Language Switcher

V2025

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නව විශේෂ කොමිසමක් පත් කරනවා - අගමැති

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය සෙවීම සඳහා ස්වාධීන ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කළ ඉල්ලීම සමඟ තමා එකඟ වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(06) ගාල්ලේ දී පැවසීය.

එම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා දැනට ජනාධිපතිවරයා විසින් පත් කර ඇති කමිටුව සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ඉදිරිපත් කරන වාර්තාවල ඇතුළත් තොරතුරු මෙන්ම, අනෙකුත් සියලු තොරතුරු අනාවරණය කරගනිමින් සත්‍යය සොයා ගැනීමට එවැනි ස්වාධීන ජනාධිපති කොමිසමක් මගින් හැකි වන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේය.

දැනට පත් කර තිබෙන ජනාධිපති කමිටුවේ සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාවන් ඉදිරියේ දී නිකුත් වීමට නියමිත බැවින් එම වාර්තාවන් ද පදනම් කර ගනිමින් තවදුරටත් කරුණු සොයා බලා මාස 6-7ක් ඇතුළත ජනතාවට සත්‍යය අනාවරණය කිරීමට කටයුතු කළ යුතු බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා, අනාගතයේ දී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණය කිරීමට එවැනි කොමිසමක් ඉවහල් වන බව ද පැවසීය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ආණ්ඩුවක් ලෙස අප ගත් ක්‍ෂණික ක්‍රියාමාර්ග නිසා මාස දෙකක් ගත වීමට පෙර ඊට සම්බන්ධ වූ ත්‍රස්තවාදී කණ්ඩායම සොයා ගෙන ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ගාල්ල, කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආරම්භ වූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ දකුණු පළාත් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ දකුණු පළාත් කාර්යාලය විවෘත කිරීමට පෙරාතුව, බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා ඉදිකරන ලද නව තෙමහල් ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් විවෘත කෙරිණි.

පසුගිය ආණ්ඩු යටතේ අසාධාරණයට පත්වූ හා අඩු සැලකිල්ලට පාත්‍රව සිටි ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් වත්මන් ආණ්ඩුව යටතේ විශාල සංවර්ධනයක් සිදු කර ඇති බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ දකුණු පළාත් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් පැවසීය.

දකුණු පළාතේ වැඩිම ජනගහණයක් සිටින ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ අයිතිවාසිකම් රැකගැනීමට ක්‍රියා කළ එකම නායකයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව ද අබේවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ගම්පෙරළිය වැඩසටහන යටතේ ග්‍රාමීය සංවර්ධනය මෙන්ම, බෞද්ධ විහාරස්ථාන වැඩිම සංඛ්‍යාවක් ප්‍රතිසංස්කරණය කළ එකම ආණ්ඩුව වන්නේ වත්මන් ආණ්ඩුව බව යැයි ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ අණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා මෙහිදී පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ඉදිරියේ දී තනි ආණ්ඩුවක් යටතේ සියලු අභියෝග ජය ගනිමින් මීට නොදෙවෙනි සංවර්ධනයක් ඇති කිරීමට සූදානම් බව ද ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, අන්‍යාගමික නායකයින්, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන විජේපාල හෙට්ටිආරච්චි, බන්දුලාල් බණ්ඩාරිගොඩ, මනුෂ නානායක්කාර, පියසේන ගමගේ යන මහත්වරු ද, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වියානි ගුණතිලක මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.