Language Switcher

V2025

දියවන්නාවේ 225 ම දුෂිතයි :පොහොට්ටුවෙන් ඔබ්බට යන 'ගෝඨාස් ට්‍රෙන්ඩ්' (වීඩියෝ)

ගෝඨාබය රාජපක්ෂ වෙනුවෙන් 'පොහොට්ටු' පක්ෂය විසින් නිර්මාණය කෙරෙන ප්‍රචාරක වැඩපිළිවෙලට ඔබ්බෙන් වෙනම මාදිලියේ සමාජ මාධ්‍ය මෙහෙයුමක්

මේවනවිට සැලසුම් සහගතව ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ඉතාමත් විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් theleader.lk වෙත වාර්තාවේ. එහි නිර්මාණකරු ප්‍රවීන ප්‍රචාරක විශේෂඥයකු වන ගෝඨාබය රාජපක්ෂගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු බව ද එම ආරංචිමාර්ග පවසයි.

රට ගොඩනැගීම සඳහා යල්පැනගිය දුෂිත දේශපාලනය චරිත වෙනුවට අලුත් දේශපාලන චරිතවල අවශ්‍යතාවය අවධාරණය කෙරෙන මෙම මෙහෙයුම, ජනාධිපතිවරණයේදී ගෝඨාබය රාජපක්ෂ වෙනුවෙනුන් ද අනතුරුව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයක් ඉලක්ක කර ගනිමින් ද ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තුව තුල සිටින සියලු දෙනා දුෂිතයින් බව මෙම මෙහෙයුම හරහා අවධාරණය කෙරෙමින් සිටින අතර මෙහෙයුමේ සුවිශේෂී කාරණය වන්නේ මෙය ගෝඨාගේ දේශපාලන වැඩපිළිවෙලක් බව දැන හෝ නොදැන ඇතැම් කලාකරුවන් පමණක් නොව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ද 'දියවන්නා විරෝධය' විලාසිතාවක් ලෙස වැළඳ ගනිමින් ඊට දායකවී සිටීමයි.

මේ එවැනි කලා නිර්මාණයකි.

''WAYO සංගීත කණ්ඩායම විසින් මිට කලකට ඉහතදී සමාජ මාධ්‍ය වෙත මුදාහැරී ''දියවන්නාවේ බක බක ගාන ගෙම්බෝ ගොඩයි'' ගීතයද ගෝඨාගේ මෙම දේශපාලන ව්‍යාපෘතිය සඳහා යොදාගෙන ඇති බව පෙනේ.

නව දේශපාලන ප්‍රවණතාවක්:

මේ දිනවල අප රටේ සිදුවන ජනාධිපති අපේක්ෂක සටන් දෙස විමසිල්ලෙන් බලාසිටින පුරවැසියන්ට, අප රටේ දේශපාලනයේ සිදුවී ඇති සහ සිදුවෙමින් පවත්නා දේශපාලනයේ ව්‍යූහාත්මක සහ ආයතනික වෙනස්වීම් රාශියක් පිළිබඳවද ඉතා විශ්වාසජනක ඉඟිකිරීම් ගණනාවක්ම හඳුනාගත හැකිය.

එවැනි ඉඟිකිරීම්වලින් ප්‍රකාශවන දේශපාලන පරිවර්තනයේ ප්‍රවණතා සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රවීන දේශපාලන විචාරකයකු වන ආචාර්ය ජයදේව උයන්ගොඩ, ගෝඨාබයගේ දේශපලන සම්ප්‍රාප්තිය සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතකට යොමුකල විචාරයක මෙසේ සඳහන් වේ.

Sep 3 talk 3''පොහොට්ටුව පක්ෂ නායකත්වය විසින් තම ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය මහතා නම් කිරීම තුළින්, ලංකාව සහ ලෝක මට්ටමෙන් සිදුවන එක්තරා නව දේශපාලන ප්‍රවණතාවක් සංකේතවත් කරයි. එය නම්, ප්‍රතිෂ්ඨාපිත දේශපාලන පක්ෂවලින් ස්වාධීන ජනාධිපති අපේක්ෂකයන්ගේ නැගීම පිළිබඳ නව වෘත්තාන්තයයි.

මෙය පසුගිය අවුරුදු දෙක තුන තුළ ලෝකයේ රටවල් කිහිපයකින් ප්‍රකාශයට පත්වූ ප්‍රවණතාවයකි. ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ප්‍රවණතාවේ ඉතාම පැහැදිළි නියෝජිතයාය.

මෙවැනි ජනාධිපති අපේක්ෂකයන් සහ අළුත් පන්නයේ දේශපාලන නායකයන් නියෝජනය කරන පොදු ප්‍රවණතා කිහිපයක් තිබේ. ඔවුන් තම දේශපාලන පදනම ගොඩනගන්නේ ප්‍රතිෂ්ඨාපිත දේශපාලන පක්ෂවලට පිටතින් සහ ඒවාට ස්වාධීනව වීම පළමුවැන්නයි.

ඔවුන්ගේ දේශපාලන පදනම තමන්ගේම ධනය, පුද්ගලික සම්බන්ධතා, ව්‍යාපාරික හා වෘත්තීය සම්බන්ධතා මත ගොඩනගා තිබීම දෙවැන්නයි.

තුන්වැන්න, පවත්නා ප්‍රතිෂ්ඨාපිත දේශපාලන ආයතන, භාවිත, මතවාදයන් යනාදිය ප්‍රතික්ෂේප කරමින්, තමන් ඒ සියල්ලට විකල්ප ඉදිරිපත් කරන්නේය යන 'මිත්‍යාව' ප්‍රබල ලෙස ගොඩනැගීමයි.

ඒ අනුව මෙවැනි අය ඉදිරිපත් කරන්නේ‌ තමන්ගේ පුද්ගලිකත්වය වටා ගොඩනගන ලද දේශපාලන ප්‍රතිරූපයක් සහ දේශපාලන ව්‍යාපෘතියකි.

Sep 3 talk 4කාලයක් තිස්සේ ජනමාධ්‍ය, විශේෂයෙන් සමාජ මාධ්‍ය, යොදාගනිමින් ගොඩනගන පුද්ගලික කේන්ද්‍රීය ප්‍රචාරක ව්‍යාපාරයකින් පසු ඔවුන් කරන්නේ, තමන්ගේ අපේක්ෂකත්වය පිළිගන්නා ලෙස, තමන් සම්බන්ධකම් පවත්වන ප්‍රතිෂ්ඨාපිත දේශපාලන පක්ෂයට බලකිරීමයි.

එසේ කරමින්, ඔවුන් දේශපාලන අවකාශය තුළ ඉදිරියට එන්නේ, රටේ තිබෙන සියලුම ප්‍රශ්නවලට 'මැජික් විසඳුම්' තමන් සතුව ඇත යන මිත්‍යාවාද ගොඩනගමිනි. එසේ ගොඩනගන මිත්‍යාවේ එක් දේශපාලන යථාර්ථයක් තිබේ. එය නම්, සම්ප්‍රදායික ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයත්, එහි දෘෂ්ටිවාදීමය මූලධර්මත් ප්‍රතික්ෂේප කිරීමයි.

එබැවින් මෙවැනි දේශපාලන 'වීර පුරුෂයෝ' පශ්චාත් - ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන හා සමාජ සිද්ධියක්ද වෙති.

පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ පරිහාණිය, දේශපාලන බිඳවැටීම්, දූෂණය, අකාර්යක්ෂමතාව, ආර්ථික අවවර්ධනය යන මේවා නිසා සමාජයේ ඇති අතිමහත් අර්බුදය, මෙවැනි 'වීර පුරුෂයන්ගේ' මතුවීමට අවශ්‍ය සමාජ සහ සමාජ - මනෝවිද්‍යාත්මක අවකාශයද නිර්මාණය කරයි.

මෙපරිදි ගෝඨාභට රාජපක්ෂ නම් වූ ජනාධිපති අපේක්ෂක අපේක්ෂකයා අපට දැකිය හැක්කේ ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්, බ්‍රසීලයේ ජයිල් බොල්සෝනරෝ, පිලිපීනයේ රොඩ්රි‌ගෝ දුතර්තේ, බ්‍රිතාන්‍යයේ බොරිස් ජොන්සන් වැනි අලුත් පන්නයේ පශ්චාත් - ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලඥයන්ගේ මාදිලියේ තවත් කෙනෙකු ලෙසය.

මෙම නායකයන් සියලුදෙනාගේ පොදු ලක්ෂණයක් නම්, බැසිල් රාජපක්ෂගේ වචනයකින් කියන්නේ නම්, ප්‍රජාතන්ත්‍රවාදයේද 'කම්මුතුකාරයන්' වීමයි.''