Language Switcher

V2025

බැඳුම්කර නිර්දේශ ක්‍රියාවට නගන්න - පළමු සංශෝධනය අල්ලස් පනතට ! - ජනාධිපති පක්ෂ නායක හමුවේදී හෙළිවෙයි

බැඳුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාවේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසන් සභා පනත සංශෝධනය කිරීමට අදාළ කෙටුම්පත් මේ වන විටත් සකස් කර අවසන් වෙමින් ඇති බවත් එය ඉදිරි සති කිහිපය තුළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ පක්ෂ නායක හමුවේදී පැවසුණු කරුණු ඇසුරෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන්ව ඇත.

එසේම අදාළ පනත 1994 සිට මේ දක්වා සංශෝධනය වී නොමැති බවත් එම පනත ඇතුළුව බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නව නීති සම්පාදනය සහ පවතින අණපනත් සංශෝධනය කිරීමේ කෙටුම්පත් මේ වන විට සකස් වෙමින් පවතින බවත් එම නිවේදනයේ සඳහන්ව ඇත.

මේ පිළිබඳ අනාවරණය කළ පක්ෂ නායක හමුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර එහිදී බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව නඩු පැවරීම් සහ රජයට සිදුවූ අලාභය නැවත අයකර ගැනීම සඳහා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳවද අවධානය යොමුවූ බවද එම නිවේදනයේ සඳහන් කර ඇත.

එසේම ඊට අදාළව මේ වන විට කි‍්‍රයාත්මක කරමින් පවතින වැඩපිළිවෙළ පිළිබඳවද නීතිපතිවරයා, මහබැංකු අධිපතිවරයා මෙන්ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කරුණු ඉදිරිපත් කිරීමක්ද සිදුව ඇති අතර කොමිසන් සභාවේ නිගමනයන් හා නිර්දේශ මත ශී‍්‍ර ලංකා මහ බැංකුවේ කළයුතු වෙනස්කම්වලට අදාළව ද නව සැලැස්මක් මේ වන විට සකස් කරමින් පවතින බවද එහිදී සඳහන් කර තිබේ.

පිටු අඩු නෑ - නැත්තෙ සංවේදී තොරතුරු

එහිදී බැඳුම්කර වාර්තාවේ පිටු අඩු බවට පළවන වාර්තා සම්බන්ධවද අදහස් පළකර ඇති අතර එහිදී මහ බැංකු නිලධාරීන් තහවුරු කර ඇත්තේ බැඳුම්කර ගනුදෙනුවට අදාළව අනු ලිපි ලේඛණ විශාල ප‍්‍රමාණයක් පවතින බවත්, ඒ අතර අදාළ නඩු කටයුතු කි‍්‍රයාත්මක වන තුරු රහස්‍ය භාවය ආරක්ෂා කළයුතු ලිපි ලේඛන පවතින බැවින් ඒවායේ රහස්‍ය භාවය සුරැකීමට සිදුව ඇති බවත්ය.

සතියකට වරක් ප්‍රගති සමාලෝචනයක්

එසේම අදාළ පුද්ගලයන්ට නඩු පැවරීම, රජයට සිදුවූ අලාභය නැවත අයකර ගැනීම සහ කොමිසමේ සියලූ නිර්දේශ අඛණ්ඩව, කාර්යක්ෂමව, ප‍්‍රමාදයකින් තොරව කි‍්‍රයාත්මකවීම පිළිබඳ ජනාධිපති ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් අදාළ අංශ ප‍්‍රධානින් සතියකට වරක් ප‍්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වීමට කටයුතු කරන බවද මෙහිදී අනාවරණය කර ඇත.

පක්ෂ නායක හමුවේ ජවිපෙ වර්ජනය කරලා

මෙම පක්ෂ නායක හමුව සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ කිහිපයක් සහභාගී වී නොමැති අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය, ඊළාම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා ලිබරල් පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා කම්කරු කොංග‍්‍රසය, ශී‍්‍ර ලංකා කොමියුනිට්ස් පක්ෂය මේ අවස්ථාවට සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.