ධනපතියන්ට සහ මුදලිවරුන්ට පමණක් මෙතෙක් කල් සීමාවී තිබූ ඉඩම් අයිතිය රටේ පොඩි මිනිහාටත් ලබාදීම එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තිය බවත් ඒ යටතේ රටපුරා සාමාන්‍ය ජනතාවට ඉඩම් ඔප්පු දස ලක්‍ෂයක් ලබාදීමේ ජාතික වැඩසටහන ආරම්භ කර තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවැසීය.
ඉඩම් ඔප්පු ලබාදීම යටතේ රටේ සාමාන්‍ය ජනතාවට තමන්ගේම ඉඩමක් ආඩම්බරයෙන් භුක්ති විඳීමට හැකි පරිසරය එක්සත් ජාතික පක්‍ෂය විසින් සකසා තිබෙන බවත් ඉදිරියේදී රජයේ ඉඩම්වල වසර 10 ක් අඛණ්ඩව ජීවත් වූ ජනතාවට සින්නක්කර අයිතිය ලබාදීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
අද (13) නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාපිටියේ පැවැති ඉඩම් ඔප්පු බෙදාදීමේ වැඩසටහනට එක්වෙමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද කීය.
"2015 වසරේ අප ආණ්ඩු බලය භාරගත් පසු ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන ආරම්භ කළා. අද අපි එම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරමින් සිටිනවා. මෙහි මීළඟ අදියර වන්නේ රටේ සාමාන්‍ය ජනතාව වන ඔබට ඔබේම ඉඩමේ සින්නක්කර අයිතිය ලබාදීමයි. වසර 10 ක් අඛණ්ඩව රජයේ ඉඩමක් භුක්තිය විදි ඔබට මෙම ඉඩම සින්නක්කරවම පවරාදීමට අපි කටයුතු කරනවා. ඒ හරහා තමන්ගේම ඉඩමක් ආඩම්බරයෙන් භුක්ති විඳීමට ඔබට හැකියාව ලැබෙනවා.
අද සිට ඔබට කිසිවෙකු පිටුපස යන්නට සිදුවන්නේ නැහැ. ඉඩම් බලපත්‍රය ඉඩම් ඔප්පුවක් කර ගැනීමට කාටවත් මුදල් ලබාදෙන්නට සිදු වන්නේ නැහැ. තමන්ගේ ඉඩමට ඔප්පුවක් නොමැති වීමෙන් ඔබට අනාගතය පිළිබඳ විශාල සැකයක් තිබුණා. නමුත් අපේ රජය යටතේ ඔබට අනාගතය පිළිබඳ වූ සැකය දුරුකර තිබෙනවා.
අපේ ආණ්ඩුව යටතේ රටේ පොඩි මිනිහාටත් ඉඩම් අයිතිය ලබාදීමේ ව්‍යාපාරය අපි ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ රට පුරා මෙම වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා.
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රටේ විවිධ ව්‍යාපාර ආරම්භ කිරීමට මුදල් ලබාදීමට අපේ ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගෙන් ආරම්භ වූ වෙළෙඳ ආර්ථික ක්‍රමය වත්මන් එක්සත් ජාතික පක්‍ෂ රජය යටතේ සාර්ථකව ඉදිරියට ගෙන යනවා."
එහිදී අදහස් දැක්වූ රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තු සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසූයේ බ්‍රිතාන්‍ය පාලකයින් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව කන්ද උඩරට සහ මේ ප්‍රදේශවල ජනතාවගේ ඉඩම් වතු පාලනයට යට වුණා. නිදහසින් පසු සියලූම රජයන් ජනතාවට ඉඩම් ලබාදීමට කටයුතු කර තිබුණත් එහි විශාල අඩුපාඩුවක් තිබුණා. එනම් එම ලබාදෙන ඉඩම් ඔප්පු සඳහා නිසි ඔප්පුවක් නොතිබීමයි.
ණයක් ගන්න, ව්‍යාපාරයක් ආරම්භ කිරීම, දරුවෙකුට දෑවැද්දකට ලබාදීම ආදී කිසිම ප්‍රයෝජනයක් එම ඉඩමෙන් ගැනීමට අපේ ජනතාවට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් අද අපේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගයන්ත කරුණාතිලක ඇමැතිතුමා මෙම ජනතාවට ඉඩම් ඔප්පු ලබාදීමට කටයුතු කර තිබෙනවා.
16 වන සිවසේ සිට මුස්ලිම් ජනතාව ශ්‍රී ලංකාවේ ජීවත් වුණා. මෙය තමයි අපේ ඉතිහාසය. අතීතයේ සිට සුළු ජාතීන්ට සැලකීම පිළිබඳව අප ආදර්ශ ලබාදී තිබෙනවා. නමුත් මැදමූලන දර්ශනය තුළ නම් සුළු ජාතීන්ට සලකන ආදර්ශය නොමැති බව අද අපට පෙනී යනවා.
ශ්‍රී ලාංකීක අනන්‍යතාවය මත සියළු ජාතීන් ඉදිරියට යා යුතුයි. එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තිය එයයි. ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් විය යුතු බවත් මෙහිදී පැවසිය යුතුයි.
මෙම අවස්ථාවට සහභාගී වෙමින් ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මෙසේ පැවසීය.
"අග්‍රාමාත්‍යතුමා දස ලක්ෂයක ඉඩම් ඔප්පු දෙන ජාතික වැඩසටහන ක්‍රියාවට නංවන බවට ඔබට පොරොන්දු වුණා. අපි සීඝ්‍රයෙන් එම වැඩකටයුත්ත සාර්ථක කරගනිමින් ඉදිරියට යනවා. ඉදිරි මාස කිහිපය තුළ මෙම කටයුත්ත සාර්ථකව අවසන් කිරීමට අපි කටයුතු කරනවා. අගමැතිතුමා ලබාදුන් තවත් පොරොන්දුවක් වන්නේ රජයේ ඉඩමක් වසර 10 ක් අඛණ්ඩව භුක්තිය විදි ඔබට සින්නක්කර අයිතිය ලබාදීමයි. අපි එම වැඩකටයුත්තත් අපි ඉදිරියේදී ඉටු කරනවා.
ඔබේ ඉඩමේ නියම අයිතිය ලැබීමට නම්, පාසලට දරුවා ඇතුළත් කිරීමට නම්, බැංකුවකට යෑමට නම් ඔබට ඔප්පුවක් අවශ්‍යයි. අද අග්‍රාමාත්‍යතුමාගේ ඉඩම් ඔප්පු දස ලක්‍ෂයේ ඉලක්කය නිසා ඔබේ එම වැඩකටයුතු සාර්ථක වී තිබෙනවා. අද ඔබට අභිමානයෙන් ජීවත්වීමට අවශ්‍ය වාතාවරණය එතුමාගේ ප්‍රධානත්වයෙන් අපි සකසා දී තිබෙනවා."
එම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්, නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන, එක්සත් ජාතික පක්‍ෂ නාවලපිටිය වැඩබලන සංවිධායක සහ නාවලපිටිය නගරාධිපතී සසංක සංජීව සම්පත්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති සිරිමල් ප්‍රමුඛ දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු ඉඩම් හිමිකම්පත් ලාභීන් රැසක් ද සහභාගීවි සිටියහ.

