Language Switcher

V2025

2015 දී ලසන්ත, එක්නැලිගොඩ ගැන කතා කරපු මෛත‍්‍රීට දැන් ඔවුන් අමතක වෙලා - දුමින්ද නාගමුව

ලසන්ත වික‍්‍රමතුංග, ප‍්‍රදීප් එක්නැලිගොඩ ගැන සිදු කළ කතා මේ ආණ්ඩුවට  අමතක වී ඇති බව පසුගියදා (30)පිලියන්දල නගරයේ පැවති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රැළිය  ඇමතූ එම පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය.

2015 වසරේ මේ ආණ්ඩුවේ කතා බහ කළේ  ලසන්ත වික‍්‍රමතුංග, ප‍්‍රදීප්ව එක්නැලිගොඩ, ලලිත් කූගන්  ගැන සහ  විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ගැන වුවත් දැන් තම පක්ෂය  ඇතුළු පිරිස්  ඒ පිළිබඳ කතා කිරීමේදී ආණ්ඩුව භූමිතෙල් වැදුණු ගැරඬින් මෙන්  හැසිරෙමින් සිටින බවත් ඔහු පැවසීය. 

දුමින්ද නාගමුව මහතා වැඩිදුරටත් පැවසුවේ, 

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම

දැන් මෛත‍්‍රීගේ ප‍්‍රශ්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම නෙවෙයි. ඔහු විසින්ම එපා කියලා අවුරුදු පහකට අඩු කරගත්ත ජනාධිපති ධූරය, තව අවුරුද්දකින් දික් කරගන්න එකයි දැන් ඔහුගේ ප‍්‍රශ්නේ. හැබැයි සෝභිත හාමුදුරුවන්ගේ ආදහන උත්සවයට ගිහින් දණගහල පොරෙන්දු වුනේ මං විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට උපන්නෙමි, නැවත මගේ දෙවනි ගමනක් නැත කියලයි. හැබැයි දැන් ඔහු ලෑස්ති වෙනවා දෙවෙනි පාරට ජනපතිවරණයට ඉල්ලන්න. 

වෙලාවකට හාවා තවත් වෙලාවකට හිවලෙක් 

දැන් මැතිවරණ කොමසාරිස් කියනවා මේ ඡන්ද කාලේදී උද්ඝොෂණය කරන්න එපා, ඡන්දය විතරක් කරන්න කියලා. පාර්ලිමේන්තු බැදුම්කර විවාදය 08 වෙනිදට ගේනවා කියපු කාලේදී එයාට හාවාගේ අසනීපය හැදෙනවා. නමුත් ඒ හාවා, මේ රටේ ජනතාව තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණය කරනකොට හිවලෙක් වෙනවා. මොකද මෛතී‍්‍ර-රනිල්ගේ නෝක්කාඩුවේදී මැතිවරණ කොමසාරිස්ට පැත්තක් ගන්න බැරි නිසයි. ඒත් රටේ බැංකු සේවකයො විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ සහ ගොවියෝ කරන සටන් ඔහුට දිරවන්නේ නෑ. එහෙමයි ඔවුන් මේ බලතන්ත‍්‍රය ආරක්ෂා කරන්නේ. 

හාල් මෝල් හිමියා රැකීම 

දැන් හාල් සීයයි පොල් සීයයි. ආණ්ඩුවට හාල් මිල අඩුකරගන්න බෑ. දැන් මෛති‍්‍ර කියනවා ආර්ථිකය තමන් අතට ගන්නවා කියලා. අපි කියනවා ඊට ඉස්සරලා හාල් මාෆියාව අතට ගන්න කියලා. කවුද හාල් මාෆියාවේ ඉන්නේ, මෛතී‍්‍රපාලගේ සහොදරයයි. ආණ්ඩුව වී ගත්තේ රු. 45ටයි. ඒ මගින් හාල් කිලෝවක මිල ගණනය කරන සූත‍්‍රයක් තියනවා. ඒත් හාල් වලට සහතික මිලක් නෑ. හාල් මිල ගැසට් කළාට වෙළඳපොලේ ඒ ගාණට විකුණන්නේ නෑ. රු. 80ට දෙන්න පුලූවන් හාල් කිලෝව රු. 110ට රු. 115ට විකුණනවා.  මිනිස්සුන්ගේ බත්පතින් හොරකම් කරන මේ වංචාව මෛතී‍්‍රට පේන්නේ නැද්ද? මෛතී‍්‍ර ඉපදෙනකොට ගොවියාගේ පුතා වුණත් දැන් ඔහු හාල් මෝල් හිමියාගේ සහෝදරයායි. ආණ්ඩුව රකින්නේ ගොවියාවත්, පාරිභෝගිකයාවත් නෙවෙයි, හාල් මෝල් හිමියාවයි.