ජනතාවට ඉඩම් අයිතිය දෙනවාටත් : ඒකාබද්ධ විපක්ෂය විරුද්ධයි !

ජනතාවට ඉඩම් අයිතිය දෙනවාටත් : ඒකාබද්ධ විපක්ෂය විරුද්ධයි !

ඉඩම් සදහා ඔප්පු නොමැති ජනතාව විදින දුෂ්කරතා පදනම් කරගෙන ජනතාව වෙත නිරවුල් ඉඩම් ඔප්පු ලබාදීමට රජය ගෙන ඇති තීන්දුවට විරෝධය දැක්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.

ඒ බව සදහන් කරමින් අද (29) ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

"අපි මේ පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන්න කටයුතු කරන විට ජනතාවට ඉඩම් අයිතිය ලබා දීමට විරුද්ධ වුණොත් ජනතාව පාරට බහින්න ඉඩ තිබෙන බව සමහරු අපට කිව්වා. ජනතාව සමග පාරට බහින බවට අගමැතිවරයා තර්ජනය කළා. නමුත් රට වෙනුවෙන් ජනතාව සමග තරහා වීමේ අවදානම ගන්න අපි තීරණය කළා.

ඉඩම් පළාත් සභා විෂයක් නිසා පළාත් සභාවලට ඉදිරිපත් නොකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැරදි බවට අපි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ තර්ක කළා. අපේ තර්ක පිළිගනිමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පනත පළාත් සභාවලට ඉදිරිපත් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

2012දී ‘දිවිනැගුම’ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේදී අපූරු දෙයක් කියනවා. ඒ තමයි පළාත් සභාව විසුරුවා ඇතිනම් පළාත් සභාව වෙනුවෙන් ආණ්ඩුකාරවරයාට අත්සන් තබන්න බෑ. ඒ නිසා පළාත් සභාවල එකඟතාව ගත නොහැකි නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් අනුමත විය යුතුයි යන්න.

මේ අනුව ඉඩම් සංර්වධන (විශේෂ විධිවිධාන) පනත නීතියක් වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලයෙන් එය සම්මත විය යුතුයි. මේ ආණ්ඩුව තුනෙන් දෙක තියා සාමාන්‍ය බහුතරය හදාගන්නෙත් බොහොම අමාරුවෙන්. වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකේ බහුතරය ලබා ගැනීම සිහිනයක් පමණයි. ඒ නිසා මේ ආණ්ඩුව ගෙදර යන තුරුම මේ පනත සම්මත කර ගන්න ලැබෙන්නේ නෑ. ඒ සමගම ලංකාවේ ඉඩම් අත්පත් කරගෙන ආරථික කොරිඩෝවක් ඉදි කිරීමත් ඇමෙරිකාවේ සැබෑ නොවන සිහිනයක් වනු ඇති. ඇමෙරිකානු ආක්‍රමණයට එරෙහිව දේශප්‍රේමී බලවේග ලැබූ කුළුඳුල් ජයග්‍රහණයක් ලෙස මේක දක්වන්න පුළුවන්.”

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න