Language Switcher

V2025

ඩිප්ලෝමාධාරීන් 4286 කට අගමැති අතින් පත්වීම් !

පාසල් දරුවන් පාසල වෙත ප්‍රවාහනය කරන රියදුරු මහත්වරුන්ට විධිමත් පුහුණුවක් මෙන්ම රියදුරු බලපත්‍රයක් ලබාදී තිබුණත් අවාසනාවකට මෙන් මෙතෙක් මේ රටේ පැවැති ආණ්ඩු දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන පාසල් ගුරුවරුන් සඳහා විධිමත් පුහුණුවක් ලබාදීමට පියවර ගෙන නොතිබූ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට නම් පුහුණු ගුරුවරුන් බිහි කළ යුතු බව පැවසීය.

ඒ නිසා සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකගේම අනාගතය හොඳ අධ්‍යාපනයක් හා පුහුණුවක් ලැබූ ගුරුවරුන්හට භාරදීමට පියවර ගත් බව පැවසූ වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා  දරු දැරියන්ගේ අනාගතය සකස් කර රටේ අනාගතය සකස් කිරීමේ වගකීම පුහුණු ගුරුවරුන් හට පැවරෙන බව ද පෙන්වා දුන්නේය.

වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා  මෙම අදහස් පළ කළේ පසුගියදා දින අරලියගහ මන්දිරයේ පැවති ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ උත්සවයට එක්වෙමිනි.

 එහිදී ඩිප්ලෝමාධාරීන් 4,286 දෙනෙකුට පත්වීම් පිරිනැමීම සිදුවිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මෙසේ ද කීය.

අද දිනයේ ඩිප්ලෝමා ලබාගනිමින් 4,300 ක ගුරුවරුන් පිරිසක් ගුරු සේවයට එක් වෙනවා. ඒ අනුව මෙම පත්වීම් 4300 ක් සමග විද්‍යා පීඨ ඩිප්ලෝමා ලබාගත් ගුරුවරුන් 85,000 ට වැඩි පිරිසක් අධ්‍යාපන ක්ෂේත්‍රයට එක්වී තිබෙනවා. පත්වීම් ලබාගත් සියලූ දෙනාම ගුරු වෘත්තියට අදාළව වසර දෙකක විධිමත් පුහුණුවක් ලබාගෙන තිබෙනවා. මීට අමතර විශ්වවිද්‍යාල උපාධි ලබාගත් ගුරුවරුන් විශාල පිරිසක් සේවයේ නිරත වෙනවා. ඒ අනුව පුහුණු ගුරුවරුන් අධ්‍යාපන ක්ෂේත්‍රයට එක් කිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි සමයේ මාගේ බලාපොරොත්තුව වූයේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්පූර්ණයෙන්ම පුහුණු ගුරුවරු ලබාදීමයි. එම වැඩ කටයුත්ත සාර්ථක කරගැනීමට අධ්‍යාපන විද්‍යා පීඨ එදා ආරම්භ කළා.

පසුගිය සතියේදී තාක්‍ෂණ විද්‍යා පීඨය කුලියාපිටියේදී අපි ආරම්භ කළා. තාක්‍ෂණ විද්‍යා ගුරුවරුන්ට අවශ්‍ය දැනුම, පුහුණුව ලබා දෙමින් ඩිප්ලෝමා පිරිනැමීමට මේ තාක්‍ෂණ විද්‍යා පීඨය හරහා හැකියාව ලැබෙනවා. විද්‍යා ගුරුවරු ප්‍රමාණය වර්ධනය කිරීමට එක් විද්‍යා පීඨයක් ප්‍රමාණවත් වන්නේ නැහැ. තව විද්‍යා පීඨ දෙකක් හෝ තුනක් ඒ සඳහා ඇති කළ යුතු වෙනවා.

මෙම සෑම අධ්‍යාපන ආයතනයක් හරහාම අවුරුදු 2ක උසස් අධ්‍යාපනයක් ලබා ගනිමින් ගුරුවරු සේවයට එක් වෙනවා. මෙම සංකල්පය මා ගොඩනගනු ලැබුවේ මෙම විද්‍යා පීඨවලට ඇතුළත් වන කිසිදු අයෙකුට රැකියාව පිළිබඳව අවධානමක් ඇති නොවීමටයි. එසේ රැකියාව පිළිබඳ ගැටළුවක් ඇති නොවන ක්‍රමවේදයක් දැන් ගොඩනැගී තිබෙනවා. විද්‍යා පීඨ මගින් විධිමත් අධ්‍යාපනයක් ලැබීමෙන් පසුව පාසල් ක්‍රමයට ඇතුළුවීමට අවස්ථාව උදාවී තිබෙනවා.

අද මෙලෙස ගුරුපත්වීම් ලබාගත් ඔබ සියලූ දෙනාට ඉතා විශාල වගකීමක් පැවරෙනවා. සේවයේ නිරතවන අවුරුදු 30 ක හෝ 40 ක කාලය තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස් ගණනකගේ අනාගතය ඔබට භාර වෙනවා. දෙමාපියන් සමග සිටිනවාට වඩා දරුවන් වැඩි කාලයක් ගත කරනු ලබන්නේ පාසල තුළයි. ඒ නිසා දරුවන්ගේ අනාගතය ගොඩ නැගීමේ අභියෝගය භාරගැනීමට ඔබ සූදානම් විය යුතුයි.

අපට අවශ්‍ය වී ඇත්තේ රටේ දූ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමටයි. දූදරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට නම් රටේ ගුරුවරුන්ට නිවැරදි අධ්‍යාපනයක් ලබාදිය යුතුයි. ඒ සඳහා හොඳ අධ්‍යාපනයක්, පුහුණුවක් ලබාදීමටත්, විශ්වවිද්‍යාලවලින් ගුරුවරු බඳවා ගැනීමටත් අපි ක්‍රියා කර තිබෙනවා.

අවුරුද්දකට එක් පත්ති කාමරයක සිටින ළමුන් 35 ක් හෝ 40 කගේ අනාගතය ගුරුවරුන්ට භාර වෙනවා. එය විශාල වගකීමක්. එම වගකීම ඉටු කිරීමට ආණ්ඩුවක් ලෙස අවශ්‍ය අධ්‍යාපනය ලබාදීම අපගේ වගකීමක් වෙනවා. රටේ ගුරුවරුන් වෙනුවෙන් ආණ්ඩුව සිදු කළ යුතු කාර්ය භාරය එයයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ එක් කාල වකවානුවක නුපුහුණු ගුරුවරු සිටියා. පාසලට දරුවන් රැගෙන එන බස් රථ රියදුරාට පවා රිය ධාවනය පිළිබඳව පුහුණුවක් තිබෙනවා. පුහුණුවෙන් පසු බලපත්‍රයක් ලබාගෙන ඔවුන් බස් රථය දාවනය කළ යුතු වෙනවා. ලංගම බස් රථ රියදුරෙකුට නම් තවත් වැඩි කාල සීමාවක් පුහුණුව ලැබීමට සිදුවෙනවා. පාසල් දරුවන් 35 ක් රැගෙන පැයක ගමනක් යාම වෙනුවෙන් රියදුරන්ට එම පුහුණුව වැදගත් වෙනවා. එහෙත් දරුවන් 35 ක් සමග ජීවිත ගමනක් යන ගුරුවරයාට පුහුණුවක් ලබාදීමට මීට පෙර පැවැති ආණ්ඩු උත්සාහ දැරුවේ නැහැ. ඒ අනුව කිසිදු පුහුණුවකින් තොර පුද්ගලයෙකුට රටේ දරුවන්ගේ අධ්‍යාපනය හා අනාගතය භාරදී තිබුණා.

එම අවිධිමත් ක්‍රමවේදය අවසන් කර රටේ ගුරුපරපුරට හොඳ පුහුණුවක් ලබාදීමට අපි විධිමත් වැඩපිළිවෙළක් ගොඩනඟා තිබෙනවා. පන්ති කාමරය තුළ නියමිත වෙලාවට දරුවන්ට අවශ්‍ය දැනුම ලබාදීම වෙනුවෙන් ගුරුවරුන්ට විධිමත් පුහුණුවක් ලබාදීමේ අරමුණින් මා මෙම වැඩපිළිවෙළ ආරම්භ කරනු ලැබුවා. විද්‍යා පීඨවලින් හෝ විශ්වවිද්‍යාල තුළින් අවුරුදු 3ක පුහුණුවක් මෙම වැඩපිළිවෙළ හරහා ලබාදී තිබෙනවා. ඊට අඩු කාල සීමාවක පුහුණුවක් ලබාදීම මගින් මෙම වැඩ පිළිවෙළ සාර්ථක කරගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ.

රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමේ පරමාර්ථය අද අපි ඉටුකර තිබෙනවා. දරුවන්ගේ අනාගතය විධිමත් අධ්‍යාපනයක් හා පුහුණුවක් ලැබූ ගුරුවරුන්ට භාර දී තිබෙනවා. එසේ නම් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අනාගතය ගොඩනගන ගුරුවරු රටේ අනාගතයයි.

තම දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට වෙහෙසන වෙන දෙමාපියන් වෙනුවෙන් හොඳ පුහුණුවක් ලැබූ ගුරුවරු පාසල්වලට යොමුකිරීම පළමු පියවර ලෙස අප සිදුකර තිබෙනවා. දෙවන පියවර ලෙස දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට අවශ්‍ය කරන සහයෝගය හා පසුබිම සකසා දීම අධ්‍යාපන අමාත්‍යංශයට භාර වෙනවා. තුන්වන පියවර එම පසුබිමත් සමග ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අනාගතය හැඩගැස්වීම ගුරුමණ්ඩලය වෙත පැවරෙනවා.

ගුරුවරුන්ට විධිමත් පුහුණුවක් ලබාදී ඇත්තේ රටේ අනාගත පරපුර වෙනුවෙන් මෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට මහන්සිවෙන දෙමාපියන් වෙනුවෙන්. මීට වඩා විශිෂ්ඨ සේවයක් සිදු කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නැහැ.

අපි ආරම්භ කර තිබෙන ක්‍රමවේදය තුළ දේශපාලන බලපෑම්වලින් තොරව සුදුස්සන්ට අවස්ථාව ලබාදී තිබෙනවා. ගුරුපුහුණුව වෙනුවෙන් විශාල මුදලක් ආණ්ඩුව වැය කර තිබෙනවා. ඒ වගේම විශාල මුදල් පන්ති කාමර දියුණු කිරීමට යොදවා තිබෙනවා. මාගේ පරමාර්ථය වන්නේ රටේ දරුවන් සියලූ දෙනාට අවුරුදු 13 ක අඛණ්ඩ අධ්‍යාපනයක් පාසල් තුළින් ලබාදීමයි. එම අඛණ්ඩ අධ්‍යාපනය වෙනුවෙන් මෙම පුහුණුව ගුරුවරුන්ට ලබාදී තිබෙනවා. එය නිසියාකාරව ඉටුකිරීම ගුරුවරුන්ගේ වගකීමක් වෙනවා.

ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දෙමාපියන් වෙනුවෙන් ඔවුන්ගේ බලාපොරොත්තු සැබෑ කිරීමට අවස්ථාව ඔබට ලැබී තිබෙනවා. අද පත්වීම් ලබන ගුරුවරුන් බොහෝ දෙනෙක් වැඩිකල් ගතවීමට පෙර දෙමව්පියන් බවට පත්වීමට නියමිතයි. එසේ නම් ගුරුවරයෙකු ලෙස දෙමාපියන්ගේ පාර්ශ්වයෙන්ද සිතා බලා කටයුතු කිරීමට අවස්ථාව සැලසෙනවා.    

පාසල් දියුණු කිරීම මෙන්ම අපගේ මීළඟ අරමුණ වන්නේ විභාග බර අඩුකිරීමයි. ඒ සඳහා මේ වනවිට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් සකස් කරමින් සිටිනවා. විභාග බර අඩුකිරීම හරහා අධ්‍යාපනය තුළත් චරිත වර්ධනය වැඩිකිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අනුව දැනට අපගේ පළමු වැනි අරමුණ ඉටු වී තිබෙනවා. දරුවන්ගේ අනාගතය භාරදී තිබෙන පාසලේ අනාගතය අපි පුහුණුව ලැබූ ගුරු පිරිසකට භාරදී තිබෙනවා. එම නිසාම මෙය මාගේ ප්‍රධානතම සේවය ලෙස මා හඳුන්වා දෙනවා.

නිදහස් අධ්‍යාපනය තුළින් ඉදිරියට ඒමට මට හැකියාව ලැබුණා. පාසල් අධ්‍යාපනය රජයේ පාසලකින් ආරම්භ කළා. උසස් අධ්‍යාපනය අපේ රටේම විශ්වවිද්‍යාලයකින් ලබාගැනීමට මට හැකිවුණා. මම ජීවත් වුනේ ලංකාවෙයි. පාසල් යුගය තුළත්, දේශපාලනය තුළත් මෙන්ම අමාත්‍යවරයෙක් වූ යුගය තුළත් පාසල්වල තිබෙන ගැටලූ පිළිබඳව හොඳ අවබෝධයක් මට තිබෙනවා. එමෙන්ම ලංකාවේ ප්‍රාථමික හා උසස් අධ්‍යාපනය තුලින් බිහිවන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දක්‍ෂතා පිළිබඳවද අවබෝධයත් තිබෙනවා. නමුත් නිසි අවස්ථා නොලැබුණු දක්‍ෂ පුද්ගලයන් පිළිබඳව මා කණගාටු වෙනවා. එයට මූලික හේතුව වන්නේ ඔවුන්ට හොඳ ගුරුවරු නොලැබීමයි. අවස්ථාව ලැබුණු සෑම විටම එම ගැටළු විසඳීමට මා පියවර ගත්තා. පාසල්වලට පුහුණු ගුරුවරු ලබාදීමට අවස්ථාව හැකිවීම ගැන මා ආඩම්බර වෙනවා.

රටට උගත් පරපුරක් බිහි කිරීමට මා මෙන්ම ප්‍රාථමික අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය ලංකාව තුළම හැදෑරු ඔබ සියලූ දෙනා කැපවිය යුතු බව ප්‍රකාශ කර සිටිනවා.

අධයාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  රටේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල කර්තව්‍යයක් සිදුකරමින් සිටිනවා. ගොඩනැගිලි ඉදිකිරීම, ගුරුවරුන්ට පුහුණුව ලබාදීම, තාක්‍ෂණික හා ක්‍රීඩා ක්ෂේත්‍රය දියුණු කිරීම, වැනි වැඩසටහන් ගණනාවක් ඔස්සේ රටේ අධ්‍යාපනය නවීකරණයකට ලක් කරමින් සිටිනවා. අධ්‍යාපනය වෙනුවෙන් විශාලම මුදලක් හා අවධානයක් ලබාදී ඇති ආණ්ඩුව අපගේ ආණ්ඩුව බව මා නොබියව ප්‍රකාශ කර සිටිනවා. ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයාටත්, අධ්‍යාපන අමාත්‍යංශයටත් මාගේ ස්තූතිය ප්‍රකාශ කරනවා. එසේ නම් ඔබට මෙන්ම ඔබෙන් අධ්‍යාපනය ලබන දරුපරපුරට ද සුභ අනාගතයක් මා ප්‍රාර්ථනා කරනවා.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, අන්‍යාගමික නායකයින්, එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.එන්. රණසිංහ ප්‍රමුඛ විද්‍යා පීඨ පීඨාධීපතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.

View the embedded image gallery online at:
http://newstube.lk/news/8239-4286#sigProId3e5cb9cc7f