Language Switcher

V2025

මහජන බැංකුව පෞද්ගලීකරණය කරන පුවත පල් බොරුවක් : මෙන්න ඇත්ත !

මහජන බැංකුවේ බලයලත් ප්‍රාග්ධන සීමාව වැඩි කර ගැනීම සහ භාණ්ඩාගාර ඇපකරයක් නොමැතිව ණයකර නිකුත් කිරීමේ හැකියාවක් ඇති කර ගැනීම අරමුණු කර ගනිමින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති මහජන බැංකු පනත සංශෝධන කෙටුම්පත හරහා මහජන බැංකුව කිසිදු අයුරකින්වත් පෞද්ගලීකරණය නොවන බව රජය අවධාරණය කරයි.

මුදල් අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධව විශේෂ නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේද සදහන් වෙයි.

1961 අංක 29 දරණ මහජන බැංකු පනතේ 13 වන වගන්තිය ප්‍රකාරව මහජන බැංකුවේ පරම අයිතිය ශ්‍රී ලංකා රජය සතු වේ. එහි වගකීම පැවරෙනුයේ මහ භාණ්ඩාගාරයේ ලේකම් වෙත ය.

මහජන බැංකුවේ කොටස්, සමුපකාර සමිති වෙත හෝ මහ භාණ්ඩාගාරයේ ලේකම් වෙත හැර අන් කිසිවෙකුට අලෙවි කළ නොහැකි බව එම පනතේ පැහැදිලිවම සඳහන් වේ.

මෙම සතියේ විවාදයට හා ඡන්ද විමසීමට නියමිත මහජන බැංකු පනතේ සංශෝධන කෙටුම්පතෙහි ඉහත සඳහන් 13 වන වගන්තිය සංශෝධන නොකරන බැවින් මහජන බැංකුව පෞද්ගලීකරණය වීම යනුවෙන් ප්‍රකාශ කිරීම සම්පූර්ණ අසත්‍යයකි. යෝජිත සංශෝධන මඟින් සිදු කෙරෙනුයේ එම පනතෙහි ඇතුළත් වගන්ති 12, 20, 21 සහ 43 පමණක් සංශෝධනය කිරීමයි.

මෙම සංශෝධනවලට ලක්වන වගන්ති හතරේ ප්‍රධාන අරමුණු වනුයේ: මහජන බැංකුවේ බලයලත් ප්‍රාග්ධන සීමාව දැනට පවත්නා රුපියල් බිලියන 1 සිට රුපියල් බිලියන 50 දක්වා වැඩි කිරීමත්, අනෙකුත් රාජ්‍ය බැංකු සිදු කරන ආකාරයටම, භාණ්ඩාගාර ඇපකරයක් නොමැතිව, ණයකර නිකුත් කිරීමේ හැකියාවක් මහජන බැංකුවටද අත් කර දීමත් ය.

ලංකා බැංකුව ඇතුළු අනෙකුත් රාජ්‍ය බැංකු පනත්වලට අනුකුලව එම බැංකුවල භාණ්ඩාගාරයේ ඇපකරයක් නොමැතිව , තම නියාමන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ණයකර නිකුත් කිරීමේ හැකියාවක් සහ ක්‍රියාවලියක් අදටත් පවතී. එසේ නමුදු එම බැංකු පෞද්ගලීකරණයකට ලක් වන බවට කිසිවෙකුත් චෝදනා එල්ල නොකරයි.

මහජන බැංකු පනත සංශෝධනයෙන් පසු, නිකුත් කෙරෙන ණයකර කිසිසේත් කොටස් ප්‍රාග්ධනය බවට පරිවර්තනය කළ නොහැකි බව රජය තහවුරු කරයි. එය එසේ වනුයේ 1961 අංක 29 දරණ මහජන බැංකු පනතෙහි 13 වන වගන්තියෙන් ඒ සඳහා ඉඩ ප්‍රස්ථාවක් නොමැති බැවිනි.

මෙම මහජන බැංකු පනත සංශෝධන ක්‍රියාවලිය 2013 වසරේදී ආරම්භ විය. ඒ අනුව, මහජන බැංකු පනත සංශෝධනය කිරීමේ කෙටුම්පත මඟින් මහජන බැංකුව පෞද්ගලීකරණයට ලක් කිරීමට සැලසුම් කරන බවට ඇතැම් දේශපාලන නායකයින් විසින් මෙම අවස්ථාවේදී සිදු කෙරෙන ප්‍රකාශයන් මහජනතාව නොමඟ යවා පටු දේශපාලන වාසි ලබා ගැනීමට දරනු ලබන ප්‍රයත්නයක් මිස එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව අවධාරණය කෙරේ.