Language Switcher

V2025

ජිනීවා යන සංවිධානවලට ජනපති ගෙන් LTTE චෝදනා (වීඩියෝ)

වර්තමාන පාලන සමයේත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයට තොරතුරු ලබා දෙන දේශීය හා විදේශීය මානව හිමිකම් සංවිධාන එල්ටීටීඊ හිතවාදී ලෙසින් ජනාධිපතිවරයාගේ දෝෂ දර්ශනයට ලක්විය.

“මේ රටේම අය ජිනීවා ගිහිල්ලා, මේ අවුරුද්දෙත් මානව හිමිකම් කඩ වෙනවයි බරපතල ලෙස කියලා මානව හිමිකම් කොමිසමට කරුණු ඉදිරිපත් කරලා තියෙනවා,” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ ජනාධිපති මන්දිරයට මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවා පසුගිය 26 දා පැවැත්වූ විශේෂ හමුවකදීය.

දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ගණනාවක් මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා ද ශ්‍රී ලංකාවේ වර්තමානයේත් සිදුවන වධහිංසා, පැහැරගැනීම් සහ ලිංගික ප්‍රචණ්ඩතා ඇතුළු කෙලෙසීම් සම්බන්ධයෙන් වාර්තා සම්පාදනය කර තිබේ.

අත් අඩංගුවේදී වධහිංසා පමුණුවන බව මෙන්ම උතුරේ හමුදා විසින් බියගැන්වීම් සිදුකරන බවට රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ද තහවුරු කර ඇත.

යුද අපරාධ ඇතුළු මානව විරෝධී කෙලෙසීම් සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ට කිරීමට ශ්‍රී ලංකාවේ රජය පියවර නොගන්නා බවට ජාත්‍යන්තර වශයෙන් කරුනු දක්වන සංවිධාන මහින්ද රාජපක්ෂ පාලනය සේම වර්තමාන ජනාධිපතිවරයා විසින් ද හෙලා දකින ලද්දේ එල්ටීටීඊ හිතවාදී ලෙස හඳුන්වමිනි.

කලින් සිද්ධ වෙච්ච දේවල්:

 ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් යුද සමයේ කළ බවට චෝදනා එල්ලවෙන මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් ප්‍රකාශ කරමින් රටේ “අවුල් සහගත තත්වයක්” ඇතැයි පෙන්නුම් කිරීමට එම සංවිධාන උත්සාහ කරන බව ජනාධිපතිවරයා කියා සිටියේය.

ඔහු විසින් එම අපරාධ හඳුන්වන ලද්දේ “කලින් සිද්ධ වෙච්ච දේවල්” යනුවෙනි.

“කලින් සිද්ධ වෙච්ච දේවල් පිළිබඳව ප්‍රශ්න තියෙනවා නම්, ඒවා සඳහා අපිට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඉඩකඩ තියෙනවා,” යි ජනාධිපතිවරයා කියා සිටියේ ය.

“ඇතැම් රටවල ඉන්න රාජ්‍ය නොවන සංවිධාන, ඇතැම් එල්ටීටීඊ සංවිධානයට හිතවත් සංවිධාන, ඒගොල්ලෝ ජිනීවා වල එක එක ප්‍රකාශ ජාත්‍යන්තරයට කරනවා. මම දන්නා විදියට අපේ රටට එහෙම නරක තත්වයක් නෑ. මම සහ මගේ රජය හොඳ තැනකට ලෝකය ගෙනල්ලා තියෙනවා.”

මානව හිමිකම් ආරක්ෂා කිරීම හදිසියේ කළ හැකි දෙයක් නොවන බව තමන් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් වරයාට ද පැහැදිලි කරදී ඇතැයි කී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, ඒ බව වටහා ගත් නිසා ජගත් බලවතුන් රටේ සංහිඳියාව ඇති කිරීමට තවත් කල් දී තිබෙන බව පැවසීය.

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සහ සංහිඳියාව සම්බන්ධයෙන් 2015 ඔක්තෝබරයේ ජිනීවා නුවරදී සම්මත කරගත් යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා 2019 මාර්තුව දක්වා කල් දීමට 2017 මාර්තුවේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය එකඟ විය.

යුද පීඩිතයන්ට යුක්තිය ඉටු කිරීමේදී අවශ්‍ය වේගයෙන් පියවර නොගන්නා බවට අද රජයට දොස් පවරන දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන කිහිපයක්ම 2017 දී කියා සිටියේ ශ්‍රී ලංකාවට දෑවුරුද්දක් කල් දිය යුතු බවයි.

ජගත් මානව හිමිකම් ප්‍රධානියා සහ රාජ්‍ය නායකයන් හට “බොහොම පැහැදිලිව කියා තියෙනවා මෙවැනි කටයුතු කිරීමේදී ඒ සඳහා අවශ්‍ය රටේ පසුබිම හැමවිටම තේරුම් අරගෙන, මේ කටයුතුවලට මට ඉඩකඩ දෙන්න,” යනුවෙන් ජනාධිපතිවරයා මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

වගකිවයුත්තන්ට දඬුවම් පමා වීම සැක කටයුතුයි :

Sirisena and Zeidඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය අනුව රට තුල මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට තමන් බැඳී සිටියත් එය ක්‍රියාවේ යොදවන්නට යාමෙන් ජාතීන් අතර අසමගියක් ඇතිවෙතැයි ඔහු බිය පල කළේය.

“මානව හිමිකම් පිළිබඳ ඇතැම් කාරනා සිද්ධ කරන්න ගිහිල්ලා ජාතීන් අතර අසමගිය ඇති කරන්න බෑ.”

ජිනීවා නුවරදී ගිවිසගත් එකඟතා ක්‍රියාත්මක කිරීම “නිදහසේ කරගෙන යන” ලෙස එක්සත් ජාතීන් ඇතුළු රාජ්‍ය නායකයන් තමන්ට කියා සිටි බව ජනාධිපතිවරයා කියා සිටියේය.

කෙසේවෙතත්, පසුගිය රජය සමයේ මාධ්‍යවේදීන් ඇතුළු විවිධ පුද්ගලයන්ට එරෙහිව සිදුකරන ලද අපරාධ සම්බන්ධ පරීක්ෂණ 2016 වනවිට අවසන් වී ඇතත්, ඒ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගැනීම පමා වීම ගැන ඔහු සැක පහල කළේය.

බැඳුම්කර කොමිසම ඇතුළු විමර්ශන වාර්තා වලින් හෙළිවී ඇති දූෂණ වංචා පිළිබඳ පරීක්ෂණ වලක්වා ලීමට දේශපාලන බේදයකින් තොරව “අශුද්ධ සන්ධානයක්” ගොඩනගා ගෙන ඇතැයි ජනාධිපතිවරයා චෝදනා කරයි.

වංචා දූෂණවලට එරෙහිව පරික්ෂණ සිදුකරන නිලධාරින් සහ ආයතන දුර්වල කිරීමට ඉඩ නොතබා ඔවුන් දිරිමත් කරන මෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මාධ්‍යවේදීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

(radiogagana)

වීඩියෝ