අපේක්ෂකයා කවුරු වුණත් එජාපයට : මනෝගේ සහය ස්ථිරයි !

අපේක්ෂකයා කවුරු වුණත් එජාපයට : මනෝගේ සහය ස්ථිරයි !

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, එක්සත් ජාතික පෙරමුණ සමග සන්ධානයක සිටින බවත්, මීළඟ ජනාධිපති අපේක්‍ෂකයා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් විය යුතු බවත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන් පැවසීය.

එක්සත් ජාතික පක්‍ෂය තුළ පවතින භේද නිසා ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීම ප්‍රමාද වී ඇති අතර, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, ජනාධිපතිවරණය සඳහා පමණක් පිහිටුවනු ලැබූ සන්ධානයක් නොව, ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය සඳහාද පිහිටුවනු ලැබූ සන්ධානයක් බවද අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ මෙසේද දැක්වේ,

"දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, එක්සත් ජාතික පෙරමුණ සන්ධානයක සිටින අතර, ඉදිරියටත් එසේම පවතිනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය බිහිකිරීමේ පවතින අනිසි ප්‍රමාදය හා ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීමේදී පවතින ප්‍රමාදය පිළිබඳ අප කනගාටුවට පත්ව සිටිමු.

මෙම නව සන්ධානය, එක්සත් ජාතික පක්‍ෂය සහ දෙමළ ජාතික සන්ධානයද ඇතුලුව, එක්සත් ජාතික පෙරමුණේ අනෙකුත් හවුල්කරුවන්ගේ අන්‍යෝන්‍ය එකඟත්වය ඇතිව පිහිටුවනු ලබන එකකි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්‍ෂයේ වියදමින් පිහිටු වීමට අපි බලකර සිටින්නේ යැයි එම පක්‍ෂයේ කිසිවෙකුට කිව නොහැකිය. මෙම නව සන්ධානය පිහිටු වීමෙන් සන්ධානය තුළ සිටින සෑම සියලු අයෙකුටම ප්‍රතිලාභ ලැබේ. එය, එක්සත් ජාතික පක්‍ෂයේ සහ නව සන්ධානයේ පාක්‍ෂිකයන්ගේ උපරිම උද්යෝගය යටතේ බිහිවනු ඇත. මෙම නව සන්ධානය, අපගේ උනන්දුව මත පමණක් පිහිටුවන ලෙස අපි ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව පීඩනයට ලක් නොකරමු.

ඊළඟ ජනාධිපති අපේක්‍ෂකයා වශයෙන් එක්සත් ජාතික පක්‍ෂයෙන් අයෙකු ඉදිරිපත් විය යුතු බවට අප විසින් මීට පෙර දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. පසුගිය අවස්ථා දෙකකදීම තරග කළ පොදු අපේක්‍ෂකයන් වශයෙන් ඉදිරිපත් වූ දෙදෙනොම එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය නොකළ අය වූහ. එබැවින් අපගේ නව සන්ධානයේ පොදු අපේක්‍ෂකයා වශයෙන් එක්සත් ජාතික පාක්‍ෂිකයෙකු සොයාගැනීම ඉතා සාධාරණ වේ.

මේ බැව් අප විසින් මේ වනවිටත් එක්සත් ජාතික පක්‍ෂය වෙත දැනුම්දී ඇත. එම නිසා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් කරනු ලබන අපේක්‍ෂකයා නම් කොට ඒ බැව් අපට දැනුම්දීම එම පක්‍ෂයට භාරය. අපි අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්‍ෂය නම් කරන ජනාධිපති අපේක්‍ෂකයා පිළිබඳ සලකා බලා කටයුතු කරන්නෙමු. අපගේ කිසියම් අයෙක් මේ සඳහා එකඟ නොවන්නේ නම්, ඔවුන්ට වෙනත් මාර්ගයක් සොයාගත හැකිය.

එහෙත් ඉහත කී ප්‍රමාදය වෙනුවෙන් නව සන්ධානයේ කිසිවෙකු වරදකරුවෙකු කිරීමට එක්සත් ජාතික පක්‍ෂයේ කිසිවෙකුට කළ නොහැකිය. එක්සත් ජාතික පක්‍ෂය තුළ තිබෙන අභ්‍යන්තර ගැටුම් අවාසනාවන්ත ලෙස පිටතට පැමිණ ඇත. එය කනගාටුවට කරුණකි. එම නිසා, මෙම අවස්ථාවට අනුව කටයුතු කරන ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන්, එහි කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සහ පාර්ලිමේන්තු කණ්ඩායමෙන් මම ඉල්ලා සිටිමු.

පිහිටුවනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, ජනාධිපතිවරණය සඳහා පමණක් නොවන අතර, ලබන වසරේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය සඳහාද බලපායි. ජනාධිපතිවරණය වෙනුවෙන් නව සන්ධානයක් පිහිටුවීමත් ඉදිරි මැතිවරණවලදී එය හෙළා දැමීමත් අප අනුමත නොකරමු.

එක්සත් ජාතික පෙරමුණ තුළ සිටින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන පක්‍ෂය සහ හෙළ උරුමය යන පක්‍ෂවල නායකයන්ගේ අදහස් මට කිව නොහැකිය. එහෙත් ඔවුන්ද මාගේ මතයේම සිටින බවට මට විශ්වාසයි."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න