Language Switcher

V2025

රනිල්-රාජිත සන්ධාන මගඩියෙන් එජාපයට අත්වන ඉරණම මෙන්න !

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් අගමැති රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම යටතේ රාජිත සේනාරත්න ඇමතිවරයාගේ මැදිහත්වීම මත ඇටවීමට නියමිත 'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ' (DEMOCRATIC NATIONAL FRONT) සඳහා යෝජිත ව්‍යවස්ථාව, එක්සත් ජාතික පක්ෂය දියකර හැරීමේ කුමන්ත්‍රණයක් බවට එම පක්ෂයේ බහුතරයක් මැති ඇමතිවරුන් චෝදනා කරති.

මෙම සන්ධාන ව්‍යවස්ථාව සම්මත වුවහොත් ඉන් මතුවන බලපෑම සවිස්තරාත්මකව පෙන්වා දෙමින් එජාපයේ ඇමතිවරුන් පිරිසක් ඊයේ (31) අගමැතිවරයාට ලිපියක් බාරදී ඇති අතර එය අද දිනයේ (01) පැවැත්වෙන එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ජාවට ගැනීමට නියමිතය.

එම ඇමතිවරුන් පිරිස අගමැතිවරයාට බාරදී ඇති ලිපිය මගින් එජාපයට අත්වීමට නියමිත ඉරණම මෙසේ එකින් එක පැහැදිලිකර තිබේ.

එජාප මන්ත්‍රීවරුන් හා කෘත්‍යාධිකාරීය බාල්දු කිරීම :

01. ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා පත් කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යධිකාරී මණ්ඩලයට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට දැනට පවතින හිමිකම අහිමි කර ඇත.

(අ) මෙම පෙරමුණේ යෝජිත ව්‍යවස්ථාවේ 23(b) වගන්තියේ පාර්ලිමේන්තු පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මැතිවරණ සඳහා නාම යෝජනා තෝරාගන්නා ආකාරය දක්වා ඇත. එහෙත් ජනාධිපතිවරණයක් සඳහා අපේක්ෂකයා තෝරා ගැනීම පිළිබඳ එම වගන්තිය නිහඬය.

ජනාධිපති අපේක්ෂකයා තීරණය කිරීම ?

යෝජිත ව්‍යවස්ථාවේ 62 වගන්තියේ මෙසේ දක්වා ඇත.
''The Leadership Council shall be entitled to take suitable decisions on all matters on which Constitution is silent.''

ඒ අනුව ''නායකත්ව මණ්ඩලය'' විසින් ජනාධිපති අපේක්ෂකයා තීරණය කරනු ඇත.

(ආ) නායකත්ව මණ්ඩලයේ සංයුතිය සහ බලතල පිළිබඳව යෝජිත ව්‍යවස්ථාවේ 19 වන වගන්තියේ, පහත සඳහන් පරිදි දක්වා ඇත. ඒ අනුව,

(i) නායකත්ව මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව 10 දෙනෙකු හෝ ඊට වැඩිය.

(ii) පෙරමුණේ සෑම පක්ෂයක්ම නියෝජනය කිරීමට එක් සාමාජිකයෙකු පමණක් පත්වන අතර, ඊට අමතරව රාජිත සේනාරත්න සහ අර්ජුන රණතුංග එහි සාමාජිකයන් වේ.

(iii) එක්සත් ජාතික පක්ෂය යෝජිත පෙරමුණේ ඡන්ද පදනමෙන් 80% කට වඩා නියෝජනයට කරන නමුත් එක්සත් ජාතික පක්ෂයට නායකත්ව මණ්ඩලය තුළ හිමි වන්නේ එක් නියෝජිතයෙකු (එක අසුනක්) පමණි.

(iv) එම නියෝජිතයා වර්තමාන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහය.

(v) යෝජිත ව්‍යවස්ථාවේ 20 වන වගන්තියට අනුව එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයාට ''නායකත්ව මණ්ඩලය'' තුළ තීරක බලය ඇත.

''If the Council is unable to reach consensus on any issue, the decision shall be supported by a majority of the members of the Council AND a majority of the constituent parties represented in the Leadership Council. The values of the vote of the nominee of the United National Party shall be equal to fifty per centum plus one (50%+1) of the total membership of the Leadership Council''

(vi) ඒ අනුව යෝජිත ව්‍යවස්ථාවේ 23(ඉ) සහ 62 වගන්තිය සමග කියවිය යුතු, 20 වන වගන්තිය ප්‍රකාරව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට, ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ''ඔහුගේ නම'' හෝ ඔහු පෞද්ගලිකව කැමති ''වෙනත් අයෙකුගේ'' නම යෝජනා කළ හැක. එය කිසිවෙකුට අභියෝග කළ නොහැක.

(vii) ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන ව්‍යවස්ථාව ප්‍රකාරව, එහි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ එහි පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ බහුතර බලයෙන් ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට දැනට ඇති අයිතිය පක්ෂයට අහිමිවේ.

(viii) යෝජිත පෙරමුණේ ව්‍යවස්ථාවට එකඟ වී අත්සන් තැබුවහොත්, ප්‍රජාතන්ත්‍රවාදීව සහ සාධාරණ ලෙස ජනාධිපතිවරයා අපේක්ෂකයා තෝරා ගැනීමට එම යෝජිත සන්ධානයේ ඡන්ද පදනමෙන් 80 වැඩි ප්‍රමාණයකට වගකියන එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ට දීර්ඝ කාලයක් තිස්සේ තිබූ හිමිකම අහිමි වී යයි.

එය පක්ෂයේ සාමාජිකයන්ගේ අපේක්ෂාවන්ට පටහැනිය. එවැනි තත්වයක් අදටත් වඩා ඒකාධිපති හා ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්වයක් ඇති කරන අතරම, නියත මැතිවරණ පරාජයකටද පදනම සකසයි.

එජාප සංවිධායකවරු ඉවතට !

(02) එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරුන් ඉවත් කොට ඒ වෙනුවට සෑම මැතිවරණ කොට්ඨාශයක් සඳහාම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ සංවිධායකවරු පත් කරනු ඇත.

16 - As organicer may be appointed to each and every polling division in the country. Where the polling division consist of members of different communities, more than one organizer may be appointed.

ජීවිත කාලයකටම නායකයා රනිල් !

(03) ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායකයා ලෙස ජීවිත කාලයකටම ( අවිනිශ්චිත කාලයකට) තමන්ගේම තනි මතයට පත්වීමට රනිල් වික්‍රමසිංහ මහතාට ඉඩ සලසයි.

''24 -There shall be a Leader of the Front.

The Members of the Leadership Council shall at its first meeting and whenever a vacancy occurs in the position of Leader, select the Leader of the Front who shall function as the Head of Council for a given period decided by the Council.

පෙරමුණේ පළමු නායකයා තෝරා ගැනීම ''නායකත්ව මණ්ඩලය'' විසින් සිදු කරනු ඇත. නායකයාගේ ධූර කාලයද නායකත්ව මණ්ඩලය විසින්ම තීරණය කරනු ඇත. නායකත්ව මණ්ඩලයේ ඡන්ද බලයෙන් (50%+1) ක බලයක් රනිල් වික්‍රමසිංහ මහතාට ඇත. ඔහුට ඔහුගේ ''තනි ඡන්දයෙන්'' පෙරමුණේ යාව ජීව නායකයා විය හැකිය. මෙය ප්‍රජාතන්ත්‍රවිරෝධී වන අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට දැනට ඉතිරිව ඇති සියලුම බලයද අහිමි කරවයි.

(ද ලීඩර් )