Language Switcher

V2025

විරෝධතාවයට වසරක් ; අතුරුදහන්වුවන්ට දුන් පොරොන්දු හමස් පෙට්ටියේ (වීඩියෝ)

යුද සමයේ හමුදාවට භාරවී ආගිය අතක් නැතියවුන් සොයා දෙන ලෙස ඉල්ලමින් පසුගිය වසරේ ආරම්භ කළ මාරාන්තික උපවාසයට වසරක් ගතවී ඇතත් තවමත් ගැටලුවට විසදුම් නොලැබීමට විරෝධය දක්වමින් අතුරුදහන්වුවන්ගේ පවුල් වල ඥාතීන් විසින් වව්නියාවේදී විරෝධතාවයක් පවත්වා තිබේ.

වව්නියාව තැපැල් කාර්යාලය ඉදිරිපිටදී 23 අඟහරුවාදා විරෝධතාවයේ යෙදුන අතුරුදහන්වුවන්ගේ පවුල් වල ඥාතීන් පවසා ඇත්තේ 2017 වසරේ ජනවාරි 23 වන දින මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමෙන් පසු සති දෙකක කාලයක් තුළ තම ගැටලුවට විසදුම් ලබා දෙන බවට රජයේ බලධාරීන් දුන් පොරොන්දු මේ වන තෙක් ඉටු කර නොමැති බවයි.

දෙමල සන්ධානයත් නිහඬයි :

අතුරුදහන් කොට තිබෙන තම නෑසියන් වෙනුවෙන් යුක්තිය ඉටුකරවා ගැනීම සදහා සහාය ලබා දෙන බව පවසමින් දෙමළ ජාතික සන්ධානයේ දේශපාලඥනයන්ද තම ඡන්ද ලබා ගත්තද මේ වන විට ඔවුන්ද නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බවට විරෝධතා කරුවන් එහිදී චෝදනා කර තිබේ.

තම සමීපතමයන්ට අත්වු ඉරණම දැනගන්නා තෙක් අඛණ්ඩව උපවාසයේ නිරත වන බවට අවධාරණය කර ඇති ඔවුන් වැඩි දුරටත් පවසා ඇත්තේ මේ වසරේ පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් කොමිසම වෙතද තම ගැටලුව ඉදිරිපත් කරන බවයි.

රුවන්ගේ බොරු පොරොන්දු !

අතුරුදහන් වූවන්ට සිදුවූ දේ සොයා ගන්නා තුරු නොනැගිටින බවට ශපත කරමින් පසුගිය වසරේ උපවාසයක් ආරම්භ කර දෙසතියක් ඇතුලත අගමැතිවරයා, නීතිපතිවරයා සමග අරලියගහ මන්දිරයේදී මුණ ගස්වන බවට රජය විසින් දෙන ලද සහතිකයකින් අනතුරුව දින හතරක් සපිරෙන මාරාන්තික උපවාසය තාවකාලිකව අත්හිටුවීමට විරෝධතා කරුවන් එකඟ වී තිබුනි.

වව්නියාවේදී උපවාසය පැවැති ස්ථානයට රජයේ නියෝජිතයා ලෙස ගිය වසරේ ජනවාරි 26 බ්‍රහස්පතින්දා ගිය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සිංහල සහ දෙමළ බසින් ලිඛිතව පොරොන්දු වී තිබුනේ 2017 වසරේ පෙබරවාරි 09 දා තමන්ද සමග උපවාසකරුවන්ට අගමැතිවරයා සහ නීතිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දීමට කටයුතු කරන බවයි.

එහිදී උපවාසිකයන් සියලු දෙනා හට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ජලය පොවමින් උපවාසය අවසන් කරන්නට ඥාතීන් එකඟ කරවා ගත්තේය.

අගමැති නීතිපති නො එති:

කෙසේ වෙතත්, නියම කරන ලද පරිදි කොළඹ ගිය ඥාති පිරිසගේ බලාපොරොත්තු කඩ කරමින් ඔවුන් හමුවට අගමැතිවරයා හෝ නීතිපතිවරයා පැමිණ නැත.

ඒ වෙනුවට මාරාන්තික උපවාසයේ නිරතව සිටි 14 දෙනාගේ ඥාතීන් පමණක් සොයා ගැනීමට පොලිස්පති නායකත්වයෙන් යුත් විශේෂ කොමිසමක් යෙදවීමට රජය කර ඇති යෝජනාවට දැඩි විරෝධය පාමින් උපවාසිකයන් පවසා ඇත්තේ තම අරමුණ වූයේ අතුරුදහන් සියලු දෙනාගේ ඉරණම හෙළි කර ගැනීම බවයි.

(radiogagana)