Language Switcher

V2025

ගස් ගල් යට සිසුන් තියලා උගන්වන්න වෛද්‍ය පීඨ හදන්නේ නැහැ - රාජිත

"අපි ගස් ගල් යට සිසුන් තියලා උගන්වන්න වෛද්‍ය පීඨ හදන්නේ නැහැ" යැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේ කුලියාපිටිය මූලික රෝහල ශික්ෂණ රෝහලක් බවට උසස් කර සංවර්ධනය කිරීම යටතේ නව ඉදිකිරීම් කටයුතු සදහා මුල්ගල් තැබීමේ මහෝත්සවයට පසුගියදා (31) එක් වෙමිනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ සහභාගීත්වයෙන් කුලියාපිටිය ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ දී එය සිදු කෙරිනි.

කුලියාපිටිය රෝහල 1813 වර්ෂයේ දී ප්‍රාදේශීය රෝහලක් ලෙස ආරම්භ වී ඇති අතර, එදින සිට දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයෙකුගේ පාලනය යටතේ දිස්ත්‍රික් රෝහලක් ලෙස පවත්වාගෙන යන ලදි. අනතුරුව වයඹ පළාත් සභාවේ ඒ ශ්‍රේණියේ මූලික රෝහලක් ලෙස උසස් වී වෛද්‍ය අධිකාරිවරුන් යටතේ පාලනය වූ අතර, 2019.01.25 දින සිට ක්‍රියාත්මක වන පරිදි මධ්‍යම රජය යටතට පවරාගෙන ශික්ෂණ රෝහලක් ලෙස උසස් කරන ලදි.

මීට අමතරව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් කුළියාපිටිය ප්‍රදේශයට දැඩි අවශ්‍යතාවයක්ව පැවැති රාජ්‍ය ඔසුසලක් ස්ථාපිත කිරිම හා ඒ සදහා රෝහල් පරිශ්‍රය තුල මහල් 12 කින් සමන්විත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල්ගල තැබීම ද සිදු කරන ලදි. එහි පළමු මහල ඔසුසල හා රෝහල් ආපනශාලාව සදහා ද, ඉහළ මහල චර්මරෝග සායන සදහා ද යොදා ගැනීමට නියමිතය. මෙම ඉදිකිරිම් සදහා දායකත්වය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සපයනු ලබයි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“අද උත්සව ගණනාවකට අපි සහභාගි වුනා. ඉන් ඉතාම වැදගත් වැඩ දෙකක් තිබෙනවා. එකක් තමයි අපි වයඹට වෛද්‍ය පීඨයක් එක්කලා. මේ රජය යටතේ අපි හදන දෙවනි වෛද්‍ය පීඨයි එයයි. සබරගමුවට තව වෛද්‍ය පීඨයක් හැදුවා. වෛද්‍ය විද්‍යාව හැදෑරීම සදහා සිසුන් 110 ක් බදවා ගත්තා. අපි දැවැන්ත සංවර්ධනයකට රත්නපුර රෝහල ලක් කළා. මේ ශික්ෂණ රෝහල් හදලා තිබෙන්නේ බෝඩ් ලෑලි වෙනස් කරලා නොවෙයි. අංග සම්පූර්ණ ශික්ෂණ රෝහල් ලෙස. රෝහලෙහි ප්‍රධාන සැළැස්මෙහි (Master Plan) පළමු අදියර යටතේ ඉදිකිරිම් සදහා රුපියල් මිලියන 15,388.63 ක්ද, වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සදහා රුපියල් මිලියන 2,095.16 ක්ද බැගින් පළමු අදියර සදහා සමස්ථ ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 17,512.16 ක් වෙනවා. රෝහලෙහි ප්‍රධාන සැළැස්මෙහි පළමු අදියරේ ප්‍රතිපාදන යටතේ යෝජිත ඉදිකිරීම් වලට අනුව ශික්ෂණ රෝහලට සහ වයඹ විශ්ව විද්‍යාලයට අවශ්‍ය මහල් 09 කින් යුත් මහාචාර්ය ඒකකය ඉදිකිරීම සදහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 7,963.93 ක්. මහල් 15 කින් යුත් හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකය සහ වාට්ටු සංකීර්ණය සදහා ඇස්තමේන්තු ගත මුදල 5,535.72 ක්. සේවා ගොඩනැගිල්ල සදහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 74.13 කි. මහල් 09 කින් යුත් වෛද්‍ය නිල නිවාස සංකීර්ණය ඉදිකිරිම සදහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 1,412.82 ක්. පස්මහල් ගොඩනැගිල්ල, බාහිර රෝගී අංශය සහ පරිපාලන ගොඩනැගිල්ල නවීකරණය කිරීම සදහා රුපියල් මිලියන 403.01 ක මුදලක් ඇස්තමේන්තු ගත මුදලක් අපි යොදවනවා. මෙම සංවර්ධන කටයුතු ජර්මන් රජයේ සහන ණය ආධාර යටතේ සිදු කරන්නේ. මෙහි පොලිය සියයට දශම හතරයි හතයි. ගිය ආණ්ඩුව ගත්තා වගේ සියයට 8 වාණිජ ණය නොවෙයි. මේ රජය යටතේ ගත්ත හැම ණය ආධාරයක්ම එහෙමයි. බොහෝ ආධාර ඔස්ට්‍රේලියාවෙන් ගත්තා. පොලියක් නැහැ. අවුරුදු 03 ක කාලයක් ගෙවන්න ඕනිත් නැහැ. රෝහල් හදන්න ලොකු ආධාර ගත්ත ඒවා පොලිය සියයට 1.1 යි. සියයට 2 කට අඩුව තමයි සියළුම ණය ලබාගත්තේ. මේ අවුරුද්දේ විතරක් ගිය ආණ්ඩුව ගත්ත වාණිජ ණයත් එක්ක අපි ගෙවනවා. ඩොලර් බිලියන 9.46 ක්. කිසිම දවසකක කිසිම ආණ්ඩුවක් මෙවැනි ණයක් ගෙවලා නැහැ. මේ ණය ගෙවාගන්න බැරිව ආණ්ඩුව වැටෙනවා කියලා සමහරු හිතුවා. මේ ණය උගුලෙන් අපිව බේරගන්න විදෙස් රටවල් පවා අපට උදව් කළා. මේ සියලු දේ මධ්‍යයේ තමයි මේ සියලු සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ. මේ වනවිට සෞඛ්‍ය සංවර්ධනය සදහා පමණක් රුපියල් බිලියන 450 ක් මම වියදම් කරලා තිබෙනවා. ඒ විදෙස් ණය ආධාර. රජයේ මුදල් වියදම් කරලා තිබෙනවා බිලියන 100 ක්. ඔක්කොම බිලියන 550 ක්. 48 ඉදලා වියදම් කරපු ගාණ බැලුවම මීට වඩා අඩුයි.

ඊළඟ වෛද්‍ය පීඨය මොරටුවට !

තුන්වන වෛද්‍ය පීඨය මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධව හදනවා. ඒක බිහිවෙන්නේ මගේ ආසනයේ කළුතර දිස්ත්‍රික්කයේ. හතරවන වෛද්‍ය පීඨය කරාපිටියේ ඒ සදහා අවශ්‍ය පසුබිම අපි සකස් කරමින් පවතිනවා. විශාල ලෙස සංවර්ධන කටයුතු දැන් සිදු කෙරෙනවා. මේ දෙකට විතරක් වෛද්‍ය ශිෂ්‍යයෝ ගන්න ප්‍රමාණය 335 ක් වැඩි කරලා තිබෙනවා. වෛද්‍ය සිසුවෙකුට සීට් එකක් දෙනවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. කෝටි ප්‍රකෝටි ගාණක් වියදම් කරන්න ඕනි. ඒ වගේම පහසුකම් ලබාදෙන්න ඕනි. රෝහල් පද්ධතිය පුළුල් කරන්න ඕනි.”

අලුත් පීඨ 23ක් !

“පසුගිය රජයෙන් රජරට වෛද්‍ය පීඨයක් හැදුවා අනුරාධපුර රෝහල එහෙමම තිබිය දීම. මෙහෙම වියදම් කළේ නැහැ. වෛද්‍ය පීඨයකට අවශ්‍ය සියලු පහසුකම් අපි ගොඩනගනවා. අපි ගස් ගල් යට සිසුන් තියලා උගන්වන්න වෛද්‍ය පීඨ හදන්නේ නැහැ. අර රජරට හැදුවා වගේ. මේ වනවිට ශිෂ්‍යයින්ට අලුතෙන් පීඨ 23 ක් හදලා තිබෙනවා.ඒකෙන් 03 ක් වෛද්‍ය පීඨ. අනෙක් 12 ක් තාක්ෂණික පීඨ. නිකන් උගන්වන ඒවා නොවෙයි. උසස් අධ්‍යාපන සිසුන්ට නිවාස සංකීර්ණ 100 ක් ගොඩනගනවා. ඉන් එක් නිවාස සංකීර්ණයක සිසුන් 400 කට එකවර නේවාසික පහසුකම් ලබාදිමටයි අප රජය සැළසුම් කරමින් සිටින්නේ. සිසුන් 40000 කට නිවාස හැදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. ඉන් සෑම සිසුවෙකුටම නේවාසිකාගාර පහසුකම් හිමිවෙනවා. මහපොල ශිෂ්‍යත්වය 2500 සිට අපි 5000 දක්වා වැඩි කළා. විශ්ව විද්‍යාවලවලට ගන්න ප්‍රමාණය 6000 වැඩි කරලා තිබෙනවා. මේ ආකාරයෙන් සෑම දිස්ත්‍රික්කයකම දැවැන්ත රෝහලක් ඉදිවෙනවා. සියළුම නවීන උපකරණ මෙම ශික්ෂණ රෝහල සදහා ද ලබාදෙනවා. ගිය ආණ්ඩුවට වඩා 09 ගුණයක් පිළිකා රෝගීන් සදහා වැය කරනවා. නොමිලේ ස්ටෙන්ට්, අක්ෂී කාච, අපි ලබාදෙනවා.”

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා, අමාත්‍ය රවුෆ් හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා, සෞඛ්‍ය, සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, කුළියාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත,විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

කුළියාපිටිය ශික්ෂණ රෝහලේ රෝගී සත්කාරක සේවාවේ ගුණාත්මකභාවයේ උන්නතිය උදෙසා පිරිනමන දායකත්වය සදහා රෝහලේ කාර්ය මණ්ඩලය මගින් සමරු තිළිණ ප්‍රදානයක් ද මෙහිදි සිදු කෙරිනි.