Language Switcher

V2025

රටපුරා වෛද්‍ය වර්ජනයක්: අඛණ්ඩ වර්ජනයක් ද? තීන්දුව අද

ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් අද (ජනවාරි 30) දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

වර්ජනය එක් දින වර්ජනයක් ද නැතිනම් අඛණ්ඩ වර්ජනයක් ද යන්න සිය සංගමය පසුව දැනුම්දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය නවින් ද සොයිසා මහතා කියා සිටියේය.

මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි නොකිරිම මුල් කරගනිමින් ඉහත කී වර්ජනය පැවැත්වුවත් තවත් වෘත්තීය ඉල්ලීම් ගණනාවක් ඉටු නොකිරීමට විරෝධය පෑම ද වර්ජනයේ එක් අරමුණක් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

තම ඉල්ලීම් ඉටු නොකළහොත් වර්ජනයක් සඳහා යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය 15 වෙනිදා සෞඛ්‍ය බලධාරීන් වෙත ලිපියක් යවමින් දැනුම්දී තිබුණි.

කෙසේ වෙතත් ඒ සඳහා රජයෙන් යහපත් ප්‍රතිචාර හිමි නොවූ බව අද වර්ජනය කැඳවමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටී.

 ඉල්ලීම් මොනවාද?

සයිටම් අර්බුදයට අමතරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට ඉදිරිපත් කර ඇති ඉල්ලීම් පහත දැක්වේ.

  • මූලික වැටුපට අනුපාතිකව වෛද්‍යවරුන්ගේ අතිකාල දීමනා සංශෝධනය කිරීම 
  • කැබිනට් පත්‍රිකා යොදාගනිමින් රාජ්‍ය සේවයේ තෝරාගත් ඛාණ්ඩ සඳහා ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් වැටුප් ලබාදීමට දෙන උත්සාහයට විරෝධය පළකිරීම
  • වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන දිමනාව වර්තමානයට ගැලපෙන පරිදි සංශෝධනය නොකිරීම
  • තීරු බදු සහන සහිත වාහන බලපත් ක්‍රමයේ වටිනාකම පහත දැමීමේ යෝජනාවලට විරෝධය
  • රාජ්‍ය සේවයේ වෘත්තීයවේදී ඛාණ්ඩ සඳහා ලබාදෙන දීමනා මත ඇතිකර තිබු බදු සහන ඉවත් කිරීමට විරෝධය පළකිරීම
  • වෛද්‍යවරුන්ට ලබාදෙන සන්නිවේදන දීමනාව රුපියල් 4,000 සිට 2,500 දක්වා අඩුකිරීමට විරෝධය
  • පුද්ගලික වෛද්‍ය සේවා නියාමන අධිකාරි පනතට ලබාදුන් සංශෝධන ක්‍රියාත්මක කිරීමකින් තොරව බලහත්කාරී ලෙස ක්‍රියාත්මක කිරීමට යාම.

Hospital on strike 2වෛද්‍ය වර්ජනය නිසා 'තැලෙන්නේ අපි තමයි'

පුද්ගලික වෛද්‍ය සේවා නියාමන වැඩපිළිවෙලට විරෝධයක් ද ?

ඉහත කී වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය හරහා ජනතාවට වන බලපෑම් පිළිබඳ වගකීම "අත්තනෝමතිකව වෛද්‍යවරුන්ගෙන් පළිගන්නා" බලධාරීන් භාර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ පෙබරවාරි 04 වෙනිදා එළිදැක්වීමට නියමිත පුද්ගලික වෛද්‍ය සේවා නියාමන වැඩපිළිවෙලට විරෝධය පළකරමින් වෛද්‍යවරුන් මෙම වර්ජනයේ යෙදෙන බවය.

සයිටම් අර්බුදයට මෙන්ම අනිකුත් ඉල්ලීම්වලට සාධාරණ විසදුම් ලබාදී තිබියදී මෙලෙස වර්ජනය කිරීම අසාධාරණ බව ඔහුගේ අදහස විණි.

කුමන බාධක පැමිණියත් ලබන 4 වෙනිදා වන විට පුද්ගලික වෛද්‍ය සේවා නියාමන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ඔහු අවධාරණය කර සිටියේය.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉරිදා පැවති උත්සවයකදී අදහස් දක්වමින් ලබන 4 වෙනිදා පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කර තිබුණි.

hospital 1000px

"අද දින මට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන රෝගියෙක් කතා කළා. එම රෝගියා රෝහලට ඇතුලත් කර ඇත්තේ හෘද සැත්කමක් සදහායි. එම පෞද්ගලික රෝහල රෝගියාට පළමුව ප්‍රකාශ කර තිබෙනවා හෘද සැත්කම සදහා රුපියල් ලක්ෂ 07 ක මුදලක් වැය වෙනවා කියලා. සැත්කම සිදු කළ පසු රුපියල් ලක්ෂ 12 ක් ඉල්ලා තිබෙනවා,"

"නමුත් රෝගය සුව නොවීම නිසා එම රෝගියා තවමත් ඉන්නේ රෝහලේ. මේ වන විට බිල රුපියල් ලක්ෂ 18 ක් වෙලා. මේ නිසා රෝගීන් දැඩි අසීරුතාවයට පත්ව සිටිනවා. එම නිසයි පෞද්ගලික රෝහල් නියාමනය කළ යුත්තේ," යනුවෙන් සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කර තිබුණි.

පුද්ගලික රෝහල්වලින් අයකරන එක් එක් ගාස්තු සඳහා උපරිම මිලක් නියම කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය බලාපොරොත්තු වේ.

මේ අතර ඉරිදා මාධ්‍ය හමුවක් අමතමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටියේ පෙබරාවාරි 10 වෙනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය අවසන් වන තෙක් වෘත්තීය ක්‍රියාමාර්ගවල නොයෙදෙන ලෙසය.

(බීබීසී සිංහල සේවය)