Language Switcher

V2025

සුළු පක්ෂ නායකයන් - අගමැති රනිල් අතර : තීරණාත්මක සාකච්ඡාවක් අද !

ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කව්රුන්ද යන කාරණය නිරාකරණය කර ගැනීම සඳහා ආණ්ඩුව නියෝජනය කරන දෙමල හා මුස්ලිම් ජාතික පක්ෂ නායකයින් අද (27) පස්වරු 5.00ට අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ජා කිරීමට නියමිතය.

ජනමතයට හිසනමා ජනාධිපති අපේක්ෂකයා ලෙස කරු ජයසුරිය හෝ සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කරන්නැයි එම පක්ෂ නායකයින් අද පැවැත්වෙන මෙම සාකච්ජාවේදී අගමැති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තුවන බවත් වාර්තාවේ.

එක්සත් ජාතික පක්ෂය විසින් නම් කරන ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන තෙක් අලුතින් මැතිවරණ සන්ධාන ගැසීමට සුදානම් නැති බව එම පක්ෂ මේවනවිටත් අගමැතිවරයා වෙත දැනුම් දී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය පිළිබඳව නිල දැනුම් දීමක් කර නැතත්, තමන් "අනිවාර්යයෙන් ම එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා" යැයි සජිත් ප්‍රේමදාස ට්විටර් ඔස්සේ පළ කර තිබිණි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ එකඟත්වයෙන් යුතුව තමන්ට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා දුනහොත් සීමිත කාලයකින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ බලාපොරොත්තුවෙන් තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කථානයක කරු ජයසූරිය එක්සත් ජාතික පක්ෂයට දන්වා ඇත.

ඔහු මේ බව දන්වා ඇතිතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායම්වලින් පැමිණි ඉල්ලීම්වලට ප්‍රතිචාර ලෙසය.

කෙසේවෙතත් පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් තීව්‍ර කරමින් අනෙක් පුද්ගලයන් කපා දමමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමා බලාපොරොත්තු නොවන බව බවද ඔහු එහිදී කියා ඇත.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂ නායකත්වය ආරක්ෂා කිරීම පිණිස කරු ජයසූරිය මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ඇතැයි පැතිර යන ආරංචි සත්‍යයකින් තොර බවද ඔහු කියා ඇත.

'අපේක්ෂකයා ප්‍රශ්නයක් නෙමෙයි'

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය සම්බන්ධයෙන් ඇති ගැටළුව තවදුරටත් වර්ධනය වීමට ඉඩ නොතබා ඒ සඳහා කඩිනමින් පිළිතුරක් සොයාගත යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක 'නෙත් නිව්ස්' වෙත අද (27) පැවසිය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට තවත් කල් ඇතත් ජනාධිපති අපේක්‍ෂකයා සම්බන්ධයෙන් නිල තීරණයක් ප්‍රකාශයට පත් කිරීම මේ මොහොතේ ඉතා වැදගත් බව ඔහු එහිදී කියා සිටියේය.

අගෝස්තු 19 සඳුදා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවේ, එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුරුන් ද යන්න පිළිබඳව තමන්ට ප්‍රශ්නයක් නොමැති අතර සිය පක්ෂයේ ප්‍රතිපත්ති පිළිගන්නේ නම් ඔහුට සහය දෙන බවය.

අමාත්‍ය රාජිත සේනාරත්න සිටින්නේ ද එම ස්ථාවරයේ බව 'ද ලීඩර්' වෙත වාර්තාවේ.

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය සම්බන්ධයෙන් මේ මස අවසන්වීමට පෙර ප්‍රකාශයක් සිදුකරන බව එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මීට පෙර ප්‍රකාශ කර තිබිණ.