වෙල්ගමගේ විරෝධය ඇතුලේ ගේමක් : ගෝඨා පාර්ශවයේ සැකයක් !

වෙල්ගමගේ විරෝධය ඇතුලේ ගේමක් : ගෝඨා පාර්ශවයේ සැකයක් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කිරීමට එරෙහිව කුමාර වෙල්ගම ඇතුළු ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ගෙනයන විරෝධය, මහින්ද රාජපක්ෂගේ හා බැසිල් රාජපක්ෂගේ අනුදැනුම මත සිදු වන්නක් දැයි සාධාරණ සැකයක් මතුව ඇතැයි 'වියත්මඟ' සංවිධානයේ විශ්‍රාමික ලුතිනන් ජෙනරාල්වරයකු පැවසිය.

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ මෙන්ම පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ සමීපතම අනුගාමිකයකු වීම එම සැකයට හේතුවී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

ඔහු එබව සඳහන් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට එරෙහිව ඒකාබද්ධයේ අභ්‍යන්තරයේ ක්‍රියාත්මක කැපිලි කෙටිලි සම්බන්ධයෙන් 'ද ලීඩර්' කළ විමසීමකදීය.

ඉදිරිදිනවලදී වෙල්ගම මන්ත්‍රීවරයාට අමතරව බැසිල්වාදී ඇතැම් මන්ත්‍රීවරුන් ගෙන් ද වාසුදේව නානායක්කාර වැනි ඒකාබද්ධයේ පක්ෂ නායකයින් ගෙන් ද මෙවැනි බලපෑම් එල්ලවිය හැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

වෙල්ගම අහිමිවීම පාඩුවක් - දිලුම් අමුණුගම

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම කියා සිටියේ, ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නම් කළ පසු දැනට පෙරමුණට සහාය දෙන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පක්ෂයෙන් ඉවත් වීමට ඉඩ ඇති බවයි.

එසේ ඉවත් විය හැක්කේ කුමාර වෙල්ගමඇතුළු මන්ත්‍රිවරු කිහිපදෙනකු යයිද ඔහු පැවසීය.

කෙසේ නමුත් කුමාර වෙල්ගම වැනි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු අහිමිවීම පාඩුවක් යයිද වෙල්ගම සමගින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ස්ථිරවම ඉදිරිපත් කළ යුත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් යයිද ජනාධිපතිවරණය දිනාගැනීමට හැකි මට්ටමේ කිසිම නායකයකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නැතැයිදමන්ත්‍රීවරයා සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට දරන උත්සාහය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසන්නේ, ඒකාබද්ධයේ තවත් දැවැන්තයින් පිරිසක් ඉදිරි දින වලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වන බවයි.

ඔහු මේ බව පැවසුවේ කොලොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ඉදිරියේදී නොසිතූ පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වනු ඇති බව පැවසූ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව කිසිවෙකුට ජනාධිපති වීම හෝ ආණ්ඩු පිහිටුවීම කළ නොහැකි බවද අවධාරණය කළේය.

කෙසේවුවද ඒකාබද්ධ විපක්ෂයේ හා පොහොට්ටුවේ ඇතැම් ප්‍රධානීන්ගේ දේශපාලන තීන්දු තීරණවලට බලපෑම් කිරීම සඳහා ආචාර්ය නලින් ද සිල්වා ප්‍රමුඛ 'ජාතික චින්තන' කණ්ඩායම මේ වනවිට දැඩි උත්සහයක් දරමින් සිටින අතර ඔවුන් ඒ සඳහා විපක්ෂයේ බලවේග ආමන්ත්‍රණය කරමින් රටපුරා පුළුල් ප්‍රචාරක මෙහෙයුමක් ද ආරම්භ කර තිබේ.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින ඔවුන් පිරිස ඒ සඳහා මහින්ද රාජපක්ෂගේ හෝ බැසිල් රාජපක්ෂගේ අනුමැතියක් අවශ්‍ය නොවන බවද පවසා සිටියි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තෝරාගෙන ඇති එකම අපේක්ෂකයා ගෝඨභය රාජපක්ෂ බව ආචාර්ය නලින්ද සිල්වා මහතා අවධාරණය කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න