අලි ආසාව නිසා : තිළිණ ගමගේට සිතාසි !

අලි ආසාව නිසා : තිළිණ ගමගේට සිතාසි !

බලපත‍්‍රයක් නොමැතිව අලි පැටවෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැඩතහනමකට ලක්වී සිටින කොළඹ හිටපු අතිරේක මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ ඇතුළු විත්තිකරුවන් සිවුදෙනාට අධිචෝදනා පත‍්‍ර භාරදීම සඳහා ලබන 30 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ඊයේ (23) සිතාසි නිකුත් කළේය.

විත්තිකරුවන් සිවුදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුවන් අධිකරණයට කැඳවමින් එලෙස සිතාසි නිකුත් කළේය.

වැඩ තහනමකට ලක්වී සිටින හිටපු මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ ට අමතරව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් මෙලෙස සිතාසි නිකුත් කරන ලද්දේ ‘සකුරා’ නමැති අලි පැටවාගේ හිමිකරු බව කියන පෑස්සුම්කරුවකු වන චන්ද්‍රරත්න බණ්ඩාර යටවර, වනජීවී දෙපාර්තමෙන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි අංශය භාරව සිටි ලිපිකාරිණීයක වන එච්. පි‍්‍රයංකා සංජීවනී, වනජීවී දෙපාර්තමෙන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ (නීතී) පැස්කුවල් ෆොන්සේකාලාගේ උපාලි පද්මසිරි යන අයටය.

වැඩ තහනමකට ලක්වී සිටින හිටපු මහේස්ත‍්‍රාත්වරයකුට එරෙහි මෙම සිද්ධියට එරෙහිව නඩු පැවරිය යුතු බවට නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ලිවේරා ගත් තීරණයකට අනුව මෙම විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගත් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නිශාරා ජයරත්න මීට පෙර අවස්ථාවකදී පවසා තිබිණ.

2008 නොවැම්බර් 06 වැනිදාත් 2015 මැයි 18 වැනිදාත් අතර කාලයේ මීගොඩ ගොඩගමුවේදී නිසි බලපත‍්‍රයක් නොමැතිව පොදු දේපලක් වන අලියෙකු ළඟ තබා ගැනීම සඳහා කුමන්ත‍්‍රණය කිරීම, ඒ අනුව වනයෙන් අල්ලා ගන්නා ලද ‘සකුරා’ වශයෙන් හඳුන්වනු ලැබු අලි පැටවකු ළඟ තබා ගැනීම ඒ සඳහා අධාර අනුබලදීම ඇතුළු චෝදනා 25ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා ඇත.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා පැමිණිල්ල වෙනුවෙන් සාක්කිකරුවන් 25 දෙනෙකු හා ලේඛණ 08ක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.

වනජීවී ඇමති වසන්ත සේනානායක විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලදී.

මෙම නඩුව ලබන 30 වැනිදා කැඳවීමට නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත‍්‍ර ඔවුන්ට භාරදීම සඳහා එදින ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා සිතාසි නිකුත් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න