Language Switcher

V2025

ඊළඟ ජනාධිපතිට බලයක් නෑ : 2020 ශ්‍රිලනිප ආණ්ඩුවක් හදනවා - සිරිසේන

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මීළඟට පත්වන ජනපතිවරයාට වඩා අගමැතිට බලය ඇති බැවින් අගමැති පත්කිරීම පිළිබඳව අවධානය යොමුකළ යුතු බව ජනාධිපති සිරිසේන පැවැසීය.

ඒ අද (03) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සංවත්සරය අමතමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති සිරිසේන මෙසේද පැවසීය.

“ අද මේ රටේ ප්‍රශ්නය කුමක්ද මේ රටේ දේශපාලන ක්ෂේත්‍රයේ සියලුම දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් රට වෙනුවෙන් කී දෙනෙක් දේශපාලනය කරවද? ජනතාව වෙනුවෙන් දේශපාලනය කරනවද? එය ඉතාමත් සුළු පිරිසක්.

දූෂණයෙන් වංචාවෙන් තොරව අපේ රට හදමු කියන චින්තනයට කී දෙනෙක් ඉන්නවද? ගෙම්බන් පනිනවා වගේ එහාට මෙහාට පනින්නේ රට වෙනුවෙන් හිතන අය නෙමෙයි. තමන් වෙනුවෙන් සිතන අය.

ඊළඟ ඇමතිකම, මන්ත්‍රීකම සභාපතිකම කොහොමද එතන තමයි බොහෝ දෙනෙක් ඉන්නේ. ඉතිහාසයක් නැති මිනිස්සුන්ට සාක්ෂියක් නෑ. සැබෑ සාක්ෂිය ඉතිහාසයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය ඉතිහාසය තුළ සාක්ෂිකරුවා වී තිබෙනවා දූෂණයෙන් තොර රාජ්‍ය පාලනයක් වෙනුවෙන්.

ඊනියා සංවර්ධන මාවතක් වෙනුවෙන් විකල්ප සංවර්ධන මාවතක ගමන් කරනවද? විකල්ප මාවතක් තෝරා ගන්නේ නම් අභාෂය ලබන නිවැරදි දේශපාලන දෘෂ්ඨිය හඳුනාගත යුතුයි.

විකල්ප සංවර්ධන මාවතක් හා දේශපාලන දෘෂ්ඨිය කුමක්ද කියා ජනතාවට සිතන්නට වෙනවා. නිවැරදි දේ තිබෙන්නේ කාටද කියා හිතන්න පුළුවන්ද?

මුළු දේශපාලන ව්‍යුහයම අවුල් සහගතයි. රට වෙනුවෙන් කල්පනා කරන විට අනුවේදනීයයි. මුළු දේශපාලන ව්‍යුහයම ශෝකාලාපයක්.

රටක් වශයෙන් අද අපි දිනාගත යුතු සංවර්ධනය වන්නේ සියලු ජනතවගේ අපේක්ෂා ජයග්‍රහණය කරදෙන සංවර්ධනයක්. තුලනාත්මක සංවර්ධනයක්. සංවර්ධනයේ ප්‍රතිඵල භුක්ති විදීමට සියලු ජනතාවට අවකාශ සලසා දිය යුතුයි.

අපි ගොඩනැගිය යුත්තේ හරිත ආර්ථිකයක්. සංවර්ධනය කාර්යක්ෂම කර හැක්කේ තාක්ෂණය තුළින්. වසර පහකට ආසන්න මගේ පාලන කාලයේ සංවර්ධනය පිළිබඳ ශේෂ පත්‍රය බැලුවොත් මම ඉහත කී සංවර්ධන මාවතක් ජනතාවට උදා කර දුන්නා මෙන්ම මට සටන් කරන්නට සිදුවුණා.

2015 ජනවාරි 8 මැතිවරණයට මම උඩුගම් බලා පිහිනපු කෙනෙක්. එය මොනතරම් අභියෝගයක්ද කියලා ජනතාවටත් දේශපාලන ව්‍යාපාරයට මුහුණ දුන් අයට මතකයි. බොහෝ දෙනෙකුට අමතකයි.

හදපු ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු යම් ආකාරයකට වැඩ කළා වගේම මගේ පාර්ශ්වය නෙමෙයි අනෙක් පාර්ශ්වය රටට නොගැළපෙන බොහෝ දේ කළා.

අන්ත ලිබරල්වාදය අපට ගැළපෙන්නේ නෑ. අප විසින් දෙයක් තේරුම් ගත වෙනවා. නිර්ප්‍රභූ ජනපතිවීම නිසා සාධනීය මැදිහත්වීම් සඳහා නිසි ඇගයීම් ප්‍රභූ දේශපාලන පංතිය විසින් වළ දැම්මා.

එම දේශපාලනය හඳුන්වා දිය හැක්කේ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් යන්නයි. මෙම දේශපාලනය පරාජය කිරීම යුගයේ කාර්යයක්.

ඒ සඳහා පුළුල්ම ජනබලවේගය ගොඩ නැගීම අපගේ අභියෝගයයි. අපේ මාලිමාව විය යුත්තේ අප ගොඩනගන දේශපාලන බලවේගයයි. එහි කාන්දම විය යුත්තේ නිර්ප්‍රභූ දේශපාලනයයි.

ප්‍රභූ ගජමිතුරු කල්ලි හෙළිදරව් කළ යුතුයි. නිර්ප්‍රභූන්ගේ එකම සටන සාගින්නට එරෙහි වීමයි. ව්‍යාජ දේශපාලනය තක්කඩින්ගේ අවසන් තිප්පොලයි. අපේ වගකීම් හා යුතුකම් තේරුම් ගත යුතුයි.

මට රට වැඩ කරන්න නෙමෙයි සිදුවුණේ ඔවුන්ට විරුද්ධව සටන් කරන්නයි. මේ රටේ දූෂණය නැත්තේ කොතනද? කොළඹ මහ නගර සභාවේ ඉදලා පළාත් පාලන ආයතන 90% අන්ත දූෂිතයි.

රටේ දේශපාලනඥයා රටට ගැළපෙන කෙනා සොයා ගැනීම වැදගත්. මේ ආණ්ඩුවට කරන්න පුළුවන් ලොකුම හූනියම සිදුකළ මහ බැංකු කොල්ලවේ වග උත්තරකරුවන් දේශපාලනයෙන් වහ වහා ඉවත් විය යුතුයි.

තව බොහේ දේ ඉදිරි දිනවලදී හෙළි වේවි. අර්ජන් මහේන්ද්‍රන් ලංකාවට ගේන්න කඩදාසි සියල්ලම හදලා ඉවරයි. අර්ජුන මහේන්ද්‍රන්ට වඩා ලොකු මහත්තුරුන්ට වග උත්තරකරුවන් ලෙස විත්තිකූඩුවට නගින්න ලියකියවිලි හදලා ඉවරයි.

පළාත් සභා ඉවරයි. අයේ පළාත් සභා ඡන්දයක් නෑ. මේ රටේ. පළාත් සභා ක්‍රමයටත් ඡන්දයටත් ඇණ ගහලා අවසන් කර ඉවරයි. ප්‍රධාන වගඋත්තරකාරයා බොහොම පැහැදිලිව කියන්න ඕන. පාර්ලිමේන්තුවෙන් අදාළ වාර්තාව අගමැති සකස් නොකළ නිසා පළාත් සභා හා පළාත් සභා ඡන්ද ඉවරයි.

පළවැනි වගඋත්තරකාරයා අගමැති. අද රටට අවශ්‍ය වන්නේ අවංක නිහතමානී දේශපාලන වැඩපිළිවෙළක් තිබෙන මිනිස්සුන්ට ආදරය කරන නායකයෙක්.

ආණ්ඩුවේ අයත් විපක්ෂයේ අයත් උතුරේ නායකයන් සමග දෙගොල්ලම රහස් සාකච්ඡා. ආණ්ඩුවත් විපක්ෂයත් ඡන්දය ගැනීමට උතුරේ නායකයන් සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. කිසිම කෙනෙකුට වැඩපිළිවෙළක් නෑ.

මම හයවැනි ජනාධිපති. 19 වැනි සංශෝධනයෙන් හිටපු ජනපතිවරු වැඩ කරන හැටි සියල්ලම අවසන් කළා.

ජනාධිපති ඡන්දයට රුපියල් කෝටි 450කට වඩා වැය කරනවා. 19 අනුව මීළඟට පත්වන ජනපතිවරයා කිසිවක් කළ නොහැකි ජනපතිවරයෙක්. ඔහුට ආරක්ෂක අමාත්‍යාංශයවත් නෑ. සියලු බලතල අගමැතිට.

මීළඟට රට භාර ගන්නේ ජනපති නෙමෙයි අගමැතියි. ඒ අනුව මීළඟ අගමැති පත්කර ගැනීම පිළිබඳව උනන්දු වෙන්න ඕන. මම රටේ ප්‍රජාතන්ත්‍රවාදය නිදහස සහතික කළා.

රනිල් වික්‍රමසිංහ එළවලා මහින්ද රාජපක්ෂ අගමැති කළා. මම දූෂණයට හොරකමට විරුද්ධව සටන් කළේ නැත්නම් ඔය කියන හාදයන්ගේ රෙදි බැනියම් පමණක් නෙමෙයි යට ඇඳගෙන ඉන්න අමුඩයවත් ඉතිරිවන්නේ නෑ.

අපට අවශ්‍ය වන්නේ ස්වදේශික පුළුල් ජන බලවේගයක්. අපි ආරම්භ කළේ ලබන ජනපතිවරණයයි. අපි ඉදිරියේදී දිස්ත්‍රික් සම්මේලන පවත්වනවා. ජනතාවාදී පුළුල් පෙරමුණක් අපි හදනවා.

කවුද ජනාධිපති අපේක්ෂකයා කියලා අහනවා. මම එක උත්තරයක් දෙන්නම් අපේ ප්‍රතිපත්ති තුළ අපේ දර්ශනය තුළ 2020 ආණ්ඩුව හදන්නේ අපි. ඒකට ලෑස්ති වෙන්න. අපි අපේ ශක්තිය පෙන්වමු.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 68 අවුරුදු. මටත් 68යි. 68 කියන්නේ පරිණතයි. අපි යෝධ ශක්තියෙන් යෝධ ජවයකින් පක්ෂය ගොඩනගලා විප්ලවීය සටනක් කරලා විස්සයි20දී අලුත් ආණ්ඩුවක් හදමු