ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද කැඩීම සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය තදින් ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබේ.
ඇතැම් අපේක්ෂකයන් නාමයෝජනා බාරදී ව්‍යාජව කටයුතු කරමින් වෙනත් දේශපාලනඥයකුට සහාය දක්වන හෝ ඔහු ප්‍රවර්ධනය වන අයුරින් කටයුතු කළහොත් එම අපේක්ෂකයා නම් කර ඒ බව ඡන්දදායකයින්ට ප්‍රකාශ කරන බවද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය දේශපාලන පක්ෂ නායකයින්ට දන්වා ඇත.
එවැනි ව්‍යාජ ලෙස කටයුතු කරන අපේක්ෂකයින්ට ගුවන් කාලය ලබාදීම ඇතුළු සියලු වරප්‍රසාද අහිමි කරන බවද කොමිසමේ සභාපති පක්ෂ නායකයින්ට ප්‍රකාශ කර තිබේ.
ඇතැම් දේශපාලන පක්ෂ තමන්ට දේශපාලන වාසි ලබාගැනීමේ සහ විරුද්ධ දේශපාලනඥයින්ට මඩ ගැසීමේ අරමුණින් හිතාමතාම අපේක්ෂකයින් ඉදිරිපත් කරවන බවද මෙවර එවැනි අපේක්ෂකයන් හඳුනාගතහොත් ඔවුන්ට එරෙහිව තදින් පියවර ගන්නා බවද මැතිවරණ කොමිසම ඉකුත් දා පැවැති පක්ෂ නායක රැස්වීමකදී කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය දැනුම් දී ඇත.
ඇතැම් අපේක්ෂකයින් තමන්ට ලැබෙන ගුවන් කාලය වෙනත් ප්‍රධාන අපේක්ෂකයකු වෙනුවෙන් භාවිත කරන අතර, ප්‍රචාරක රැස්වීම් සඳහා ක්‍රීඩාපිටි වෙන්කරවා ගැනීම ඇතුළු අනෙකුත් සියලු පහසුකම් ලබාගෙන වෙනත් අපෙක්ෂකයකු වෙනුවෙන් කටයුතු කරන බවද, සභාපතිවරයා පක්ෂ නායකයින්ට දන්වා තිබේ.
ජනාධිපතිවරණයට නාමයෝජනා බාරදී වක්‍රාකාරයෙන් වෙනත් ප්‍රධාන අපේක්ෂකයකුට සහාය පළකරන හෝ ප්‍රසිද්ධ නාමයක් සහිත අපේක්ෂකයින් මැතිවරණයට ඉදිරිපත් කර ව්‍යාජව කටයුතු කිරීම වැනි අවස්ථා හඳුනාගතහොත් මැතිවරණ කොමිසම ඒ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගෙන ඡන්දදායකයින්ට ඒ බව ප්‍රසිද්ධ කරන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දන්වා ඇත.

