ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ : අගෝස්තු 05 ස්ථිරයි - අගමැති රනිල් !

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ : අගෝස්තු 05 ස්ථිරයි - අගමැති රනිල් !

එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් නව සන්ධානයක් ලබන මස 05 වන දා බිහි කරන බවත්, රටේ අනාගතයට ගැලපෙන නව ප්‍රතිපත්ති පදනම් කර ගනිමින් නව පෙරමුණ යටතේ ඉදිරි මැතිවරණ සඳහා තරග කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

සන්ධානගත වන සියලූ දේශපාලන පක්‍ෂවල අනන්‍යතාව ආරක්‍ෂා කර ගනිමින් බිහිකරන නව පෙරමුණ මගින් ඉදිරි වසර 5 තුළ දී රට ඉදිරියට ගෙන යන බව ද වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ අද (23) අවිස්සාවේල්ල පොදු වෙළෙඳ සංකීර්ණයට මුල්ගල තැබීමෙන් අනතුරුව එම නගරයේ පැවැති ජන හමුව අමතමින් ය.

මෙම ජන හමුවට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාදුක්ක නාගරික ක්‍රීඩාංගනය සහ හංවැල්ල සති පොළ විවෘත කිරීමට ද සහභාගි විය. අනතුරුව කොස්ගම, මිරිස්වත්ත මුණ්ඩිගල ආරණ්‍ය සේනාසන ප්‍රවේශ මාර්ගය විවෘත කළ අතර පසුව අග්‍රාමාත්‍යවරයා, මුණ්ඩිගල ආරණ්‍ය සේනාසනයට ගොස් එහි විහාරාධිපති මිල්ලෑවේ මහින්ද හිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

අවිස්සාවේල්ල නගරයේ පැවැති ජන හමුව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

2015 දී ලංකාව තිබුණේ ජාත්‍යන්තරය හමුවේ හුදෙකලාවේ !

“2015 අපේ ආණ්ඩුව බලයට පත් වන විට ලංකාව ජාත්‍යන්තරයෙන් හුදෙකලා වී පැවැතුණා. ණය ආධාර ලබාගැනීමටවත් හැකියාවක් අපට තිබුණේ නැහැ. රට මත විශාල ණය බරක් පැටවී තිබිය දී අපි ක්‍රමානුකූලව මේ අභියෝග ජය ගනිමින් ඉදිරියට පැමිණියා. ඒ අනුව මෙරට ණය ස්ථාවර භාවයක් ඇති කිරීමට අපට හැකි වුණා.

ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙන යා හැකි බවට විශ්වාසයක් ජනතාව තුළ ඇති කිරීමට පසුගිය වසර හතරක කාලය තුළ අප කටයුතු කළා. රටේ ණය ස්ථාවර භාවයක් පැවතියත් එම විශාල ණය ප්‍රමාණය අනාගත පරපුරට ඉතිරි කළ නොහැකියි. ඉදිරි වසර පහක කාලය තුළ ආයෝජන ලබාගෙන රටේ සංවර්ධනය ඇති කරමින් අතිරික්තයක් සහිත ආර්ථිකයක් බිහි කිරීම අපේ ඉලක්කය බව කිව යුතුයි.”

මෙම අවස්ථාවට මහා සංඝ රත්නය ඇතුලූ සර්ව ආගමික නායකයින්, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාටලී චම්පික රණවක, එක්සත් ජාතික පක්‍ෂ අවිස්සාවේල්ල ප්‍රධාන සංවිධායක සහ හිටපු පළාත් සභා මන්ත්‍රී ලෙනාඩ් කරුණාරත්න ප්‍රමුඛ දේශපාලනඥයින් ද, රාජ්‍ය නිලධාරීන් ද ඇතුලූ විශාල පිරිසක් එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න