශපාලනඥයන් ඇතුළු සභාපතිවරුන්, අධ්‍යක්ෂවරු කිහිපදෙනකු පිළිබඳව ද සඳහන්ව තිබෙන බව පවසන නීතිපතිවරයා, ඒ අනුව එම වාර්තා අට සහ අදාළ පුද්ගලයින්ට එරෙහිව ඉදිරි නීතිමය පියවර ගැනීමට අධ්‍යයනය සිදුකරගෙන යන බව එම පුවත්පතට වැඩිදුරටත් පවසා තිබේ.

එම වාර්තා අටට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනය, උතුරුමැද පළාත් සභාව, මහනුවර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය, රූපවාහිනී සංස්ථාව, ජාතික ගමනාගමන කොමිසම, ජාතික තරුණසේවා ‍සභාව අයත් වෙති.

රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වන විමලසේන රූබසිංහ, අධ්‍යක්ෂක චන්ද්‍රපාල ලියනගේ, ජාතික ගමනාගමන කොමිසමේ සභාපති රේණුක දුෂ්යන්ත පෙරේරා, තරුණසේවා සභාවේ හිටපු සභාපතිවරයකු වන ලලිත් පියුම් පෙරේරා මහත්වරු ඇතුළු තවත් කිහිපදෙනෙකු පිළිබඳත් එම වාර්තා අටේ සඳහන් වන අතර ඔවුන් සම්බන්ධවත් නීතිමය අධ්‍යයනය සිදුකරගෙන යනු ලැබේ.

මෙම වාර්තා අට දැනට සති දෙකකට පමණ පෙර නීතිපති දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.