Language Switcher

V2025

ජනමාධ්‍යවේදීන්ට වෘත්තීය අයිතිවාසිකම් සහ වගකීම් ප්‍රඥප්තියක් !

ජනමාධ්‍යවේදීන් සඳහා වෘත්තීය අයිතිවාසිකම් හා වගකීම් සම්බන්ධයෙන් ප්‍රඥප්තියක් සැකසීමට පියවර ගන්නේ යැයි ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් අද(9) පැවැසීය. 

සෙසු සහෝදර මාධ්‍ය සංවිධාන සම්බන්ධ කරගනිමින් ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේ විශේෂඥයන්ගේ හා වෘත්තීය සමිති ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහාය ද ලබාගනිමින් මෙම ප්‍රඥාප්තිය සැකසීමේ මූලික කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇතැයි ඔහු  කීය.

1996 ආර්.කේ.ඩබ්.ගුණසේකර වාර්තාව, 1998 කොළඹ ප්‍රකාශනය, 2005 තෝලංගමුව ප්‍රකාශය, 2006 වැලිගම ප්‍රකාශනය ආදී ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සකස් කර ඇති පදනම් ලියැවිලි මෙම ප්‍රඥප්තිය සැකසීමේ සැළකිල්ලට ගන්නේ යැයි ද සභාපතිවරයා අවධාරණය කළේය.

ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් මෙන්ම වගකීම් යන දෙපාර්ශවයේම බරපතල කඩාවැටීමක් ඇතැයි කී හෙතෙම ජනමාධ්‍යවේදියාගේ වෘත්තීකභාවය ප්‍රශ්න කිරීමට එය ප්‍රධාන හේතුවක් වී ඇතැයි ද සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් සඳහා මාධ්‍ය සවිබලගැන්වීමේ වැඩසටහන (MEND) යටතේ USAID හා IREX යන ආයතන මෙම ප්‍රඥාප්තීය සැකසීමට අවශ්‍ය පහසුකම් සපයන්නේ යැයි ද සභාපතිවරයා  වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ප්‍රධාන පාර්ශවකරුවෙකි. 

(ලංකාදීප )