තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියා කොබෙයියාමයි : අගමැති රනිල් රාජපක්ෂ පවුලම කොබෙයියන් කරයි !

තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියා කොබෙයියාමයි : අගමැති රනිල් රාජපක්ෂ පවුලම කොබෙයියන් කරයි !

දස වසරක් බලයේ සිටි රාජපක්‍ෂ පාලනයට රට දියුණු කිරීමට නොහැකි වූ බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැන් ඇඳුම හා පාට වෙනස් කරමින් නැවත පැමිණිය ද සිදුවන්නේ පරණ පුරුදු ක්‍රියාදාමයම බවත්, කිරෙන් බැද්දත්, තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියෙකු මිස රාජාලියෙකු බවට පත් නොවන බව පැවසීය.

අද (11) කුරුණෑගලදී පැවති වගා හානි වුවන්ට වන්දි ලබා දිමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වී ගත වූ වසර කිහිපය තුළ විනාශ වී තිබූ රට විවිධ අභියෝග මධ්‍යයේ යළි ගොඩගෙන සංවර්ධනය කරමින් සියලූ රටවැසියන්ට ශක්තිමත් අනාගතයක් ගොඩනඟාදීමට පියවර ගත් බවත් එම වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන ගොස් දියුණු රටක් බවට ශ්‍රී ලංකාව පත් කරනවා ද එසේත් නැතිනම් නැවත විනාශකාරී යුගයකට ඇද දමනවා ද කියා තීරණය කළ යුතු කාලය එළඹ තිබෙන බවත් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.

මහින්ද රාජපක්‍ෂ පාලනයට වසර 10ක් රට සංවර්ධනය කිරීමට නොහැකි වුණා. එසේ නම් නම වෙනස් කරමින් බලයට පැමිණ ඔවුන්ට රට සංවර්ධනය කළ හැකි ද කියා මා විමසා සිටිනවා. යුද්ධය අවසන් වුණාට පසු රටේ සංහිදියාව ඇති වුණේ නැහැ. ඒ වෙනුවට ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වී තිබුණා. නමුත් සියලූ අභියෝග මධ්‍යයේ වසර 05 ක් තුළ අපි සංහිඳියාව ඇති කරමින් ඉදිරියට පැමිණියා.

රාජපක්‍ෂ පාලනයේ වසර 10 තුළ මෙරට අපනයනය 30% සිට 18% දක්වා පහත වැටුණා. ජී.එස්.පී. ප්ලස් සහනය නැති වුණා. රට ලෝකය හමුවේ හුදකලා වුණා. නමුත් වසර 05 ක් තුළ මේ සියල්ල යළි ගොඩනඟමින් රට සංවර්ධනය කරා ගෙන යාමට අපට හැකි වුණා.

වසර 10 ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය ආරක්‍ෂා කරන්න ඒ පාලකයින්ට හැකි වුණේ නැහැ. එදා මාධ්‍ය නිදහස තිබුණේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කළේ නැහැ. සුදු වෑන් සංස්කෘතියක් රටේ ඇති වී තිබුණා. හැම අතින්ම රට පිරිහීමකට ලක්ව තිබුණා. සෞඛ්‍ය, අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වෙන් කළේ නැහැ. නැවත මෙවැනි විනාශකාරී යුගයකට ගමන් කරනවා ද එසේත් නැති නම් ගත වූ වසර 05 තුළ සිදු කරගෙන ආ වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන ගොස් රට දියුණු කර අනාගතය ගොඩනඟා ගන්නවා ද කියා ජනතාව තීරණය කළ යුතුයි.

වසර 10 කින් සංවර්ධනය කිරිමට නොහැකි වූ රට නැවත සංවර්ධනය කළ හැකි ද? ඇඳුම් හා මුහුණ මාරු කිරීමෙන් වෙනසක් සිදු වන්නේ නැහැ. කිරෙන් බැද්දත්, තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියාමයි. මොනවා කළත් කොබෙයියා රාජාලියෙක් වෙන්නේ නැති බව ජනතාව තෙරුම් ගත යුතුයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න