Language Switcher

V2025

හොරු ඇල්ලීමේ බලය අපිට තිබුණා නම් මහින්ද ඇතුළු නඩේම හිරේ - ජවිපෙන් සැර උත්තරයක්

වත්මන් ආණ්ඩුව වංචා දූෂණ සෙවීමට පත්කළේ යැයි මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කරන ‘දූෂණ විරෝධී කමිටු’ හෝ ‘හදිසි වැටලීම් ඒකක’ ජවිපෙ නායක අනුර දිසානායක සහෝදරයාගේ හෝ අප පක්‍ෂයේ ‘අධීක්‍ෂණය’ යටතේ තිබුණේ නම් මහින්ද ඇතුළු ඔහුගේ දූෂිත නඩයට අනුනට අවලාද නගන්නට අවස්ථාව අහිමිවන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අත්සනින් 2018 ජනවාරි 21දා තම සහිතව ”යහපාලන විපක්‍ෂයේ භූමිකාව” නමින් නිකුත්කළ මාධ්‍ය නිවේදනයට ප්‍රතිචාර දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ මේ බව සඳහන් කර ඇත.

එසේම අදත් මහා පරිමාණ වංචා, දූෂණ හා අපරාධ සිදුකොට නිදැල්ලේ සිටීමට සමහරුන්ට හැකිවී තිබෙන්නේ වංචා, දූෂණ සෙවීමේ කටයුතු නමට පමණක් කෙරෙන බොරු සංදර්ශනවලට සීමාවී ඇති නිසා බවත් ඒ පිළිබඳ යටි සිතින් සතුටු වන මහින්ද රාජපක්ෂ ජවිපෙ ඉලක්ක කර වියරු ප්‍රකාශ නිකුත් කරන තැනකට වැටී සිටීම ඉතාම ඛේදජනක අනුකම්පා සහගත තත්ත්වයක් බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

ජවිපෙ නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහත දැක්වේ.

සත්‍ය විකෘති කරලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අත්සනින් 2018 ජනවාරි 21දා තම සහිතව ”යහපාලන විපක්‍ෂයේ භූමිකාව” නමින් මාධ්‍ය නිවේදනයක් පළකොට තිබේ. මෙම මාධ්‍ය නිවේදනය සත්‍ය කරුණු විකෘති කිරීම්වලින්, බොරු හා අවලාදවලින්, හා ප‍්‍රතිවිරෝධී අදහස්වලින් පිරී පවතින්නකි. මෙම නිවේදනය මගින් මහින්ද රාජපක්‍ෂ මහතා ඒකපාර්ශ්වීය ලෙස ඉදිරිපත් කර තිබෙන අවලාදයන් පිළිබඳව මුහුණට මුහුණලා ප‍්‍රසිද්ධ විවාදයකට අප සූදානම්ය. එහෙත් එවැන්නකට කිසිදා නිසැක ලෙස ඔහු සහභාගි නොවන නිසාත් සත්‍යය දැනගැනීමේ අයිතියක් ජනතාවට ඇති නිසාත් එම නිවේදනය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රතිචාරය මේ නිවේදනය තුළින් පළකිරීමට අපි අදහස් කළෙමු.

පොදුවේ ගත්විට හිටපු ජනාධිපතිවරයාට තමන්ගේ අත්සනින් මෙවැනි අවලාදමය ලියවිල්ලක් නිකුත් කිරීමට සිදුව ඇත්තේ, මහින්ද රාජපක්‍ෂ මහතා හා ඔහුගේ කණ්ඩායම වත්මන් පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය තුළ ලබා තිබෙන බරපතළ පසුබෑමත් ජන්ද ව්‍යාපාරය තුළ ජනතා විමුක්ති පෙරමුණ වෙත පළවෙමින් ඇති ජනතා ආකර්ෂණය හා සහයෝගයත් නිසා බව පැහැදිලිය. සැබැවින්ම දැන් මහින්ද රාජපක්‍ෂ මහතා හා ඔහුගේ දූෂිත කණ්ඩායම පත්ව තිබෙන තත්ත්වය ඉතාම ඛේදජනක අනුකම්පා සහගත තත්ත්වයක් වන අතර ඔහුගේ නිවේදනය එම තත්ත්වයේ වියරු ප‍්‍රකාශනයකි.

ජවිපෙට තනතුරු අදාළ නෑ

කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිවේදනයේ සඳහන් ඒ ඒ කරුණු සඳහා වෙන වෙනම පැහැදිලි කිරීම වඩාත් හොඳ යැයි අපි සිතමු. හිටපු ජනාධිපතිවරයාගේ ලිපියේ පළමු කරුණ වන්නේ, වත්මන් පාර්ලිමේන්තුව තුළ විපක්‍ෂයේ තනතුරු දෙමළ සන්ධානයට හා ජවිපෙට ලැබීම පිළිබඳවය. වත්මන් පාර්ලිමේන්තුවේ ජනතාවගේ විපක්‍ෂයේ සැබෑ භූමිකාව නියෝජනය කරන්නේ ජවිපෙය. එය සත්‍යය දන්නා ජනතාව දනී. එම කාර්යය ඉටු කිරීමේදී ජනතා විමුක්ති පෙරමුණ තනතුරු අදාළ නැත.

පාර්ලිමේන්තුව විකෘති කළේ මහින්දගේ නඩේ

මන්තී‍්‍ර ධුර 06ක් සහිත ජවිපෙට විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරය හිමිවීමේ වත්මන් පාර්ලිමේන්තු සංයුතිය ඔහු අමතක කර ඇත. එනම් 2015 අගෝස්තු මහ මැතිවරණයෙන් පසුව පැවැත්වූ පළමු පාර්ලිමේන්තු දිනයේම මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදේශකත්වයෙන් යුත් ශී‍්‍රලනිපයත් මහින්ද රාජපක්‍ෂ මහතා සාමාජිකත්වය දැරූ එජනිස සන්ධානයත් ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් වූ නිසාය. ශී‍්‍රලනිපය හා සන්ධාන ලේකම්වරු තමන් ආණ්ඩුවේ කොටස්කරුවන් වන බවට කථානායකවරයාට ලිපි මගින් ලබාදී මෙම ආණ්ඩුවට එක්ව සිටී. දෙමළ සන්ධානය වෙත විපක්‍ෂ නායක ධුරය හිමි වූයේද විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධූරය ජවිපෙට හිමිවූයේද ඒ අනුවය. ආණ්ඩුවක් පිහිටුවීමට ජනතා වරමක් නොලද එජාපයට ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට උදව් කළේ කවුද? ඒ, ජනතා විමුක්ති පෙරමුණ නොවේ. මහින්ද රාජපක්‍ෂ මහතා උපදේශකත්වය දරන කරන ශී‍්‍රලනිපයත් සන්ධානයත්ය. වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයෙන් අඩක් නියෝජනය කරන්නේ, කවුද? ජනාධිපතිවරණය්දී මහින්ද රාජපක්‍ෂ මහතා දිනවීමට කටයුතු කළ, මහ මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ එක්ව තරග කළ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුවේ ප‍්‍රබල ඇතිකම් දැරූ අයය. තමන්ගේ පක්‍ෂය පාලනය කර ගැනීමට නොහැකිවූ රාජපක්‍ෂ මහතා ඒ වෙනුවට සත්‍යය සඟවා ජවිපෙට අවලාද නැගීම හාස්‍යජනකය. එය ඔහු වැනි හිටපු ජනාධිපතිවරයෙකුට තරම් නොවේ. මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කරන පාර්ලිමේන්තුවේ විකෘතිය නිර්මාණය කර තිබෙන්නේ, මහින්ද රාජපක්‍ෂ මහතා දැනටත් නායක වගකීම් දරන, මන්තී‍්‍ර ධුර දරන ශී‍්‍රලනිය මිස ජවිපෙ නොවේ.

මහින්ද - අගමැති ඩීල්

එසේම ලංකාවේ වංචා දූෂණ හා අපරාධ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වූ ආයතන ගැනද හිටපු ජනාධිපතිවරයා තම නිවේදනයෙන් නන්දොඩවා තිබේ. වත්මන් ආණ්ඩුව වංචා දූෂණ සෙවීමට පත්කළේ යැයි මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කරන ‘දූෂණ විරෝධී කමිටු’ හෝ ‘හදිසි වැටලීම් ඒකක’ ජවිපෙ නායක අනුර දිසානායක සහෝදරයාගේ හෝ අප පක්‍ෂයේ ‘අධීක්‍ෂණය’ යටතේ තිබුණේ නැත. එවැනි මෙහෙයවීමේ, අධීක්‍ෂණය කිරීමේ අධිකාරි බලයක් තිබුණේ නම් මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ඔහුගේ කණ්ඩායමේ සිටින අපරාධකරුවන්ට හා දූෂිතයන්ට මෙලෙස නිදහසේ අනුන්ට අවලාද එල්ල කරමින් සිටීමට හැකිවන්නේ නැත. වංචා දූෂණ සෙවීමට සහායදීම සඳහා අගමැතිවරයා විසින් පිහිටවූ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය විසුරුවා හැරියේ අගමැතිවරයා විසිනි. ඒ අගමැතිවරයා හා මහින්ද රාජපක්‍ෂ මහතා අතර ඇතිවූ ‘එකඟතාවක්’ නිසා බව සත්‍යය දන්නා සියල්ලෝ දනිති. අදත් මහා පරිමාණ වංචා, දූෂණ හා අපරාධ සිදුකොට නිදැල්ලේ සිටීමට සමහරුන්ට හැකිවී තිබෙන්නේ වංචා, දූෂණ සෙවීමේ කටයුතු නමට පමණක් කෙරෙන බොරු සංදර්ශනවලට සීමාවී ඇති නිසාය. ඒ පිළිබඳව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිවරයාට සිත යටින් ස්තුති කරන බව අපි දනිමු.

ආණ්ඩු පෙරළන කතා : මහින්දගේ බොරු පම්පෝරි

පළාත් පාලන ඡන්ද නීතිය වෙනස් කිරීම ගැනද ජනාධිපතිවරයා අදහස් පළකර තිබේ. මහින්ද රාජපක්‍ෂ පාලනය තුළ අත්තනෝමතික ලෙස සම්මත කරගත් ද්විපක්‍ෂ ක‍්‍රමයක් හදන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හා විකෘති ඡන්ද ක‍්‍රමය වෙනස්කර ගැනීමට අප මැදිහත් වූ බව ඇත්තය. ඒ, ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තහවුරු කරගැනීම වෙනුවෙනි. තමන්ට වාසිදායක වන ලෙස සකසාගත් මැතිවරණ ක‍්‍රමය රටට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගැලපෙන ලෙස සකස් කිරීම නිසා ජනමතය විකෘති කිරීමේ කූට වුවමනාව පරාජයවීම ගැන මහින්ද රාජපක්‍ෂ මහතාට සහ ඔහුගේ කණ්ඩායමට වේදනාවක් තිබෙන බවද අපි දනිමු. එහෙත් නව මැතිවරණ ක‍්‍රමය පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ 2/3ක වැඩි ඡන්දයෙනි. එහිදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ කණ්ඩායම ඊට විරුද්ධ නොවූ අතර ඡන්දය දීමෙන් වැළකී සිටින ලදී. පෞද්ගලිකව ඔහු ඊට සහභාගි වූයේද නැත. ඉන්පසු පළාත් සභා සඳහාද මනාප ක‍්‍රමය ඉවත්වූ කොට්ඨාසයට වගකියන මන්තී‍්‍රවරයෙක් සහිත සහ කාන්තා නියෝජනයක් සහතික කෙරෙන නව මැතිවරණ ක‍්‍රමය ආදේශ කිරීම සඳහා පළාත් සභා පනත සංශෝධනය කර සම්මත කර ගන්නා ලදී. ඒ, සියලූ ඡන්ද එක ඡන්ද ක‍්‍රමයක් යටතේ පැවැත්විය යුතු නිසාය. එයටද තුනෙන් දෙකක ඡන්දය අවශ්‍ය විය. එයට පාර්ලිමේන්තුවේ ඡන්ද 159ක් ලැබුණි. පාර්ලිමේන්තුවේ 2/3 සඳහා අවශ්‍ය ඡන්ද 150කි. ජවිපෙ මන්තී‍්‍රවරු 06දෙනා ඡන්දය නොදී සිටියත් එම සංශෝධනයට 2/3ක් තිබුණි. ඊට දායකත්වය දැක්වූයේද? මහින්ද රාජපක්‍ෂ මහතාගේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ අයමය. මෙය පරාජය කළ යුතු වැරදි සංශෝධනයක් නම් මහින්ද රාජපක්‍ෂ මහතා කළ යුතුව තිබුණේ එය පරාජය කිරීමට තමන්ගේ කණ්ඩායම් මෙහෙයවීමය. වත්මන් ආණ්ඩුව පරාජය කොට අලූත් ආණ්ඩුවක් හැදීමට තරම් පිරිසක් පාර්ලිමේන්තුවේ තමන් සමඟ සිටින බවට නිතර පම්පෝරි ගැසූ මහින්ද රාජපක්‍ෂ මහතාට එවැන්නක් කරගත නොහැකි විය. අවම වශයෙන් මෙම සංශෝධනයට විරුද්ධව ඡන්දය දීමට තම කණ්ඩායමවත් මෙහෙයවීමට රාජපක්‍ෂ මහතා කටයුතු කළේ නැත. එම සංශෝධනයේදී ඊට විරුද්ධව ඡන්දය දීමට මහින්ද රාජපක්‍ෂ මහතාගේ කණ්ඩායමෙන් පාර්ලිමේන්තුවේ සිටියේ දෙවන වර 44ක් හා තෙවැනි වර 37කි. මෙම පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට එරෙහිව තම ඡන්දයවත් පාවිච්චි නොකළ මහින්ද රාජපක්‍ෂ මහතා මෙවැනි ප‍්‍රකාශ කරන විට සිනහ නොවී සිටිය නොහැක.

ප්ලීස් මහින්ද , පාර්ලිමන්ට් ඇවිත් වැඩ පෙන්නන්න

ජවිපෙ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට එරෙහිව කටයුතු නොකරන බවක්ද මහින්ද රාජපක්‍ෂ මහතා ව්‍යංගයෙන් කියයි. ජවිපෙ ආණ්ඩුවට එරෙහිව, ආණ්ඩුවේ ජනතා විරෝධී කි‍්‍රයාමාර්ගවලට එරෙහිව කටයුතු කළ ආකාරය පාර්ලිමේන්තුවට නිතර සහභාගී වූයේ නම් මහින්ද රාජපක්‍ෂ මහතාට සියැසින්ම දැක ගැනීමට ඉඩ තිබුණි. එහෙත් ආණ්ඩුවේ ජනතා විරෝධී සෑම කි‍්‍රයාමාර්ගයකදීම පාර්ලිමේන්තුව මඟහැර සිටි මහින්ද රාජපක්‍ෂ මහතාට ජවිපෙ ආණ්ඩුවට එරෙහිව කි‍්‍රයාකළ ආකාරය දැකගත නොහැකිවීම පුදුමයක් නොවේ. අපි මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් මෙසේ අසමු. මේ ආණ්ඩුවේ ජනතා විරෝධී අයවැය සියල්ලට එරෙහිව ඡන්දය දීමට ඔබ පාර්ලිමේන්තුවට නොපැමිණියේ මන්ද? වරක් රවී කරුණානායක මහතාට එරෙහිව ඔබේ කණ්ඩායම විසින්ම ගෙන ආ විශ්වාසභංගයේදී රවී කරුණානායකට විරුද්ධව, විශ්වාසභංගයට පක්‍ෂව ජවිපෙ මන්තී‍්‍රවරුන් ඡන්දය ප‍්‍රකාශ කරද්දී ඔබ ඡන්දය දීමට පැමිණ සිටියේද නැත.

බලපෑම්සහගත මන්තී‍්‍රවරුන් අතර : අනුර 1 - මහින්ද 184

පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන්ගේ කි‍්‍රයාකාරිත්වය පිළිබඳව වෙබ් අඩවියක් විසින් කළ සමීක්‍ෂණයේ ප‍්‍රතිඵල දෙස බලන ලෙස අපි රාජපක්‍ෂ මහතාට කියමු. එම සමීක්‍ෂණයට අනුව ජවිපෙ නායක අනුර දිසානායක සහෝදරයා පාර්ලිමේන්තුවේ බලපෑම්සහගත වැඩිම කි‍්‍රයාකාරී මන්තී‍්‍රවරුන් අතර පළවැනියා වන විට මහින්ද රාජපක්‍ෂ මහතා සිටින්නේ එහි 184 වැනි ස්ථානයේය. විපක්‍ෂයේ කාර්යභාරය හරියට ඉටුකරන්නේ කවුද යන්න තේරුම් ගැනීමට වෙනත් උදාහරණ අවශ්‍ය නැත. ආණ්ඩුව අර්බුදයට පත්විය හැකි සෑම අවස්ථාවකම පාර්ලිමේන්තුව ම`ගහැර සිටි පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද රාජපක්‍ෂ මහතා ජවිපෙට ඇඟිල්ල දිගුකිරීම හාස්‍යජනකය.

මහින්දගේ දැනුමේ ප්‍රශ්නයක්

ඊළඟට වත්මන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා තම ධුර කාලය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසූ අවස්ථාවේ ඊට එරෙහිව ජවිපෙ අධිකරණයට නොගියේ ඇයිද යන්නද රාජපක්‍ෂ මහතා විමසා තිබුණි. නීතිවේදියෙක් යැයි කියන මහින්ද රාජපක්‍ෂ මහතා නොදැන සිටියද වත්මන් ජනාධිපතිවරයාට සිය ධුර කාලය වසර 06ක් කර ගැනීමට කිසිසේත් ඉඩක් නැති බව අපි හොඳින් දැන සිටියෙමු. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය විසින් තහවුරු කරන ලද්දේ එයය. මහින්ද රාජපක්‍ෂ මහතාට ඒ ගැන පවා අවබෝධයක් නොවීම පුදුමසහගතය.

සත්‍යපාල වන්නිගම, විජේදාස ලියනආරච්චි ඝාතන පිටුපස හිටියේ කවුද?

ඊළඟට සුපුරුදු ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා 1971 ගැනත් 88-89 ගැනත් විවිධ විකාර අදහස් රැසක් තම නිවේදනයේ සඳහන්කර තිබේ. 2005 ජනාධිපතිවරණයේදී එය ජයගැනීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා ජනතා විමුක්ති පෙරමුණ සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන විට, ජනාධිපතිවරණය ජයග‍්‍රහණයෙන් පසු ආණ්ඩුවට එක්වන්නැයි ජවිපෙට ආයාචනා කරන විට මහින්ද රාජපක්‍ෂ මහතාට ඔහුම කියන එම අතීතය අමතකව තිබුණේ දැයි ඇසිය යුතුව ඇත. මහින්ද රාජපක්‍ෂ මහතාගේ බල ලෝභයේ හා අවස්ථාවාදයේ ප‍්‍රමාණය ඔහු විසින්ම පෙන්වා දීම ගැන අපට කළ හැකි කිසිවක් නැත. 1988-89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකළැයි කියන ඊනියා ඝාතන ගැන කතා කරන රාජපක්‍ෂ මහතාට එක්සත් ජාතික පක්‍ෂය විසින් සිදුකළ මහා මිනිස් ඝාතනය අමතකව තිබීම අහම්බයක් නොවේ යැයි අපි සිතමු. මන්ද මහින්ද රාජපක්‍ෂ මහතාට එජාපයේ මිනීමරු දේශපාලනය සැඟවීමට හේතු තිබෙන නිසාය. 88-89 කාලයේ ඝාතනය කළ හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ජනතා විමුක්ති පෙරමුණේ කීර්තිමත් නායකයින් වූ සත්‍යපාල වන්නිගම, විජේදාස ලියනආරච්චි වැනි සහෝදරවරුන්ගේ ඝාතන පිටුපස සිටි හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ප‍්‍රබල දේශපාලනඥයා කවුද යන්න පිළිබඳව ජනතාව අතර පවතින මතයේ සත්‍යතාව මෙයින්ද අපිට පැහැදිලි වේ.

මහින්දගේ තර්ක බුද්ධිය බිංදුවයි

මහනුවර දළදා මාලිගාවට බෝම්බ ගැසූ බවට සැක කරන, නැගෙනහිර පළාතේ නිරායුධ ජනතාව විශාල ප‍්‍රමාණයක් ඝාතනය කිරීමට වගකිව යුතු යැයි සැක කරන කරුණා අම්මාන්ට ශී‍්‍රලනිපයේ උප සභාපතිධුරයක් පිරිනමා ජවිපෙන් උදුරා ගත් ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරයද නියෝජ්‍ය ඇමතිකමක්ද ලබාදුන් මහින්ද රාජපක්‍ෂ මහතාම මෙවැනි ඉතිහාසයක් යළි සිහිපත් කිරීම ඉතිහාසයේ සරදමකි.

මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ එන පරාජයෙන් කොතරම් කලබල වී සිටින්නේද යන්න ඔහු සිය නිවේදනයේ සඳහන් කරන තර්කවල පරස්පරතාවයෙන්ම පෙනේ. 1987දී පළාත් සභා ක‍්‍රමය හඳුන්වාදීමට එරෙහිව සන්නද්ධ අරගලයක් දියත් කළේ යැයි ජවිපෙට දොස් පවරන රාජපක්‍ෂ මහතා තවමත් සකස් කොට නැති නව ව්‍යවස්ථාවට එරෙහිව කිසිවක් නොකරන බවටද ජවිපෙට චෝදනා කරයි. ඔහුගේ මෙම අදහසේ දෙබිඩි බව ඔහුට නොවැටහුණද තර්ක බුද්ධිය ඇති කාටත් වැටහේ. මහින්ද රාජපක්‍ෂ මහතා බොරු දේශපේ‍්‍රමී සළුවකට මුවාවී සිටියද ඔහු කවදාවත් රට බෙදීමට සැබෑ ලෙස විරුද්ධව කටයුතු කළේ නැත. 1987 ඉන්දු ලංකා ගිවිසුමෙන් රට බෙදීමට පාර කපන විට එය පැරදවීමට සටන් කළ හා දිවිපිදූ අයට ඔහු ගරහන්නේ ඒ නිසාය. පසුගිය කාලය පුරාම ඔහුගේ භාවිතය ව්‍යාජයක් විය. 2004දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සුනාමි සහන මණ්ඩලය ගෙන ඒමට උත්සාහ දරන විට ජවිපෙ ඊට එරෙහිව ආණ්ඩුවේ ඇමති ධුර අත්හැර පාරට බසිද්දී මහින්ද රාජපක්‍ෂ මහතා ඒ ගැන වචනයක්වත් නොදොඩා සිටියේ ඔහුට රටට වඩා ‘අගමැතිකම’ ලොකු නිසාත් එවක ජනාධිපතිනිය ‘අමනාප කර ගැනීමට’ අකැමැති වූ නිසාත්ය.

හරියට ඉතිහාසය දන්නෙත් නෑ

එසේම 2005 ජනාධිපති ධුරයට මහින්ද රාජපක්‍ෂ මහතා පත්වන විටත් ඒකාබද්ධ කර තිබූ උතුරු හා නැගෙනහිර පළාත් වෙන් කිරීමට ඔහු කටයුතු කළේ නැත. එම පළාත් දෙක ඒකාබද්ධ කිරීම පවත්වාගෙන යමින් වසරක් පාසා නිකුත් කළ ගැසට් පත‍්‍රයට 2005 නොවැම්බරයේ මහින්ද රාජපක්‍ෂ මහතාද අත්සන් කළේය. ඔහු එය අත්සන් නොකර සිටියේ නැත. උතුරු පළාතෙන් නැගෙනහිර පළාත් වෙන්කරනු ලැබූයේ අධිකරණ නියෝගයක් මත ජනතා විමුක්ති පෙරමුණ විසින් බවත් සුනාමි සහන මණ්ඩලය අහෝසි කළේද අධිකරණය මගින් ජවිපෙ විසින් බවත් ඉතිහාසයේ බොහෝ දේවල් නොදන්නා මහින්ද රාජපක්‍ෂ මහතාට මතක් කළ යුතුව තිබේ. 2002දී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රභාකරන් සමඟ අත්සන් කළ සටන් විරාම ගිවිසුම පැරදවීමට ප‍්‍රධාන කි‍්‍රයාමාර්ග ගනු ලැබුවේ ජවිපෙ විසින් බවත් ඒ පිළිබඳ එවකට විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඒ පිළිබඳව කිසිවක් නොකළ බවත් ඉතිහාසය දන්නා කවුරුත් දනිති.

අලුත් ව්‍යවස්ථාවක් කොහෙද තියෙන්නෙ ?

වර්තමාන ආණ්ඩුව තවම නව ව්‍යවස්ථාවක් සකසා නැත. අපේ රටේ සියලූ ජනතාවගේ අයිතීන් සුරක්‍ෂිත කෙරෙන, ප‍්‍රජතන්ත‍්‍රවාදය ශක්තිමත් කෙරෙන, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කෙරෙන නව ව්‍යවස්ථාවක් සම්මත කරගත හැකිනම් එය යහපත් බව අපි සිතමු. සියලූ ජන කොට්ඨාසයන්ගේ ජන අයිතීන් පිළිගෙන ජාතික සමගිය ගොඩනැගීමකින් තොරව රට බෙදීමේ අනතුර පරාජය කළ නොහැකි බව අපි හොඳින් දනිමු. ජාතිවාදයට කළ හැකි වන්නේ ජනතාව බෙදා වෙන් කිරීමය. ඒ නිසා තවමත් සකසා නැති ව්‍යවස්ථාවක් ගැන ජනතාව බියට පත්කිරීමට හෝ බියවීමට මහින්ද රාජපක්‍ෂ මහතාට හේතුවක් නැත. 2015 මැතිවරණයට විදුලි පුටුව මෙන්ම ව්‍යවස්ථාව ගැන බියද තවත් ප‍්‍රබන්ධයකි.

අනුන්ගේ වැඩ වලින් ලකුණු දාගත්තා

තම නිවේදනයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා උමාඔය ව්‍යාපෘතිය ගැනද සඳහන් කර තිබේ. ඔහුට අනුව අනුර දිසානායක සහෝදරයා කෘෂිකර්ම ඇමති ධුරය දරන කාලයේ කැබිනට් මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කළ එකම ව්‍යාපෘතිය ලෙස මෙය හඳුන්වා තිබේ. අනුර දිසානායක සහෝදරයා ඇමති ධුරය දැරූ කාලයේ දැදුරුඔය ව්‍යාපෘතිය, මැණික්ගඟ හරස් කොට තැනූ වෙහෙරගල ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කළේය. පසු කලෙක මහින්ද රාජපක්‍ෂ මහතා විසින්, ඒවා ආරම්භ වන මොහොතේ පිහිටුවා තිබූ ඵලක පවා ඉවත් කොට විවෘත කරනු ලැබුවේ ඒවාය. උමාඔය ව්‍යාපෘතියද එකල ඉදිරිපත් වූ ව්‍යාපෘතියකි. එහෙත් එය ආරම්භ කිරීමට පෙර ඒ සඳහා පරිසර ඇගයීම් වාර්තාවක් සහ ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් ගත යුතුව තිබුණි. ව්‍යාපෘතිය ආරම්භ කළ යුතුව තිබුණේ මෙම වාර්තාව පදනම් කරගෙන, සුදුසු නම් පමණක් එවැන්නක් කළ හැකි පළපුරුදු ආයතනයක්ද සම්බන්ධ කරගෙනය. එහෙත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලනයේදී පරිසර ඇගයීම් වාර්තා විකෘති කළ බවත් ශක්‍යතා අධ්‍යයන වාර්තා පවා ලබා නොගෙන, මෙවැනි ව්‍යාපෘතියක් කළ නොහැකි ඉරාන සමාගමකට මෙය බාරදුන් බවත් දැන් හෙළිවී තිබේ. එබැවින් උමාඔය ව්‍යාපෘති විනාශයට වගකිව යුත්තේ, එම ව්‍යාපෘති යෝජනාව ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළ පුද්ගලයා නොව කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව හිතුවක්කාර ලෙස එම ව්‍යාපෘතිය ඉරානය හා එක්ව කි‍්‍රයාවට නැගූ මහින්ද රාජපක්‍ෂ මහතා බව ඔහුට නොවැටහුණද සියලූ දෙනාම තේරුම් ගෙන ඇත.

තිස්සමහාරාමේ මිනිසුන්ට අගෞරව කරන්න එපා

තිස්සමහාරාම ප‍්‍රාදේශීය සභාව පිළිබඳවද රාජපක්‍ෂ මහතා සිය නිවේදනයේ සඳහන් කර තිබේ. තිස්ස සභාව ජනතාව ජවිපෙට ලබාදුන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා කියන පරිදි චන්ද්‍රකා මහත්මියගේ ආණ්ඩුව සමග හෝ මහින්ද රාජපක්‍ෂ පාලනය සමඟ ජවිපෙට තිබූ සම්බන්ධයක් මත නොවේ. එසේ පැවසීම තිස්සමහාරාම ජනතාවට කරන අගෞරවයකි. 2002 හා 2006 යන මැතිවරණ දෙකේදීම මහින්ද රාජපක්‍ෂ මහතා නියෝජනය කළ පොදු පෙරමුණ හා පසුව සන්ධානය තිස්සමහාරාම ප‍්‍රාදේශීය සභාවට තරඟ කළේය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ පක්‍ෂය තිස්සට තරග නොකර තිස්ස අපට නිතරගයෙන් දුන්නා නොවේ. තිස්ස ජනතාව ඉහත අවස්ථා දෙකේම මහින්ද රාජපක්‍ෂ මහතාගේ පක්‍ෂයත් එජාපයත් යන දෙකම පරදා තිස්ස පාලනය ජවිපෙට ලබා දුන්නේය. ඒ පිළිබඳ මහින්ද රාජපක්‍ෂ මහතා කෝපයෙන් සිටි බව අපි දනිමු. 2011දී බොරු චෝදනා නගා තිස්ස සභාව අකි‍්‍රය කොට එය කොල්ලකා ගැනීමට මහින්ද රාජපක්‍ෂ පාලනය කටයුතු කළේ ඒ නිසාය.

මහින්දගේ දේශපාලන හෙලුව

මහින්ද රාජපක්‍ෂ මහතා තම නිවේදනය මගින් සිදුකර ඇත්තේ, වීදුරු කුටියක සිට ඇඳුම් මාරු කිරීම වැනි දෙයකි. මෙලෙස තම දේශපාලන නිරුවත ප‍්‍රදර්ශනය කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතාට සිදුවීම ඉතිහාසයේ සරදමක් නොවේද?

මොකද කියන්නෙ වාදයකට එනවද ?

කෙසේ වුවත් අසත්‍ය කරුණුවලින්, සත්‍ය කරුණු විකෘති කිරීම්වලින්, පෞද්ගලික මඩ හා අවලාදවලින් පිරුණු මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිවේදනය හිටපු ජනාධිපතිවරයෙකුට තරම් නොවන්නේ යැයි අපි සිතමු. එබැවින් මෙම නිවේදනයට අත්සන තැබීමට පෙර මහින්ද රාජපක්‍ෂ මහතා එය හොඳින් කියවා බලා තිබුණේ නම් හොඳ යැයිද අපි සිතමු. තම නිවේදනය අවසානයේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ අත්සනින් ප‍්‍රකාශවී තිබෙන්නේ, ඔහු හා ඔහුගේ කණ්ඩායම මෙම මැතිවරණයේදී මුහුණදී ඇති දුර්භාග්‍යයේ, පසුබැසීමේ, පරාජයේ හා එහි වේදනාවේ තරම බව අපි දකිමු. ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රබල ජයග‍්‍රහණයක සේයාවද එය තුළ තිබේ. කෙසේ වුවත් මෙම කරුණු පිළිබඳව රාජපක්‍ෂ මහතා තවදුරටත් පෙනී සිටින්නේ නම් ඒ පිළිබඳ ඔහු සමඟ ප‍්‍රසිද්ධ විවාදයක් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බව නැවතත් ප‍්‍රකාශ කරමු.